Wednesday, December 27, 2023

ගරවා ශාන්ති කර්මය

“ගරායක් ශාන්ති කර්මය” අපූර්ව හෙළ භූත විද්‍යා අංගයකි. දඹදිව විසූ හේමදන්ත රජුට හා එම දේවියට දරුවන් දෙදෙනෙක් වූහ. ඒ දළ කුමරු හා ගිරි කුමාරිය නම් වූවාය. සොළොස් වියට පත් කුමාරයාට කුමාරියක් සේවුවද ඉන් පලක් නොවුණි. දළ කුමරු සරණපාවා ගැනීමට කිසිම කුමරියක් තෝරා ගත්තේ නැත. සෑම කුමරියක් කෙරෙහිම පිළිකුලක් දක්වන ලදී. “බැරිම තැන පියරජු විවිධ දේශකයන්ගෙන් කැඳවන ලද කුමරියන් හා රජවාසල කුමාරිකාවන් ඇතුළු 500 දෙනා පමුණුවා අයකු තෝරා ගැනීමට නියම කළේය. මෙහිදී දළ කුමරු මෙහෙසිය ලෙස තෝරා ගත්තේ නැඟෙණිය වූ “ගිරි” කුමාරියයි. ඉන් කලබලයට පත් පිය රජු සිද්ධිය රහසක්ව තබා ගැනීමට වෙහෙසුණි. එහෙත් ගිරි කුමරිය ගැබ්ගැනීමෙන් සියල්ල අනාවරණය විය. ලැජ්ජාවට පත් ගිරි ඇසළ වනයේ ගසක එල්ලී සියදිවි නසා ගත්තේ ය. මින් කෝපයට හා ලැජ්ජාවට පත් දළ කුමරු වන වැදී තවුස් දම් පිරීය. 
 


මෙයට සමකාලීනව කතරගම ස්කන්ධ කුමරුගේ හා වල්ලිමාතාවගේ විවාහය යෙදුණි. එම මංගල්‍යයට වැදි රටට යාම සඳහා ස්කන්ධ කුමරු පත්තිනි මෑණියන්ගේ උපකාර පැතීය. එහි යාම සුදුසු දැයි පත්තිනි මැණියන් දිවැසින් බැලීය. මඟුල් මඩුවේ සතුන්ගේ ලේ හා මස් වර්ග පෙනිණ. මේ අපිරිසුදු බිමට පා නොතැබිය යුතු හෙයින් එම ස්ථාන පිරිසුදු කිරීමේ ක්‍රමයක් සෙවීය.
 
ඒ ගැන කල්පනා කිරීමේ දී දඹදිව දඹරුක මුල තවුස් දම් රකින දළ කුමරු දැකීය. ඔහු ඉදිරියේ පෙනී සිටි පත්තිනි මෑණියන්, කළ යුතු දෙය තවුසාට විස්තරකර දුන්, දළ කුමරු ගරායක් වෙස් ගෙන වැදි රට වල්ලිමාතාවගේ මඟුල් මඩුවට කඩා වැදුණේ ය. යක් වේසය දුටු වැද්දන් හිසලූලූ අත පලාගිය අතර වල්ලිමාතාව පමණක් මඟුල් මඩුවේ ඉතිරිවුණි. ගරායකු මඟුල් මඩුව වමතින් ගෙන හක්කේ තබාගෙන සියලු කෑම බීම කා දැමූ බව සඳහන්ය. 
 
සිය කාර්ය මනාව ඉටු කිරීම පිළිබඳව සතුටට පත් පත්තිනි මෑණියන් හා ස්කන්ධ කුමරු ගරා යක්ෂයාට වර දුන් බව සඳහන්ය. මේ නිසා ගම්මඩු, දෙවොල්මඩු, මල්මඩු, තුන්දාගිරි මඩු, දානෙ මඩු අවසානයේ ගරායකු සිහිකර පූජා පැවැත්වීම පැවත එන්නේය.
 

Gara Yaka Dance at Maharagama Gammaduwa
පමුණුව දේවාල පාර ගම්මඩුව ගරා යකා ශාන්තිකර්මය 2022

 
Garayak Shanthikarmaya | ගරායක් ශාන්ති කර්මය
Mahanama College Dewol Maduwa - 2022
 

 Kaduwela Rankadu Pattini Dewalaya Garayaka Dance
සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ ගරා සෙත් ශාන්තිය
 
සාම්ප්‍රදායික ගරායක් රංග භූමිකාවේ සුවිශේෂි පිළිගැනීමකි. එනම් ගරා යකුට දොළොස් අවතාරයක් ඇතැයි යන්න පිළි ගැනීමයි. මෙකී දොළොස් අවතාර නම් කිරීම හඳුනා ගැනීම වැදගත්ය.

කීලගරා, සෝලන් ගරා, මෝලන් ගරා, අඳුන් ගරා, සඳුන් ගරා, පට්ටිගරා, ඔකඳ ගරා, ජලගරා, පුෂ්ප ගරා, සොහොන් ගරා, වටගරා, තොටගරා යනුවෙනි.

Traditional Ritual Devil Gara Dance
ශ්‍රී රන්කඩු දේවාලයේ දිය රැණ කෙළිය සහ ගරා ශාන්තිකර් මය 2022
 

යක් ශාන්තිකර්මවල මනස්කාන්ත කවි ගායනා වේ. එහි ගරා මුහුණ සම්බන්ධව ගැයෙන කවියකි.

සිරිස මිණි මකුටත්
මූණ නයිපෙණ තුනෙන් බබලත්
ඇස් දෙක ගොපලු වෙත්
දෙතොල රත් පැහැ සුදුව නළදත්

ගරා යකුමේ දී ඇදුරන් කරන දේව පූජාව ඉතා අලංකාර නිරූපණයකි. අයිලය පදිමින් ගරායකුට ආරාධනා කිරීමට ගයන කවි කීපයකි. ඉන් එක් කවියක් මෙලෙසය.

 Rare Devil Gara Yaka Mask Dance - Arawwala 
(Three-day Gee Madu Festival) Gammaduwa 2023

යකු තෝ ගරානම්
තොගේ අඹු ගිරි දේවි නම්
රුවින් මනහර නම්
කියමි ආරාධනා කවි නම්

ගරා මුහුණ බැඳගත් ඇදුරු අයිලයට නැඟ රැඟුම් දක්වයි. මෙහි සිදුවන විකට දෙබස් හුවමාරුව විනෝද ජනකය. ගරායක් උපත දැක්වෙන වගතුග සිත්ගන්නා සුළුය. අනතුරුව ගරායකුට වෙන්කළ පූජාව පිළිගැන්වේ. ගෙවල් නිවීම සඳහා කියන කවි පන්තියේ රසවත් කවියකි.

මිහිකත මේ ගෙට වඩින්න තිත්තේ
පුන් කළසක් පිට වැඩ ඉඳ ගත්තේ
ගොමද තියෙන දොස රොක්කර ගත්තේ
එතනින් බිය දෙස සිට ඉල පත්තේ 

ගරා යකු සබයට කැඳවන බෙර වාදක ගයන කවි පන්තියකි. එහි එක් කවක් මෙහි සඳහන් කිරීම වැදගත්ය. 

විරාජිත කර පෙම
ගරායකු ලෙස බැස බිම
උරා බොන ලේ හැම
ගරායක් කෝලමක මනරම

මෙහි දැක්වෙන්නේ කෝලම් නැටුම් සම්ප්‍රදායේ ගරායක් නිරූපනයයි. මෙයට වෙනස් ආකාරයෙන් ගරා යක් ශාන්ති කර්ම පැවැත්වේ.

ගරා යක් කෝලම් නැටුම් අවසන පින්දීම සිදුකරයි. මළගිය ඥාතීන් ඇතුළු සියලු සත්වයන්ට පින්දෙනු ලැබේ. මෙම පින්දීමේ දී සියලු නැට්ටුවන් මල් යහන් ඉදිරිපස නමස්කාර කරගෙන සිටියි. බෙරවාදයකු සෙමෙන් බෙර හඬවද්දී පින්දීමට ගයන කවියක් මෙසේය.

සසඟ සියල් ඔබ ලොව වැසෙන දෙවියනී
උරග ගුරුළු යක් බුනර අසුරනී
තොළඟ ළඟ වැසෙන දිය ගොඩ සව් සකුනී
සමඟ මෙපින් අනුමෝවත් බැති සිතිනී 
 
සිය ගායනය සමඟ කෝලම් නැටුම අවසන් වන්නේය.

