Monday, February 12, 2024

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටාව, ස්වභාවය, ඇදුම, නේපථ්‍යය, ආභරණය හා වේශය යන්න වේ.
 
කෝලම් නාට්‍ය කවර කාලෙක ප්‍රභවය වූයේ දැයි නිශ්චිත ව සදහන් කළ නො හැක. කෝලම් උපත් කතාවට අනුව කෝලම් ප්‍රභවය වී ඇත්තේ මහා සම්මත රජතුමාගේ බිසවට ඇති වූ දොළ දුක සංසිදවීම සදහා ය. මෙම කතා පුවත හැරෙන්නට වෙනත් උත්පත්ති කතා ද කෝලම් උපත සම්බන්ධ ව ඇතත් ඒවායේ ද සදහන් වන්නේ මෙම කතා පුවතට සමාන කතා ප්‍රවෘත්තීන් ය.
 
 
කෝලම් රංගනයේ ප්‍රභවය පිළිබඳ සෘජුව කරුණු සදහන් ඉපැරැණි ලිපි ලේඛන කිසිවක් නොමැති අතර සම්භාව්‍ය සාහිත්‍යයේ දැක්වෙන සදහනකින් කෝලම් රංගනයේ අතීතය පිළිබඳ තොරතුරක් ලබා ගත හැක. එම තොරතුර සදහන් වනුයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජ්‍ය සමයෙහි වීදාගම හිමියන් විසින් රචනා කරන ලද ලෝවැඩසගරාවෙහි ය.
 
වත්මනෙහි කෝලම් රංගනයන්හී රග දැක්වෙන හා අතීතයේ කෝලම් රංගනයන්හී රග දක්වා ඇති කෝලම් චරිත මෙසේ ය.
  •  
  • අණබෙර
  • හේවාරාල
  • ආරච්චි රාල
  • මුදලිතුමා
  • රජතුමා සහ පිරිවර
  • කලිගු රජතුමා
  • නාග කන්‍යාව
  • මෙහෙසුරු උමා
  • ලෝකාධිපති යකු
  • නාග රාක්ෂ
  • රත්නකූට යක්ෂයා
  • අසුර යකා
  • නීලගිරි යකා
  • ආඩිගුරු
  • දේවගිරි කල්‍යාණිය
  • අනංග බහිරව
  • නාගමාර රකුසා
  • අගනාදී යකු
  • ගරුඩ රාක්ෂයා
  • විදුර ජාතක කතාව
  • සිංහ රජු
  • වලස් නැටීම
  • ගොන් දිවි කතාව
  • සදකිදුරු කතාව
  • පේඩි කෝලම
  • අප්පුවරු
  • ලන්දේසි කෝලම
  • ගුරුලු කෝලම
  • ගම කතාව
  • මනමේ කතාව
  • දේව ගිරි යක්ෂයා
  • බඩ දරු කතාව
  • ගෝඩිම්බර කතාව
  • දෙමළ අගන
  • කොක් කෝලම
  • මහලු යුවල
  • බහිරව යකා
  • බලු නැටවීම
  • ගිරි දේවි
  • වීරබද්දන යක්ෂයා
  • මරුවා
  • ගරා යකු
  • කරපිට කෝලම
  • නාගරාක්ෂ කෝලම
  • නාගකන්‍යා කෝලම
  • ගුරුළු රාක්ෂ කෝලම
  • මරු රාක්ෂ කෝලම
  • පූර්ණක රාක්ෂ කෝලම
  • ගරුඬ රාක්ෂ කෝලම
  • සුරඹාවල්ලිය කෝලම
  • පංචනාරිඝටය කෝලම
  • නාරිලතා කෝලම
  • සිංහ කෝලම
  • ගොංකොටි කෝලම
  • සඳකිඳුරු කෝලම
  • මනමේ
  • කාපිරි කෝලම
  • අන්ධභූත කෝලම
  • වෙස්සන්තර කෝලම

මෙකී කෝලම් රංගන රග දැක්වෙනුයේ කෝලම් මඩු අවස්ථාවන්හිදී ය. මෙම කෝලම් නාට්‍ය රග දැක්වීම් ලක්දිව දකුණු ප්‍රදේශයන්ට වන්නට ඉතා ප්‍රචලිත ව පැවත ඇත.