ආචාර්ය පණ්ඩිත වෛද්‍ය ලක්ෂ්මන් වසන්ත රුක්මාල්
 
#Gara_Yaka #Paththini_Devalaya #Kaduwela #Rankadu #Diya_kapime mangalya #water Cutting Ceremony Diya kapana mangalya, Diy kapime mangalya #පත්තිනි දේවාලය #කඩුවෙල #නවගමුව #paththini maniyo රන් අසිපත, මුල්ලේරියා රණබිම, මුල්ලේරියා යුද්ධය, ඉපැරණි රණ නර්තන සම්ප්‍රදාය, කොරතොට සටන් ශිල්පීන්, කඩු පළිහ වාහල නැටුම, දිය රණ කෙළි මංගල්‍ය 2022 @kaduwela @paththinidevalaya @kadudewolapattini #ගරායකා #gammaduwa #Mask or Devil Dance #Sri Lanka #kaduweladewalaya #kaduwelasrirankadupaththinidevalaya #Rankadupaththinidevalaya #kaduweladewalaya #කඩුදෙවොලසිද්ධරංකඩුපත්තිනිදේවාලස්ථානයේ #211වනඇසළපෙරහැරමංගල්‍යයේ #ඇසළපෙරහැරමංගල්‍යය #esalaperahara #tharaka #kaduwelatharaka #rankadutharaka 

Tuesday, December 26, 2023

ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු

මහා සම්මත රජුගේ බිසවට නාට්ය දැක සිනාසීමට ඇති වූ දොල දුකක් සංසිඳීමට විශ්මකර්මයා ලවා සක්ර දෙවියා විසින් සාදවන ලද බව තමයි වෙස් මුහුණේ උපත ගැන පැරණි පොත පතෙහි සඳහන් වෙන්නේ. වෙස් මුහුණු බොහොමයක් මෙම කෝලම් නාට්ය සහ පහත රට නර්තනය හා සම්බන්ධයි.
 

 
 

වෙස් මුහුණු කියන සැනින් අපේ හිතට නැගෙන්නේ දකුණු ලක පිහිටි අම්බලන්ගොඩ නගරයයි. නමුත් මෙම වෙස් මුහුණු කර්මාන්තය අම්බලන්ගොඩට පමණක් සීමා වූ දෙයක් නොවන අතර මාතර, ගාල්ල, මිරිස්ස, උඩුපිල, දෙවුන්දර, හොරණ, ඔලබොඩුව, ගම්පහ හා මහනුවර ආදී ප්රදේශ වලත් මෙම වෙස් මුහුණු කර්මාන්තය බොහෝ සෙයින් ව්යාප්තව පවතී.





 
වෙස් මුහුණු සෑදීම සඳහා යොදාගන්නේ කඳුරු, රුක්අත්තන වැනි සැහැල්ලු ලී වර්ගයි. ගොඩකඳුරු සහ වෙල්කඳුරු යනුවෙන් කඳුරු වර්ග දෙකක් ඇති අතර මෙයින් වෙස් මුහුණු සෑදීම සඳහා වඩාත් සුදුසු වන්නේ වෙල්කඳුරු ලීයයි. වෙස් මුහුණු කැපීමට අනෙකුත් ලී වර්ග වලට වඩා කඳුරු ලීයම විශේෂිත වන්නේ එය කල්පවතින, සතුන්ගේ හානි වලින් අවම සහ කැටයම් කැපීමට පහසු ලීයක් වන නිසයි. සාමාන්යයෙන් මෙම ලී පළමුව ඝන කපා ඉන්පසු දුමේ තබා පදම් කරගනු ලැබෙයි. එවිට මෙම කඳුරු ලීය වසර 300 ක පමණ කාලයක් උවත් නිරුපද්රිතව තබාගත හැකි බව පැවසෙයි. මෙම වෙස් මුහුණු ඔප දැමීම සඳහා අතීතයේදී භාවිතා කර ඇත්තේ දෙල් ගසේ ඇති සිහින් කහ පැහැති කොළයයි.
 
මෙම වෙස් මුහුණු කලාවේ ඉතිහාසය ගැන කතාකරන විට මෙය මහාසම්මත රජ දවසටම දිවයයි. ලංකාවේ රජකම් කළ මහාසම්මත රජුගේ බිසව වූ මැණික්පාල දේවියට දරු ගැබක් පිළිසිඳ ගත් අතර එම දේවියට දොළ දුකක් ලෙස ඇතිවූයේ උසුළු විසුළු සහිත නැටුම් බැලීමටයි. නමුත් එවැනි ප්රාසාංගික අත්දැකීමක් ලබාදිය හැකි කෙනෙකු රටේ එවකට නොවූ නිසා රජු විශාල ගැටළුවකට මුහුණ දී සිටියා. අන්තිමේදී මෙම ගැටළුව සක්ර දේවේන්ද්රයා වෙතද සැලවුන අතර සක්ර දෙවියන් තමාගේ විශ්වකර්ම දිව්ය පුත්රයාට මෙයට කෙසේ හෝ පිළියම් යොදන ලෙස උපදෙස් දුන්නා. ඉන්පසු මෙම විස්කම් දෙව් පුතු විසින් උසුළු විසුළු සහිත නැටුම් වර්ග හා ඊට අදාළ වෙස් මුහුණු කැපීම සම්බන්ධයෙන් ලියවුණු ග්රන්ථ රාශියක් මහාසම්මත රජුගේ රාජ උද්යානයේ දමා ගිය අතර එම ග්රන්ථයන්ට අනුව වෙස් මුහුණු කපා එම කෝලම් රඟ දැක්වීමෙන් අනතුරුව එම රජ බිසවගේ දොළදුක සංසිඳුන බවත් ඉන්පසු මෙය කලාවක් ලෙස ලංකාවේ ස්ථාපිත වූ බවත් ජනප්රවාදයේ සඳහන් වෙනවා. 

වෙස්මුහුණු වර්ග

සැහැල්ලු‚කල්පවතින ලී වර්ගයක් වන වෙල්කදුරු සහ රුක්අත්තන යන ලී වලින් වර්තමානයේ වෙස්මුහුණු නිම වේ․ශ්‍රී ලංකාවේ වෙස්මුහුණු කලාව විවිධ සංස්කෘතීන් නිර්මාණය කරන අතර මෙය ආසියාවේ සංස්කෘතිය ඔප් නැංවීමට මහගු වූ දායකත්වයක් ලබාදෙන බව කිව හැකිය․ලංකාවේ භාවිතාවන වෙස්මුහුණු වර්ග කීපයකි․

  1. සන්නි වෙස්මුහුණු
  2. කෝලම් වෙස්මුහුණු
  3. රාක්ෂ  වෙස්මුහුණු
  4. සත්ව වෙස්මුහුණු
  5. යක්ෂ වෙස්මුහුණු
  6. මිත්‍යා වෙස්මුහුණු
  7. මනුෂ්‍ය වෙස්මුහුණු
  8. පාලිය වෙස්මුහුණු
  9. දේව වෙස්මුහුණු

මේ අතරින් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතාවන වෙස්මුහුණු වර්ග දෙකක් ලෙස සන්නි වෙස්මුහුණු හා කෝලම් වෙස්මුහුණු හැදින්වීමට පුලුවන්․ මේවා වැඩිපුර ම භාවිත කරන ලද්දේ ශාන්තිකර්මවලදී ය․ කෝලම් වෙස්මුහුණු භාවිත කරනු ලබන්නේ හාස්‍ය ජනිත කරවීම උදෙසා ය․සමාජයේ ඇති විවිධ චරිත උපහාසයට ලක් කිරීමත්‚ අධිරාජ්‍ය පාලනය උපහාසයට ලක්කිරීමත්‚කෝලම් නාට්‍ය සම්ප්‍රදාය භාවිත කරනු ලබයි․කෝලම් වෙස්මුහුණු කලාව කැට වෙස්මුහුණු සහ රාක්ෂ වෙස්මුහුණු ලෙස උප කොටස් දෙකකින් යුක්ත වේ․ කැට වෙස්මුහුණු ලෙස සැල‌කෙන්නේ මිනිස් මුහුණට සමාන ප්‍රමාණයෙන් කුඩා වෙස්මුහුණු යි․ජසයා සහ ලෙංචිනා කෝලම් මීට උදාහරණ ලෙස දැක්වීමට පුළුවන්․

අපිට වෙස් මුහුණු "කෝලම් වෙස් මුහුණු" සහ "ශාන්තිකර්මයන් සඳහා භාවිතා කරන වෙස් මුහුණු" ලෙස වෙස් මුහුණු ප්රධාන ආකාර 02 කින් දැකිය හැකියි.
 

කෝලම් වෙස් මුහුණු
 
මේවායේ විවිධ වෙස් මුහුණු තාත්වික, බියමුසු ස්වරූපයන් උසුලයි.
මෙම කෝලම් වෙස්මුහුණු චරිතයේ ස්වභාවය අනුව කොටස් 03 කට වර්ග කළ හැකියි.
 
මානුෂික චරිත
මෙම වෙස්මුහුණු තාත්වික වේ.
උදා:- ජසයා, ලෙන්චිනා, නොංචි, අණබෙරකරු, පොලිස්කාරයා, මුදලි, මනමේ රජු, බඹදත් රජු
 
අධි මානුෂික චරිත
මෙම වර්ගයට අදාල වෙස් මුහුණු බියමුසු ස්වරූපයක් උසුලයි.
උදා:- නාග රාක්ෂ, ගුරුළු රාක්ෂ, මරු රාක්ෂ, ගරා යකා, නාග කන්යා, සුරඹාවල්ලි, නාරිලතා
 
සත්ත්ව චරිත
උදා:- සිංහ, ගොං, කොටි
 
ශාන්තිකර්ම සඳහා භාවිත වෙස් මුහුණු

ශාන්තිකර්මයන් සඳහා භාවිත වන වෙස් මුහුණු විසුළුය. එමෙන්ම බියකරුය. මෙම වෙස් මුහුණු "සන්නි" හා "පාලි" වශයෙන් කොටස් 02 කි. 
 
පාලිය වෙස් මුහුණු

ශාන්තිකර්මයේ දී සන්නි යකුන් ප්‍රථම දහඅට පාලිය පැමිණෙයි.මොවුන් වෙසමුණි රජුගේ අනුගාමිකයන් වන අතර ඔවුන් පැමිණෙන්නේ සන්නි යකුන් පැමිණීම ඉස්මතුවෙන් එම භුමිය පවිත්‍ර කිරීමට හා ඔවුන්ට අවශ්‍ය පිදවිලි සකසා තැබීමට ය.හාස්‍ය උපදවන මෙන්ම යක්ෂ ස්වරූපයක් ද දැක්වෙන අයුරින් වෙස්මුහුණු හා ඇදුම් පැළදුම් වලින් සැරසී පැමිණේ.ඉන්පසුව සන්නි යක්ෂයින් රඟමඩලට ගෙන්වා ඔවුනට නියමිත දොළපිදේනි ආදිය කැප කර දීම සිදුකිරීමෙන් පසු ආතුරයාගේ ලෙඩ දුක් ‚දෝෂ දුරුවන බවට විශ්වාස කෙරේ.එකකට එකක් වෙනස් වෙස්මුහුණු පැළඳ මෙහිදී රංගනයේ යෙදේ.පහත දැක්වෙන්නේ එම පාලි දහඅටයි.

  • දුන්න පාලිය
  • පොල්මල් පාලිය
  • දළුමුර පාලිය
  • මුගුරු පාලිය
  • විලක්කු පාලිය
  • කොළඅතු පාලිය
  • මිනීහිස පාලිය
  • වාලුගෙඩි පාලිය
  • තැඹිලි පාලිය
  • පොත්කඩ පාලිය
  • පන්දම් පාලිය
  • තුවක්කු පාලිය
  • කළස් පාලිය
  • අඟුරු දුම්මල පාලිය
  • කුකුළු පාලිය
  • දුම් පාලිය
  • සළු පාලිය
  • කෙණ්ඩි පාලිය
පාලි වෙස් මුහුණු
 
තොවිලයක් කරන තැනට තොවිලයට අවශ්ය විවිධ කළමනා රැගෙන එන අය මෙනමින් හැඳින්වේ. පාලි වර්ග 12 ක් ඇති අතර "දොළොස් පාලිය" යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. සළුවක් අතින් අරන් එන තැනැත්තා සළු පාලිය ලෙසත්, කුකුළෙක් අතින් අරන් එන තැනැත්තා කුකුල් පාලිය ලෙසත්, තැඹිලි අතින් අරන් එන තැනැත්තා තැඹිලි පාලිය ලෙසත් යනාදී වශයෙන් හඳුන්වනු ලබයි.
 
උදා:- පන්දම් පාලිය, සළු පාලිය, කුකුළු පාලිය, දළුමුර පාලිය
මෙම වෙස්මුහුණු වර්ණ ගැන්වීමට රතු, කහ, නිල්, කොළ ආදී වර්ණයන් ප්රධාන වශයෙන් යොදාගනී.

රංගභූමිය ආලෝකවත් කරමින් ප්‍රථමයෙන් පැමිණෙන්නේ පන්දම්  පාලිය යි.සෙසු පාලිවලට පැමිණීමට දෙවිදේවතාවන්ගෙන් වරම් ලබා ගැනීම මෙම පාලියේ ප්‍රධාන කාර්යය යි.රංග භූමිය පිරිසිදු කිරීමේ අරමුණින් භාජනයක දුම්මල දමා දුම් අල්ලමින් පැමිණෙන මෙම පාලිය සෑම දිශාවකට ම කඩුව කරකවමින්  හා ගැසීමෙන් නර්තනයක් ඉදිරිපත් කරයි.එසේ කිරීම නිසා එම ස්ථානයේ දැනටත් පවතින්නා වූ සියලු දෝෂයන් දුරු  වී සෙත් ශාන්තිය ලබා දේ.දෙවියන් පිදීම සඳහා මැටි බඳුනක් පොල් මලක් තබාගෙන මීළගට පැමිණෙන්නේ කලස් පාලිය යි.මෙහිදී පැමිණෙන සෑම පාලියක් මයකුන්ට අවශ්‍ය පූජා භාණ්ඩ රැගෙන පිවිසේ.කුකුළු පාලිය පැමිණීමෙන් එය මනාව පැහැදිලි වේ.කෙන්ඩි පාලිය කෙණ්ඩියක් ද‚ සළු පාලිය සළුවක් ද ‚දළුමුර පාලිය බුලත් ද‚තැඹිලි පාලිය තැඹිලි ගෙඩියක් ද‚අතු පාලිය අතු ද, අතැතිව රඟමඩලට පැමිණේ.දුනු පාලිය දුන්නක් හා ඊයක් ද, මුගුරු පාලිය මගුරක් ද, රැගෙන යකුන්ගේ පැමිණීමට බාධාවන වෙනත් යකුන් පළවා හරී.මෙසේ පැමිණි සෑම පාලියක් ම  නොයෙක් විහිළු තහළු සමඟින් ප්‍රේක්ෂකයන් සිනහවට ලක් කරවමින් එමගින් ආතුරයාගේ හිස පිරිසිදු කර ඔහුට සුවයක් ලබා දේ.මෙසේ දහඅට පාලිය පැමිණීමෙන් පසුව එම ස්ථානය ආරක්ශා සහිතවත්, පිරිසිදුවත් තිබෙනු දුටු සන්නි යක්ෂයෝ ඔවුන්ට අවශ්‍ය පුද පූජා දැක එම ස්ථානයට පැමිණෙති. 

සන්නි වෙස් මුහුණ

ලංකාවේ පහතරට ප්‍රදේශවල ප්‍රසිද්ධව පැවති එනම් පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ශාන්තිකර්මයක් ලෙස දහ අට සන්නිය දැක්විය හැක.මෙය සිදු කරන්නේද අදෘශ්‍යමාන බලවේගවලින් මිනිසුන්ට සිදුවන ලෙඩ දුක් කරදර දුරු කිරීම සඳහා ය.ලංකාවේ ප්‍රකට දේවාල ආශ්‍රිතව දහ අට සන්නිය රඟ දැක්වේ.මේ ශාන්ති කර්මය සඳහා ආතුරයාගේම නිවස ඉදිරිපිට ඉඩකඩ සහිත භූමියක් යොදා ගනු ලබන අතර‚මඩුවක් පිළියෙල කරන්නේ නැත.  

දෙවියන්ගෙන් ඇතිකරන ලෙඩ රෝග වර්ග 18 ක් මෙම සන්නි 18 න් පෙන්නුම් කරන අතර "දහ අට සන්නිය" ලෙස හඳුන්වන්නේ එම සන්නි වර්ග 18 යි.

දහඅට සන්නිය යනු වමනය ඇති  වන ආමාශගත රෝග‚භූත බැල්මෙන් ඇති වූ මානසික රෝග‚භූත බැල්මෙන් ඇත් වූ උන්මාදය‚ බිහිරි බව‚ වසංගත රෝග මැලේරියාව වැනි උණ ඇති කරන රෝග, නපුරු සිහින පෙනීම, තාවකාලික උන්මාදය,පිත්තාශය ආශ්‍රිත රෝග, සෙම හා අපස්මාරය ආදී විවිධ ලෙඩ රෝග වලින් වැලකීමට ගම් වලට සෙත ශාන්තිය පතා කෙරෙන ශාන්තිකර්මයකි. දහඅට සන්නිය නැටීමට යොදා ගන්නා මේ වෙස් මුහුණු වලින් එකක් තේරුම නොදැන ඔබේ නිවසේත් අලංකාරයට තියා තියෙනවද කියලා බලන්න. 

 


දහඅට සන්නියට අයත් සන්නි වර්ග වනුයේ...
01. භූත සන්නිය
02. අභූත සන්නිය
03. අමුක්කු සන්නිය
04. ගෙඩි සන්නිය
05. වාත සන්නිය
06. කණ සන්නිය
07. පිත් සන්නිය
08. බිහිරි සන්නිය
09. ගොලු සන්නිය
10. මුර්තු සන්නිය
11. දෙමළ සන්නිය
12. නාග සන්නිය
13. කොර සන්නිය
14. ගිනිජල සන්නිය
15. ගුල්ම සන්නිය
16. සීතල සන්නිය
17. දේව සන්නිය
18. කෝල සන්නිය
 
 
 
සන්නි ආරම්භයේ පටන්ම යාග ඇදුරන්ට අවශ්‍ය දේ සම්පාදනය කරමින්‚සියලු ආවතේව කටයුතු සිදු කරන්නා ‘කොට්ටෝරුවා’යනුවෙන් හඳුන්වයි.ප්‍රථමයෙන් ම මෙහිදී සිදු වන්නේ දහ අට සන්නියේ විචිත්‍රම අංගයක් වන සැන්දෑ සමය යි.මෙහිදී නැට්ටුවන්‚නළුවන් විසින් විවිධ රංගන රඟ දක්වයි.යක් නැටුම‚හූනියම් යක්ෂ නැටුම ,රීරියක් නැටුම ආදී යක් නැටුම් රඟ දැක්වීම ද සිදුවන අතර ,රංග භූමිය භයානක ස්වරූපයක් ගනී.ඒ ඒ යකුන් නියෝජනය වන යක්ෂ වෙස්මුහුණු පැළඳ සියලු රැඟුම් සිදුකරයි.එසේ ම මෙහිදී සියලු යකුන් සඳහා දහඅට පාලිය නැටීම සිදුකරයි.ඉන් අනතුරුව ආතුරයාට රංග භුමිය,නිරාවරණය කිරීම සිදු කරයි.එය ‘කඩ තිර ඇරීම්’ ලෙස හදුන්වයි.රෝගියා සුදු පිරුවට ඇඳ සුදුරෙදි කඩකින් සිරුර වසා හිඳ සිටියි.දහඅට සන්නිය යනු සන්න් රෝග දහඅටක් වන අතර,යක්ෂයන් දහඅටක් එම රෝග වෙනුවෙන් රැගුම් දැක්වීම සිදුකරයි.සන්නි දහඅට පහත පරිදි දැක්විය හැකි ය.
 