ලක්දිව දකුණු ප්‍රදේශයට අමතර ව ඌව සබරගමු ප්‍රදේශයන්හී ද කෝලම් රංගන පැවති බවට සාධක හමුවේ. මෙකී කෝලම් ඉහත සදහන් කරන ලද කෝලම් උපත් කතාව හා කෝලම් පද්‍යාවලි පෙළ සමග සම්බන්ධ නොවේ. මෙම රංගන ඌව සබරගමුවේ පිහිටි කතරගම දේවාල මූලික කර පැවති කෝලම් රංගන බව තොරතුරු ගවේෂණයේ දී හදුනා ගත හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම කෝලම් රංගනය කිරීම සදහා ම වෙන්වූ කෝලක්කාර පංගුව නම් වෙනම නිලයක් ද මෙම දේවාල ආශ්‍රිත ව ක්‍රියාත්මක වී තිබීමයි . එම නිලයේ ප්‍රධාන රාජකාරිය වී ඇත්තේ දේවාලයේ ඇසල පෙරහර මංගල්ලයේ දී කෝලම් රංගන ඉදිරිපත් කිරීම බව ඉපැරැණි මූලාශ්‍රයයන්හි සදහන් වේ. එම කෝලම් අතරින් ඇත් කද ලිහිණි කෝලම යනු එක් කෝලම් රංගනයකි. ඌව සබරගමුවේ ව්‍යාප්ත දේවාලයන්හී මෙකී රංගනය ඉදිරිපත් කරනුයේ ඇසල පෙරහර මංගල්ලයේදී ය. ඇසල පෙරහර මංගල්ලයේදී දේවාලයෙන් දේවාභරණ පිටතට වැඩම කරවීමෙන් අනතුරු ව දේවාභරණ ඉදිරියේ මෙම කෝලම් නර්තනය රග දැක්වේ. ඌව සබරගමුවේ වෙසෙන කෝලක්කාර පරපුරු සතු ඇත් කද ලිහිණි කෝලමේ පෙළ මෙසේ ය.

  1. ආලත්ති පදය
  2. ගමන් පදය
  3. කවි තාලය
  4. ඇත් කද ලිහිණි පදය
  5. වැදුම් අත් පදය

ඇත් කද ලිහිණියා යනු සිංහල කැටයම් මෝස්තර කලාවේ ද දක්නට ඇති කාල්පනිය සත්ව රූප ගණයට රෑපයකි. මෙම ඇත් කද ලිහිණි රූපය ප්‍රථමයෙන් ම හමුවනුයේ ගම්පොල යුගයේදී ය. මෙම පක්ෂියා මූලික කර සිංහල ජන සමාජයේ ජන කතා ද නිර්මාණය වී ඇත. එම කතා පුවත් අනුව මෙම පක්ෂියා මෙරට පක්ෂියෙක් නො ව ඉන්දියාවේ හිමාලයේ විසූ පක්ෂියෙකි. හිස ඇත් හිසකින් හා කද ලිහිණියෙකුගේ මෙන් වන් හෙයින් ඇත් කද ලිහිණියා නමින් මෙම පක්ෂියා හදුන්වා ඇත. මෙම පක්ෂියා සාමාන්‍යයෙන් මත්ස්‍යයින් ආහාරයට ගන්නා අතර එසේ මත්ස්‍යයන් ඩැහැගත් විට උස ගසක සිට තමා ඩැහැගත් මත්සයා ආහාරය ගනී. ප්‍රමාණයෙන් විශාල මත්ස්‍යයෙකු ගොදුරු වූ විට මානිංගම ගලට( අවිස්සාවේල්ලට නුදුරින් පිහිටි ගමක්) ගොස් එම මත්ස්‍යයාගේ හිස පමණක් ආහාරයට ගත් බව ජනශ්‍රැතියේ සදහන් වේ. මෙම විස්තර තතු දැන ගත් සීතාවක රාජසිංහ රජු ඇත් කද ලිහිණියා ඉවත දමන මත්ස්‍යයින්ගේ කොටස් එකතු කිරීමට “මානියංගම” ප්‍රදේශයේ මිනිසුන් පදිංචි කර ඇත. එම පිරිස් අතර සිටි “ගලබලනගේ” නමින් පෙළපත් නාමයක් හිමි පරම්පරාවක් වර්තමානයේ ද මේ ප්‍රදේශයේ වාසය කරන බවට තොරතුරු ලැබේ.