 
රාක්ෂ වෙස්මුහුණු
 
මෙම වෙස්මුහුණු නිවෙස්වල තබාගැනීමෙන් වාසනාව උදාවන අතර ආරක්ශාව ද සැලසෙන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය යි․ඇස්වහ කටවහ දෝශ සහ රෝගවලින් ද ආරක්ශාව සැලසෙන බව අපේ පැරැන්නන්ගේ අදහසයි․පහතින් සඳහන් කර ඇත්තේ ඒ වගේ වෙස්මුහුණු කීපයක්․ 

ගුරුළු රාක්ෂ මුහුණු

ගුරුළු රාක්ෂ මිත්‍යා සත්වයෙක් වන අතර නාගයින්ගේ දෂ්ට කිරීම්වලින් ආරක්ශාවීමට ගම්වල මෙම වෙස්කෝලම් නැටුම නටනු ලබයි․විශ්ණු දෙවියන්ගේ වාහනය ලෙසත් ගුරුළා සැලකේ․

නාග රාක්ෂ මුහුණු

ගුරුළු රාක්ෂ හා ප්‍රතිවාදී කෝලම් නැටුමට මෙම වෙස්මුහුණ යොදාගනී․නයිපෙන හතකින් සමන්විත මෙම වෙස්මුහුණ ලාංකික නිවෙස්වල ඔබ දැක ඇත․මෙම වෙස්මුහුණ නිවසේ තබාගැනීමෙන් සියළු අනතුරුවලින් වැලකී සිටිය හැකිබව විශ්වාස කෙරේ․

මයුර රාක්ෂ මුහුණු

මොණරකුගේ හැඩතලවලින් යුතු මෙම වෙස්මුහුණ සාමය‚සතුට‚සෞභාග්‍ය උදාකර ගැනීමට නිවෙස්වල තබාගනී․

ගිනි රාක්ෂ මුහුණු

සතුරු කරදර මගහැරී නිවසට සාමය හා මිත්‍රත්වය උදාකරන බව මෙමඟින් සංකේතවත් කෙරේ.


 
 

ගරා රාක්ෂ මුහුණු

ඇස්වහ කටවහ දෝශ මගහැරීමට මෙම ගරා යකුන්ගේ වෙස්මුහුණ නිවෙස්වල එල්ලා තැබෙනවා․කෝලම් නැටුම්වල එක් නර්තන අංගයක් ලෙස ගරා යක් නැටුම හැඳින්විය හැකියි․


යක්ෂ වෙස්මුහුණු

පෙර ඡන්මවල දී කළ පාපකර්ම හේතුවෙන් යකුන්ට හිමිවන්නේ පහත් තත්ත්වයකි.මිනිසුන් බිය ගන්නා හා යකුන් මිනිසුන්ට ආරූඪ වීමෙන් මිනිසුන් ලෙඩකිරීමේ අපූරු බලයක් මොවුන්ට ඇත.යකුන් පස්දෙනෙකු මෙහිදී දැක්විය හැකියි.

කළු යකා :- කුඩා දරුවන් හා ගැහැණු පක්ෂය රෝගාතුර කරවයි.එමෙන් ම තරුණ අයට රාග අධික සිහින දැකීමට ද මොහු දක්ෂ යි.

රීරි යකා :- ලේ ආශ්‍රිත රෝග සෑදීම මොහුගේ කාර්යයි.

මහසෝනා :- මොහු මිනිසුන් බියගන්නා උණ කරවයි.

හූනියම් යකා :- ප්‍රධාන යකුන් පස්දෙනාගෙන් කෲර ම යකු මොහු ය.මොහු දවල් කාලයේ සූනියම් දේවතාව ලෙස සිටියි.රාත්‍රියේදී මිනිසුන් ලෙඩ කරයි.

අභිමාන යකා:-මොහු මිනිසුන්ගේ මනස ලෙඩ කරයි.මිනිසුන් බිය ගන්වයි.

රෝගයන් සුවපත් කිරීමේ අරමුණින් ශාන්තිකර්මයක් කිරීමේ දී මෙම ප්‍රධාන යකුන් තොවිල්පලට කැදවනු ලබයි.එහිදී මහඇදුරා එම යකාගේ ක්‍රියාවන් ආතුරයාට බලපාන ආකාරය විස්තරාත්මකව ඉදිරිපත් කරයි.මෙම යකුන් යාගපොලට පැමිණි පසු ඔවුනට අයත් දොලපිදේනි ආදිය පුද කිරීමෙන් අනතුරුව ආතුරයා අතහැර යා යුතු ය.

 



 

Thursday, December 21, 2023

ගිරිබාවේ පබළුගම

පුරාණයේ පබළු හදපු නිසා අදත් පබළුගම කියල හඳුන්වන ගමක් කුරුණෑගල දිස්ත්රික්කයේ ගිරිබාවට ආසන්න ව තිබෙනවා. එම පබළුගමේ හදපු වීදුරු පබළු ඒවායේ නිපද වූ පබළු නාවික වෙළෙඳාම මඟින් පිටරටවලටත් යවලා කියලයි කැණීම් කරපු පුරාවිද්යාඥයො කියන්නේ. අනුරාධපුර, පොළොන්නරු යුගවල අපේ කාන්තාවන් පැළදි ආභරණ ගැන අප තුළ ඇති කුතුහලය තවත් වැඩිකරන තැනක් තමයි මේ පබළුගම.
 
සීගිරිය බිතුසිතුවම්වලින් හා පුරාවස්තුවලින් එකල අගනා මාල වළලු සංස්කෘතියක් පැවති බවට සාක්ෂි මතු වී තිබෙනවා. අද කාලෙ වගේ ම එදාත් විවිධ හැඩයේ සහ වර්ණයේ පබළු මාල පැළඳීමට කාන්තාවන් ඇබ්බැහි වෙලා ඉඳලා. මේ පබළු අතීතය හෙළිදරව් කරන ගිරිබාවේ පබළුගමට ගිහින් ඒ පබළු හැදුව විදිහ ගැන හොයල බලමු.
 

 
පබළුගල

අනුරාධපුර යුගයට අයත් යැයි අනුමාන කෙරෙන පුරාණ වීදුරු පබළු නිෂ්පාදනාගාරයක නටබුන් සහිත පබළුගල කැණීම් පසුගිය දිනවල සිදුවුණා. මේ ගමේ මතුපිටින් අක්කර ගණනාවක වීදුරු පබළු හමුවීමත් එක්ක කාලයක් තිස්සේ ඉඳලා මේ ගම පබළුගම කියලා හඳුන්වලා තිබෙනවා. වීදුරු පබළු තැනූ ගල් මතුවන නිසා එතැනට පබළුගල කියලත් කියනවා.
වීදුරු උණුකර පබළු නිෂ්පාදනයට ප්රකට ව තිබූ මේ නිෂ්පාදනාගාරය අනුරාධපුර යුගයට අයත් බව මූලික පරීක්ෂණවලින් පැහැදිලි වී තිබෙනවා. මීට වසර කිහිපයකට පෙර පුරාවිද්යා දෙපාර්තමේන්තුව එම පබළු වීදුරු මතුවන ප්රදේශය පුරාවිද්යා ආරක්ෂිත භූමියක් ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා.
පබළු විශාල ප්රමාණයෙන් හමු වී ඇති අනුරාධපුරය පූජා නගරය ආශ්රිත ඓතිහාසික ස්ථාන, මන්නාරම් තොට ආදී ප්රදේශ මෙන් ම ගිරිබාවේ පබළුගලත් ඉතා වැදගත් පුරාණ උරුමයක්. විදේශ රටවල්වලට මෙම ස්ථානයෙන් පබළු නිපදවන්නට ඇති බව සිතිය හැකි බව කැලණිය විශ්වවිද්යාලයේ උරුම අධ්යන කේන්ද්රයේ අධ්යක්ෂ ආචාර්ය මංගල කටුගම්පළ පවසා සිටිනවා.
 

 
පුරාවිද්යා කැණීම්

පබළුගල කැණීම්වල දී පුරාණ අවශේෂ සොයා ගැනීමට අමතර ව එම ස්ථානයේ පුරාවිද්යාත්මක වටිනාකම, එහි නිෂ්පාදන කටයුතු ක්රියාත්මක වූ කාල රාමුව, පබළු නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගත් තාක්ෂණය, ජාත්යන්තර සබඳතා ආදි කරුණු සොයා ගැනීමටත් පුරාවිද්යාඥයන්ගේ විශේෂ අවධානයක් යොමු ව තිබෙනවා. මෙම පර්යේෂණය අවසාන වන විට දකුණු ආසියාවේ පුරාණ වීදුරු කර්මාන්තය පිළිබඳ පැරණීත ම සාක්ෂි රැසක් පවතින ස්ථානයක් බවට ගිරිබාව ‘පබළුගල’ පත්වනු ඇති බවයි පුරාවිද්යාඥයන්ගේ විශ්වාසය වන්නේ.
‘පබළුගල’ ප්රදේශයේ කළ මූලික සමීක්ෂණවලින් හමු වූ වළං කටුවලින් පෙන්වන්නේ පුරාණයේ මෙහි දියුණු ජනාවාස පැවති බව යි. කැලණිය විශ්වවිද්යාලයේ උරුම අධ්යයන කේන්ද්රයේ අධ්යක්ෂ ආචාර්ය මංගල කටුගම්පළ, පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා, ජර්මන් ජාතික පුරාවිද්යාඥ ආචාර්ය ariane de saxce, ප්රංස ජාතික පුරාවිද්යාඥ ආචාර්ය joelle Rolland, කැලණිය විශ්වවිද්යාලයේ පුරාවිද්යා අධ්යයනාංශයේ කථිකාචාර්ය හරින්ද්ර ලාල් නාමල්ගමුව, පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් සහකාර අධ්යක්ෂ එල්. එම්. ගුණතිලක බණ්ඩා, ආචාර්ය නුවන් අබේවර්ධන සහ පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් මේ කැණීමට දායකත්වය දක්වා තිබෙනවා.





පුරාණ ලංකාවේ වීදුරු පබළු භාවිතය
 
ලංකාවේ කාන්තාවන් පූර්ව ඓතිහාසික යුගයේ සිට ම අලංකාර ව සැරසී සිටීමට විශාල කැමැත්තක් දක්වා තිබෙනවා. ඔවුන්ගේ ආභරණ අතර වීදුරු පබළු මාලවලට ලැබුණේ ප්රමුඛ ස්ථානයක්. ඊට අමතර ව ගල්, මැටි හා කානීලියන්, ඔනික්ස් ආදී ඛණිජ වර්ගත් ආභරණ නිපදවීමට යොදා ගෙන තිබෙනවා. රන් ද යොදා ගෙන තිබෙනවා. මේ අතරින් වීදුරු පබළු ජනප්රිය පබළු විශේෂයක් ලෙස සැලකුණු බව පේනවා.
විවිධ හැඩයෙන් වීදුරු පබළු තනා මාල නිපදවා තිබෙනවා. වර්ණ ගැන්වීමේ දී නිල්, කොළ, දුඹුරු, කහ හා සුදු ආදී වර්ණවලින් ඒවා වර්ණ ගන්වා නිර්මාණය කර ඇති බව ද හමු වී ඇති සාධකවලින් පේනවා. ශ්රී ලංකාවේ පබළු භාවිතය පිළිබඳ පුරාණත ම සාධක අයත් වන්නේ ප්රාග් ඓතිහාසික යුගයටයි. ක්රි.පූ. 900-600 අතර මුල් යුගයේදී කාන්තාවන් බහුලව ගෙලේ පබළු මාල දමා සිටින්නට ඇති බව පුරාවිද්යාත්මක කැණීම් මගින් තහවුරු වෙනවා.
අනුරාධපුරයේ වීදුරු පබළු නිර්මාණය ගැන පැරණිත ම කාලනීර්ණ දැනට ලැබී ඇත්තේ කහටගස්දිගිලිය කොක්එබේ මෙගලිතික සුසානයෙන්. එම සුසානය ආශ්රිත ව 2016 වර්ෂයේ දී රජරට විශ්වවිද්යාලය කළ පුරාවිද්යා කැණීම්වල දී ක්රිස්තු පූර්ව 790ට දින නියම වී ඇති සුසානයෙන් නිල් කොළ හා දුඹුරු වර්ණයෙන් තැනූ වීදුරු පබළු රාශියක් ලැබී තිබෙන බව මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් සඳහන් කරනවා.
 
ඇතුළුපුරයෙන් හමු වූ වීදුරු පබළු

අනුරාධපුර ඇතුළුපුරයේ AG 69 පුරාවිද්යා කැණීමේ දී හමු වී ඇති වීදුරු පබළු ක්රිස්තු පූර්ව 350-100 අතර කාලයේ දී භාවිත වී ඇති බවට කාලනීර්ණය වී තිබෙන බව ආචාර්ය සිරාන් දැරණියගල තහවුරු කරනවා. සිරාන් දැරණියගලගේ විග්රහ කිරීම් අනුව අනුරාධපුර ඇතුළුපුරයෙන් හමු වූ වීදුරු පබළු වර්ගවල හැඩවලට සමාන හැඩ, ඉන්දියාවේ උජ්ජේන්, අහිඡත්ර හා හස්ථිනාපුර් කැණීම්වල දී ද වාර්තා වී තිබෙනවා.
වීදුරු පබළු භාවිතය ඇතුළුපුර ජනාවාසයේ මධ්ය මුල් ඓතිහාසික අවධිය තුළ දී ක්රිස්තු පූර්ව 250 – 100 අතර කාලයේ භාවිත වී තිබෙන බව ද දැරණියගල පෙන්වා දී තිබෙනවා. ඊට පෙර අනුරාධපුරයට නුදුරු පෙදෙස්වල වීදුරු පබළු භාවිත කළ බව කොක්එබේ මෙගලිතික සුසානයේ දින වකවානුවෙන් පැහැදිලි වෙනවා.
වයඹ පළාතේ අන්දරවැව හා පොල්පිතිගම මෙගලිතික සුසානවල දින නීර්ණ අනුව දක්රිස්තු පූර්ව 500 දී හෝ ඊට පෙර දී වයඔ පළාත තුළ වීදුරු පබළු නිෂ්පාදනය හා භාවිත කිරීම සිදුකර තිබෙනවා.
පබළු අලංකාර පලඳනාවක් වශයෙන් වගේම සමාජ තත්ත්වය පෙන්වීමටත් යොද‌ා ගෙන ඇති බව ද ඉබ්බන්කටුව වැනි මහා ශිලා සුසානවලින් සොයා ගත් පබළුවලින් පේනවා. ඉබ්බන්කටුවෙන් ඉතා අලංකාර පබළු මාල හමු වී තිබෙනවා.
 
පබළුගල පබළු උදුන්
 
රජරට විශ්වවිද්යාලය, ගිරිබාව ප්රදේශයේ දී මෙම කැණීමට පෙර කළ ක්ෂේත්ර විමර්ශනයේ දී පැහැදිලි වූයේ විවිධ වර්ණයෙන් යුත් වීදුරු පබළු රාශියක් උඳුන් ස්ථාපිත ව ඇති පබළුගල ප්රදේශය පුරා දැකගත හැකි බව යි.
එසේ ම ඉතා විශාල ප්රමාණයේ උඳුන් 15කට වැඩි ප්රාමාණයක් ගිරිබාවේ ඇති බව ගම් වැසියන් ප්රකාශ කර සිටියත් පුරාවිද්යාඥයන්ට නිරීක්ෂණය වූයේ විශාල උඳුන් දෙකක් පමණ යි. ඒවා ද පුරාවස්තු විනාශ කරන්නන් දැඩි විනාශයකට ලක් කර තිබුණා.
අන්දරවැව මෙගලිතික සුසානය ආශ්රිත කැණීමේ දී ද වීදුරු පබළු ගැන සාධක රාශියක් හමුවී තිබෙනවා. වීදුරු නිර්මාණයට යොදා ගත් උඳුන මෙන් ම කැණීමේ දී හමු වූ වීදුරු පබළු නිර්මාණයට යොදා ගත් නළ කොටස්, පෙති කිරීමට පෙර ඝන වූ පබළු කොටස් මෙන් ම නිර්මාණය කළ පබළු ද ඉන් හමුවෙනවා.
කැළණිය විශ්වවිද්යාලයේ පුරාවිද්යාඥයන් ඇතුළු කණ්ඩායම හඳුනා ගත් ගිරිබාවේ පබළුගල පෞරාණික උදුන් ප්රමාණයෙන් විශාල ඒවා වෙනවා. එහි විශ්කම්භය මීටර් දෙකත් තුනත් අතර අගයක් ගන්නවා. එවැනි විශාල ප්රමාණයේ උදුන් භාවිත කිරීම මෙන් ම උදුන් විශාල ප්රමාණයත් එක ම ස්ථානයක තිබීමත් නිසා එම ස්ථානයේ මහා පරිමාණයෙන් පබළු නිෂ්පාදනය සිදුවන්නට ඇති බව අනුමාන කරනවා. 
 