මෙම විශාල පක්ෂියා හේතුවෙන් සීතාවක හා අවට ප්‍රදේශ වාසීන්ට තවත් ප්‍රශ්ණ රාශියක් ඇතිවන්නට විය. විශාල හඩක් හිමි ඇත් කද ලිහිණියා රාත්‍රි කාලයේ නිරන්තරයෙන් කෑගසන්නට පටන් ගෙන ඇති අතර ඒ හඩට මිනිසුන් නිරතුරු ව බිය විය. තැන තැන දැමූ මත්ස්‍ය ආහාර කොටස් නිසා අවට පරිසරය ද දුර්ගන්ධ විය.මෙ වැනි වූ පීඩා නිසා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් මෙම පක්ෂියාට වස් කවියක් තනවා කියූ බවත් එම කවිය කීමෙන් පසු මෙම පක්ෂියා දක්නට නො ලැබූ බවත් ජන කතාවන්හී සදහන්වේ. ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් කියන ලද බව සදහන් ජනශ්‍රැතියේ එන පද්‍ය පහත දැක්වේ.

රන්වන් තුඩින් ඉගි බිගි කරන ගෙල තුල
මන්සන් තොසින් කියනා දෙය අසව බොල
වංහුං දනිති ගෙදරක නම් මෙතට බොල
දැන් පිං පිණිස වෙන තැනකට යන්න පල


මෙම කෝලම් නර්තනයට අයත් පද්‍යාවලි රචනා කරන ලද නර්තන හා එම නර්තනයන්ට උචිත බෙර පද නිර්මාණය කරන ලද නිර්මාණ ශිල්පීන් පිළිබඳ තොරතුරු නොමැත. නමුත් මෙම නර්තනය කතරගම දෙවියන් උදෙසා ඉදිරිපත් කරන ලද නර්තනක් බව මෙම කෝලමට අයත් පද්‍යාවලි විශ්ලේෂණයේ දී හදුනා ගත හැක. එමෙන් ම මෙම කෝලම් නර්තනය ද දේශීය නර්තනය කලාවට අයත් වටිනා උරුමයක් බව කිව යුතුය. 

ලක්දිව නර්තන කලාව පිළිබඳ ගැබුරින් අධ්‍යයනයන් සිදු කරන්නේ නම් මෙවැනි නර්තන, මෙම නර්තන බිහිවීමට බලපෑ සමාජ පසුබිම හා දේශීය නර්තන කලාව බිහිවීමට බලපෑ හේතු පිළිබඳ නිසි ලෙස අවබෝධ කරගත හැක. 

ඌව සබරගමුවේ ව්‍යාප්ත කතරගම දේවාල ආශ්‍රිත ව පැවති මෙම කෝලම් රංගනය ප්‍රථම වරට ප්‍රාසංගික ව වේදිකා ගතවූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාරයේ පැවති ඌව රංග කලා සම්ප්‍රදාය හා ගී මඩු පුරාණය යන කෘති එළිදැක්වීමේ උත්සවයේදී ය.

(මෙම නර්තනය ප්‍රථමයෙන් ම වේදිකාවට ගෙන ආවේ රමිත් චන්ද්‍රසේකර විසින් බව නිහතමානී ව හා ආඩම්බරයෙන් සදහන් කරමි. වේදිකාවේ ඉදිරිපත් කරන ලද ඇත් කද ලිහිණි කෝලමට අයත් රූප පෙළක් පහත දැක්වේ.)

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...