 
වඩා ජනප්රියව ඇත්තේ වීදුරු පබළුයි
 
කානේලීයන්, ඇගේට් වැනි ඛනිජවලින් නිර්මාණය කරන පබළු භාවිත වුණත් අතීතයේ සිටම වඩා ජනප්රිය ව ඇත්තේ වීදුරු පබළු යි. අභයගිරිය, ජේතවනාරාමය, තිස්සමහාරාමය, මාන්තායි වැනි ස්ථානවලින් පබළු හමු වූ විට ඒවා විදේශික රටවලින් ලැබෙන්නට ඇතැයි කියා මේ තාක් පුරාවිද්යාඥයන්ගේ අනුමානයක් වුණා. පබළුගල කැණීම්වලින් ලංකාවේ වීදුරු පබළු විශාල වශයෙන් නිපදවා ඇති බව හෙළි වෙනවා.
එහිදී කැණීම් කණ්ඩායමට වීදුරු පබළු නිෂ්පාදනය කළ බවට හඳුනා ගත් උදුන් තුනක් හමු වුණා. භූ භෞතික ක්රමවේදය යටතේ පොළොවේ කළ ස්කෑන් පරීක්ෂණයකින් තවත් උදුන් 40 කට ආසන්න ප්රමාණයක් ප්රදේශය අවට ඇති බවට හඳුනා ගන්නට ලැබුණා. මේ සාක්ෂි අනුව පැහැදිලි වන්නේ අනුරාධපුර රාජධානි කාලයේ දී ප්රධාන වීදුරු පබළු නිෂ්පාදනාගාරයක් මෙහි පවතින්නට ඇති බව යි.
දකුණු ආසියානු කලාපයේ රටවල්වල මෙවැනි පෞරාණික පබළු නිෂ්පාදනය පිළිබඳව සාක්ෂි හමුවුවත් එක ම ස්ථානයකින් මේ තරම් පබළු ප්රමාණයක් සහ උදුන් ප්රමාණයක් හමු වූ ප්රථම අවස්ථාව මෙය ලෙස හඳුන්වන්නට පුළුවන්.
 

 
පබළුගම අලංකාර පබළු

ගිරිබාවේ පබළු නිර්මාණය සඳහා නළ (Tube) සකස් කර පසුව ඒවා පෙති ලෙස (Slice) කපා ගෙන තිබෙනවා. ගිරිබාව පබළුගල උදුන් පිහිටි භූමියේ ඇති උඳුන්වල බිත්තිවල ඇලී ඇති වීදුරු අනුව නිල්, දුඹුරු හා කහ වර්ණ වීදුරු ඒවායේ නිෂ්පාදනය කර ඇති බව සැලකිය හැකි යයි මහාචාර්ය තුසිත මෙන්ඩිස් කළ ගවේෂණයක දී සොයා ගත්තා.
වීදුරුවලින් කරපු මේ වගේ පබළු හඳුන්වන්නේ ‘ඉන්දු ෆැසිපික් බීඩ්ස්’ කියල යි. එවා පුරාණයේ දී ලෝකය පුරා ම සංසරණය වෙලා තියෙනවා. මේ පබළු නිර්මාණය කළ මුල් භූමිය විදියට මේ වනතෙක් සැලකුණේ දකුණුදිග ඉන්දියාව යි. පුරාවිද්යා ගවේෂණවලින් ලැබුණු දත්ත අනුව ලංකාවෙන් හමුවන මේ පබළු දකුණු දිග ඉන්දියාවෙන් හමුවන පබළුවලට වඩා පරණ බව පැහැදිලි වී තිබෙනවා.
මෙම පබළු නිෂ්පාදනාගාරයෙන් ලැබෙන කැණීම් ප්රතිඵල මත අනුරාධපුර මුල් අවධියේ සිට එහි අගභාගය වන 8-9 සියවස් වනතෙක මෙහි පබළු නිෂ්පාදනය සහ සංසරණය තිබුණු බව පුරාවිද්යාඥයන් අනුමාන කරනවා. කෙසේ වුවත් මේ අනුමානය කාල නිර්ණ වාර්තාවලින් තහවුරු වුණොත් දකුණු ආසියාවේ පැරණිතම වීදුරු පබළු නිෂ්පාදනාගාරය ලෙස තැනක් ගන්නට පබළුගලට හැකියාව ලැබේවි. 
 
ස්තුතියි - උපුටාගැනීමකි
Kusumsiri Wijayawardena  

මූලාශ්‍ර:
units.kln.ac.lk
dinamina.lk
lankadeepa.lk
silumina.lk
ලක්දිව ආභරණ ඉතිහාසය- මාලිංග අමරසිංහ

Tuesday, December 19, 2023

උඩරට නැටුම් කලාව ලොවට ගෙනගිය නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ

සෙසු නැටුම් කලාවන්ට නොදෙවැනි අයුරින් උඩරට නර්තන කලාව නඟාසිටුවා දෙස් විදෙස් ජනනායක, ප්‍රභූ රසික ජන නායකයන්ගෙන් කිත් පැසසුම් හා වටිනා රන් සම්මාන පදක්කම් රාශියක්ම මෙරටට රැගෙන පැමිණි උඩරට නැටුම් සූරී නින්තවෙල පදිංචිව සිටි මහ යද්දෙස්සගේ ගුණයා ගුරු මහතා ඉතා දුක්බර පරිදි අකාලයේ දැයෙන් සමුගෙන මෙම දෙසැම්බර් මස 26 වැනි දිනට පුරා වසර 43 ක් සපිරේ.
 

එවකට ගුණයා පවුලේ පැවැති දැඩි දරිද්‍රතාවය හේතුවෙන් කෝපි වතුවල කෝපි කැඩීමට ගොස් සිටි එක් දිනෙක විශාල දිමි ගොට්ටක් ඔහුගේ හිස මතට කඩා වැටී අසීරුතාවකට පත්වී තිබේ. ඒ අනුව ඔහු ඇස් පෙනීම දුර්වල වී ඔත්පල තත්ත්වයට පත්වී ඇත.
 
තවත් එවැනිම එක් සැන්දෑ වේලාවක අඳුර, ගුණයා මහතාගේ දිළිඳු නිවහන වසා ගනිමින් සිට ඇත. එම මොහොතේ ගුණයා මහතා සිය ගෙට ගොඩවී අඳුර මකන්නට ගිනිකූර දල්වා එහි වූ භූමිතෙල් ලාම්පුව සොයා තිබේ. දැල් කම්බි මැස්ස මත වූ භූමිතෙල් කුප්පි ලාම්පුව බිම වැටී විශාල ගිනි ගොඩක් හටගෙන ඊට ගුණයා ගුරුද ගොදුරු වී ඇත. දැඩි පිළිස්සුම් තුවාල සහිත ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කොට ප්‍රතිකාර කළත් ඒ මහතා ඊට පසුදින එනම් 1979 දෙසැම්බර් මස 26 වැනි දින රසික හදවත් සෝ සයුරේ ගිල්වා සිය ජීවිතය හැර ගොස් තිබේ.
 
සෙංකඩගල පුරවරයේ දළදා සමිඳු දිස්වෙන ඉසව්වක පිහිටි නිත්තවෙල ගමේ මෙලොව එළිය දුටු ගුණයා කුඩා දරුවා වටපුළුව විද්‍යාලයෙන් පහ වසර දක්වා අධ්‍යාපනය හදාරා ඊට නැවතුම තබා තමන් වඩාත් රුචිකත්වය දරන උඩරට නැටුම් කලාව හැදෑරීමට යොමු වී තිබේ. ඔහු වයස අවුරුදු හයේ සිටම දළදා පෙරහැරේ නැටුම් සංදර්ශනවලට යොමුවී ඇත.
 
ගුණයා ගුරුන්නාන්සේගේ පියා උක්කුවා ය. ඔහුත් උඩරට නැටුම් පරම්පරාවකින් පැවත එන්නෙකි. උඩරට නැටුම් මුලින් ආරම්භ වී ඇත්තේ කොහොඹ කංකාරි ශාන්තිකර්මය මුල්කරගෙනය. පඬුවස් දෙව් රජුට හටගත් දිවි දොසක් දුරුකිරීම සඳහා එවකට මලය රටින් එවන ලද කොහොඹ කංකාරිය ශාන්තිකර්මය පිහිට වී තිබේ. එතැන් සිට උඩරට නැටුම පටන්ගෙන ඇති බව කියති.
 
උඩරට නැටුමක අඩංගු සියලුම අංගචලන ලක්‍ෂණයන් යොදාගනිමින් සිදුකෙරන උඩරට නැටුම් සංදර්ශන මේ තරමට ජගත් රසික ජනයා අතරට පැමිණ ඇත්තේ එහි අඩංගු පාරම්පරික අංග චලනයන් සමග ඉදිරිපත් කිරීමෙන් බව ඒ පිළිබඳව විචාරක මත පළවේ.
 
නිත්තවෙල ගුණයා ගුරු මෙම සියලුම අංගචලන සමග ඉහළම උසස් උඩකරනම් විදහා දැක්වීම තුළින් ඔහු දේශ දේශාන්තරවලදී රසිකයන්ගේ ජනාදරයට පත්වී තිබේ. ගුණයා ගුරුගේ ජනප්‍රියතම සමනල වන්නම හා මහබෝවන්නමට පෝෂණය ලැබී ඇත්තේ වියත් ලේඛක චන්‍ද්‍රරත්න මානවසිංහ හා ඩී. බී. ධනපාල සූරීන්ගෙනි.
 
වයස අවුරුදු 9 සිටම මහනුවර දළදා පෙරහැරේ උඩරට නැටුම් සංදර්ශනයන් චාරිත්‍රානුකූලව පුරා වසර හැටකට අධික කාලයක් රඟ දක්වා ජනී ජනතාව ඉමහත් සතුටට පත්කර ඇත. මේ අතර උඩරට නැටුම් සූරී නිත්තවෙල ගුණයා ගුරු ඇතුළු ඔහුගේ නැටුම් කණ්ඩායම ජර්මනියට රැගෙන යෑමට එකවට දෙහිවල සතුන් වත්තේ සේවය කරමින් සිටි සත්ත්ව වෛi නිලධාරි ජෝන් හේගන් බර්ත් මහතා ඉදිරිපත් විය. එය 1957 වසරේදීය. ඒ අනුව රටවල් 47ක් සමග පැවති නැටුම් මාලාවකින් සෙසු රටවල් පරාජයට පත් කරමින් රන් පදක්කම් දිනා ගැනීමට ගුණයා සමත් විය. 1973 මාර්තු මසදී කොළඹ නව රඟහලේදී ශ්‍රී ලංකා ජනරජය මගින් ගුණයා ගුරු මහතාව අපේ රටේ සම්මානනීය පුද්ගලයකු ලෙස උපහාර උළෙලක් පවත්වා පුදනු ලැබීය.
 
කලාව සිය බඩවියත රැකගන්නා මාර්ගය හැටියට නොගෙන නැටුම් කලාවේ ගෞරවය හා වගකීම රැකගත් ගුණයා මහතාගේ උඩරට නැටුම් විලාශය කෙටි කලකදී විදේශිකයන් පුරුදු පුහුණු වී ඒවාට විශාල ඉල්ලුම් ඇති කළහ. මෙරට උඩරට නැටුම් හා විදේශිකයන්ගේ පුහුණු නැටුමත් සමාන තත්ත්වයක පැවතිණි.
 
කුඩාකලම ගුණයා දරුවාගේ හසල දස්කම් දුටු ඔහුගේ ලොකු අප්පච්චි වන සුරඹා ගුරුන්නාන්සේ ගුණයා පුතාගේ සුරුබුහුටි දක්‍ෂතා කුඩාකල දීම දැක හඳුනාගෙන ඔහුගේ වේලාපත ගෙන්වා ගෙන එය පරීක්‍ෂා කර බැලීය. එහි සඳහන් විස්තර අනුව ගුණයා ගුරු නුදුරේදී රට රාජ්‍යවල හා ප්‍රභූ නායකයන්ගෙන් විශාල වශයෙන් තාන්න මාන්න ලබාගන්නා බවත්, ලෝකයේ ප්‍රසිද්ධියට පත්වීමට ඉඩකඩ ඇත්තෙකු බවත් ඔහුගේ ලොකු අප්පච්චි දැන ගත්තේය. තමා දන්නා ශිල්ප ශාස්ත්‍රය කියා දුන් සුරඹා ගුරු සතුටු වෙමින් සිටියේය.
 
රට වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකළ ගුණයා ගුරුන්නාන්සේට උපහාරයක් ලෙස 1950 වසරේ පැවති නිදහස් දින උළෙලේදී ශත හතරේ මුද්දරයට ගුණයා ගුරුන්නාන්සේගේ රුව අඩංගුකර මුද්දරයක් නිකුත් කරන ලදී. එසේම ඊට පසුව එනම් 2005 නිදහස් දින අවස්ථාවේදී නිත්තවෙල ගුණයා ගුරුගේ රූප අඩංගු රුපියල් පනහ හා සියයේ නෝට්ටු රජය මගින් එළිදක්වා ඔහුට උපහාර පවත්වා ඇත.
 
පිටරටවල උඩරට නැටුම් රඟදක්වා ලබාගත් වටිනා සම්මාන, රන් පදක්කම් ඇතුළු උපකරණ සමග කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී සොරුන් පිරිසක් ඔහුගේ නැටුම් පෙට්ටිය කඩා එහි තිබූ වටිනා රන් පදක්කම් ඇතුළු භාණ්ඩ රාශියක් කොල්ලකා ඇත. පිටරටවල ගොස් රටට විශාල කීර්තියක් රැගෙන එන අය රතු පලස මතින් පිළිගැනීම සිදුකරන අතර එදා තමන්ට කිසිදු ආරක්‍ෂාවක් ලබානොදුන් බව ඔහු පසුව සඳහන් කර තිබේ.

උඩුදුම්බර – ඇස්. අබ්දුල් අසීස්

සීතාවක උරුමය

කොළඹ සිට කි. මි. 46ක් දුරින් පිහිටි අවිස්සාවේල්ලට නුදුරු සීතාවක අදින් සියවස් හතරහමාරකට පෙර රටේ ප්‍රබල රාජධානියක්. මේ රාජධානිය බිහිවන්නේ 1521 දී කෝට්ටේ සිදුවූ විජයබා කොල්ලයෙන් පසුවයි. මායාදුන්නේ කුමරු ( 1521-1581) මුලින්ම සීතාවක රජවන අතර,ඊට පසු ඔහුගේ පුත් සීතාවක රාජසිංහ ( 1581-1593) මෙහි කිරුළු දරනවා. මේ රාජ කාලවලට සහ ඊට පෙර යුගයන්ට අයත් ඉපැරණි නටබුන්ද සීතාවක දක්නට ලැබෙනවා. නමුන් වැඩිදෙනෙක් ඒවා දැකබලා ගැනීමට නම් උනන්දුවන බවක් පේන්න නැහැ.
 

සීතාවක මාලිගය පිහිටි කොටුව

ලංකාවේ රාජධානි අතර නොමැකෙන මතක සටහන් රැසක් තැබූ සීතාවක රාජධානියේ ප්‍රධාන ස්මාරකය සීතාවක කොටුවයි. මෙය පිහිටා ඇත්තේ අවිස්සාවේල්ලේ සිට කි.මී. 2 ක් දුරින් තල්දූවෙන් හැරී යන පනාවල පාරෙහි බණ්ඩාරවත්ත ප්‍රදේශයේ. බටහිරින් හා නැගෙනහිරින් සීතාවක නදියටද නිරිත දිගින් ගැටහැති ඔයටද මායිම් වූ මෙහි උතුරින් කුඩා කඳුගැටයක් තිබෙනවා. ඊසාන දෙසින් තැඹිලියාන කන්දයි. ජල දුර්ග හා ගිරිදුර්ග වලින් සුරක්ෂිත වූ උස් බිම් කඩක පිහිටි මෙම කොටුව ප්‍රසිද්ධව තිබුණේ ඕලන්ද බලකොටුවක් ලෙසින්.නමුත් එහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී පැරණි සීතාවක රාජ මාලිගය පිහිටි භූමියේ බලකොටුව ඉදිකළ බව හෙළි වුණා.
මායාදුන්නේ රජු මාලිගා සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ඉටු කරගෙන ඇත්තේ ආර්ය නම් ඇමැතිවරයා ලවා බව සීතාවක හටනේ දැක්වෙනවා. රාජ සභා ශාලාව, සක්මන් මණ්ඩපය, සළු මණ්ඩපය, උල්පැන්ගෙය, ආයුධ මණ්ඩපය, බිසෝ මාලිගා, ගබඩා ගෙවල්, මුළුතැන් ගෙවල්, ඇත්හල්, අස්හල් ආදියෙන් මාලිගා භූමිය සමන්විත වූ බව සීතාවක හටනේ විස්තර වෙනවා.

සැවුල් සංදේශයද මෙම මාලිගය පිළිබඳ තොරතුරු දක්වන මූලාශ්‍රක්. එයට අනුව බිමට ඔප දමන ලද ගල් පුවරු ඇල්ලූ විසිතුරු කැටයම් කණු මත වහලය තනා රන්කොත් පළඳවා බිත්ති සිතුවමින් අලංකාර කර තිබුණා. ඕලන්ද පිඟන් කැබලි, දුම් පයිප්ප කැබලි, ඊයම් මූනිස්සම්, උළු කැබලි, මධ්‍ය කාලීන අවධියට අයත් කාසි, වළං කැබලි, කම්මල් ඇණ ආදී අවශේෂ මින් හමුවුණා.

මානියංගම රජමහා විහාරය

රජ මාලිගය නරඹා පනාවල මාර්ගයේම තවත් ඉදිරියට කි. මී. 4ක් යනවිට මාර්ගය වම්පසින් ඉහළ නගින යකහටුවාව කන්ද අපට පේනවා. මේ කඳුබෑවුමේ පිහිටි විශාල ගල්පර්වතයක් ඇසුරුකර ගෙන ඉදිකර තිබෙන්නේ මානියංගම ලෙන් විහාරයයි. එය සීතාවක රාජධානි සමයේ රජවරු වැඳපුදාගත් ප්‍රධාන පූජනීය ස්ථානයයි. පසුව උඩරට රාජධානි සමයේද මෙම පුදබිමට රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙනවා.

කඳුවැටියෙන් ගලාබසින සුන්දර දොළ පහර දෙකක් මැද පිහිටි මෙම ලෙන් විහාරය මුලින්ම ආරම්භ කළේ වළගම්බා රජ සමයේ බව ජනප්‍රවාදවල දැක්වෙනවා. උඩරට සම්ප්‍රදායට අයත් බිතුසිතුවම් මෙහි දක්නට පුලුවන්. රජමහා විහාරයේ මකර තොරණ් දෙක අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අඩි 6ක් පමණ උස රූපයක් අඹා තිබෙනවා. මෙහි පැවැත්වෙන සුවිශේෂ සංස්කෘතික අංගයක් වන්නේ දුරුතු පෝය දින වීදි සංචාරය කරන කරල් පෙරහරයි. අලුත් අස්වැන්නෙන් නෙලාගත් වී කරල් එලෙස පෙරහරේ රැගෙන යනවා. එහි පෙරහර පිටත්වීමට දැනුම්දෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පරිත්‍යාග කළ කාලතුවක්කුවෙන් බවයි පැවසෙන්නේ.

යකහටුවාව කන්ද

මානියංගම විහාරය පසුපසින් ඉහළ නගින කඳුවැටිය යකහටුවාව හෙවත් කොබෝතුරාගලයි. සීතාවක රාජධානි සමයේදී පෘතුගීසින් පැමිණෙනවාදැයි ඔත්තු බැලීමට මෙම කන්ද යොදාගත් බව පැවසෙනවා. මේ කන්ද තරණය කිරීමට පනාවල පාරේ තවත් ඉදිරියට ගොස් බෝමළුව හන්දියෙන් හැරී යද්දෙහිකන්ද දක්වා ඇති අතුරු මාර්ගයේ කි. මී 2ක් ගමන් කළ යුතුයි. මේ පාර කොන්ක්‍රීට් දැමූ දුෂ්කර බෑවුම් සහිත මාර්ගයක්. ජීප් රථයකට හෝ ත්‍රිවිල් එකකට ගමන් කළ හැකියි. යද්දෙහිකන්දේදී කන්ද මුදුනට යන මාර්ගය ගැන ගම්වැසියන්ගෙන් අසාගත යුතුයි. කන්දට යාමට ස්ථිර පාරක් නැහැ. රබර් වතු හා වනාන්තර හරහා ගමන් කළයුතුයි. කිතුල් මැදීම හා රබර් කිරි කැපීම මේ අවට සිදුවෙනවා. හේන් බෝග වගාවත් අතරින් පතර දැකගත හැකියි. කොළඹට නුදුරින් දුෂ්කර කඳුකර අත්දැකීමක් ලබාගැනීමට මෙය කදිමයි.

කඳු මුදුන ආසන්නයේ පැතිර තිබෙන්නේ කොබෝතුරාගල පර්වතයයි. එම පර්වතය නැගීම නම් ඇඟ හිරිවැටෙන වැඩක්. ඒ තරම් සෘජු බෑවුමක් සහිතයි. එය තරණය කිරීමට සබරගමුව පළාත් සභාවෙන් කොන්ක්‍රීට් පියගැට පෙළක් ඉදිකර තිබෙනවා. නමුත් අපට දැකගැනීමට ලැබුණේ එහි අත්වැට කඩාදමා ඇති බවයි. කඳු මුදුනට සබරගමුව කඳුවල හා කොළඹ දක්වා බස්නාහිර තැනිතලාවේ අංශක 360ක අපූරු දර්ශනයක් දැකගත හැකියි. අහස පැහැදිලි දිනවල සමනල කඳුවැටියත් අලංකාරව දිස්වෙනවා.

බැරැන්ඩි කෝවිල

කන්ද තරණය කර ආපසු තල්දූවට පැමිණ යටියන්තොට පාරේ මඳ දුරක් ගමන් කළ විට මහාමාර්ගය අද්දර පුරාවිද්‍යා නාම පුවරුවක් සවිකර තිබෙනවා. එතැනින් හැරිලා තවත් මීටර 200ක් පමණ නිවාස මැදින් වැටුණු පටු පාරක ගමන් කළ විට බැරැන්ඩි කෝවිල් භූමියට පැමිණිය හැකියි.

බැරැන්ඩි කෝවිල කිව්වම හිතට එන්නේ නිකම් නුහුරු හැඟීමක්. සැවුල් සංදේශයේ මෙය හඳුන්වා තිබෙන්නේ භෛරව කෝවිල යනුවෙන්. සීතාවක රාජධානියට අයත් බැරැන්ඩි කෝවිල පිහිටා තිබෙන්නේ තරමක් උස් භූමියක. එයට පහළින් සීතාවක ගඟ ගලාබසිනවා. සීතාවක රාජධානියේ හමුවන ඵෙතිහාසික ස්ථාන අතර ශෙලමය නටබුන් වැඩිම නිර්මාණය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අඩි 100ක් පමණ දිග හා පළලින් යුත් ශෛලමය වේදිකාවක් මත කළුගල් පුවරු ඇතිරූ මළුවක් තියෙනවා. මෙම මළුව මැද අඩි 15ක් පළල අඩි 20ක් පමණ දිග දෙවොල් ගෙයක් දක්නට ලැබෙනවා. එහි පිහිටි කුලුනු සම්පූර්ණයෙන් වැඩ නිම කර නැහැ. ඒවායේ අපූරු කැටයම් දක්නට ලැබෙනවා. ඒවා ද්‍රවිඩ වාස්තු විද්‍යා ලක්ෂණවලින් යුක්තයි.
මේ කෝවිල පළමු වන රාජසිංහ රජු විසින් අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ උපදෙස් අනුව කරවූ බව තමයි පැවසෙන්නේ. නමුත් මිනිස්සු 2000 ක් මෙහි වැඩට යෙදවූ පසුත් රජතුමාට මේ කෝවිල ඉදිකරගන්න බැරිවෙලා තියෙනවා. අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් මේ කෝවිල හදන්න පටන් අරං තියෙන්නේ කවදාවත් ඉවර කරන්න නෙවෙයි කියලයි ජනප්‍රවාද පවසන්නේ. සීතාවක රාජසිංහ රජතුමා පියා මරා ශිවභක්තිය වැළදගෙන එම පාපය ගෙවීමට බැරැන්ඩි කෝවිල ඉදි කළ බවට ජනප්‍රවාදයක් පැවතියත් ලිඛිත හා පුරාවිද්‍යා නටබුන් මූලාශ්‍ර පරීක්ෂා කිරීමෙන් සීතාවක රාජසිංහ රජතුමා පියා මරා ශිව භක්තිය වැළද නොගත් බව තහවුරු වෙනවා.
රාජසිංහ රජු පෙතන්ගොඩ උයනේදී විෂ කටුවක් ඇනිලා මිය ගියාට මිය ගියාට පස්සේ කෝවිලේ වැඩ අත්හැරලා දමා තිබෙනවා. ඒ වන විට​ බාගෙට හදපු කෝවිල පස්සේ කාලෙක කඩා වැදුණු පෘතුගීසින් විසින් විනාශ කළ බවත් පැවසෙනවා.

රාජසිංහ සොහොන

බැරැන්ඩි කෝවිල නරඹා ආපසු පැමිණ යළිත් යටියන්තොට පාරේ තල්දූව පසුකර පාරේ මඳ දුරක් ගියවිට ගුරුගල්ල පාර හමුවෙනවා. ඒ පාර ඇදීයන්නේ කැලණි ගංගාවට සමාන්තරවයි. එහි මඳදුරක් යනවිට පැරණි තුරග තරග පිටිය දකින්න ලැබෙනවා. මේ පාරේ හරියටම කිලෝ මීටර් දෙකක් ගිය තැන රාජසිංහ සොහොන පිහිටි ස්ථානයට අපි ළඟාවෙනවා. මහාමාර්ගය අද්දරම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාම පුවරුවක් සවිකර තිබෙන නිසා පාර සොයාගැනීම පහසුයි.


මේ අසලින් කැලණි නදිය ගලාබසිනවා. මෙහි පැරණි නටබුන් දකින්න ලැබෙන්නේ නැහැ. ස්වභාවික ගල්කණු කිහිපයක් පමණක් සහිත ස්ථානයක්. එය වටකර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැටක් සවිකර තිබෙනවා.

තිඹිරිපොල රජ ලෙන

යටියන්තොට පාරේ තවත් ඉදිරියට යන විට අප ළඟාවන්නේ දෙහිඕවිටටයි. දෙහිඕවිටට නුදුරු පිටදෙනියෙන් හැරී කිලෝ මීටරයක් ගමන් කිරීමෙන් තිඹිරිපොළට පිවිසිය හැකියි. සීතාවක ගඟ මේ ගමට නුදුරින් ගලාගෙන යනවා. ගමට ඈතින් ප්‍රාකාරයක් සේ ඉහළ නගින්නේ මානියංගම යකහටුවාව කන්දයි. රජලෙනට පැමිණීමට නම් ගඟ හරහා ඉදිකර ඇති සංගිලි පාලමෙන් එගොඩවී තවත් ටික දුරක් පියමං කළ යුතුයි. ලෙනට පිවිසීමට පෙර ගං ඉවුරට නුදුරින් ලදු කැලෑවක පිහිටි රම්පටගල සිරිපතුල් කැටයමද නැරඹීමට පුලුවන්. 
 
එය කොටා තිබෙන්නේ ගල්පර්වතයක් මතයි. සිරිපතුල මැද නෙලුම් මල් මෝස්තර කැටයම් කර තිබෙනවා. මෙය වෙතට පැමිණීමට නිශ්චිත මාර්ගයක් නැති නිසා ගම්වැසියන්ගෙන් මඟසලකුණු අසාගැනීමට සිදුවේවි. පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි දෙකකින් යුත් රජලෙන තවත් ටික දුරක් ගමන් කරන විට හමුවෙනවා. මෙම සෙල්ලිපිය වසර 2000ක් පමණ පැරණියි. මෙරටට බුදුදහම ලැබුණු ආසන්න සමයකට එය අයත් වෙනවා. ගම් ප්‍රධානියකු සහ උපාසකයකු විසින් ලෙන් කරවා භික්ෂුන් වහන්සේට පූජා කිරීම ගැනයි මෙම සෙල්ලිපිවල සඳහන් වන්නේ. අවශ්‍ය නම් මේ මාර්ගයේ තවත් ඉදිරියට ගොස් යකහටුවාව කන්දට පැමිණීමටත් පුලුවන්.
 
Kusumsiri Wijayawardena

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...