Tuesday, January 30, 2024

පන්නිපිටිය දෙව්රම් මහා විහාරය - මැදින් මහා පෙරහැර

වසර 2550 කට එපිට බුදුන් වහන්සේගේ සිරි පා පහස විඳ අති පූජනීයත්වයට පත් දඹදිව් තලයේ දෙව්රම් වෙහෙර බොහෝ සැදැහැවතුන් නෙතින් දැක නැතත් බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරු පරිශීලනය කිරීමේදී තම තමන්ගේ සිතේ චිත‍්‍රනය වෙන සිහින දෙව්රම් වෙහෙරක් තුළ ඔවුන් සැරිසරන්නට ඇත. ඇත්තෙන්ම දෙපානම - පන්නිපිටිය දෙව්රම් වෙහෙරට පිවිසෙන්නෙකුට සිතෙන්නේ ඒ සිහිනය තුළ තමන් තවත් සැරිසරන බවයි. ඒ තරමටම දෙව්රම් වෙහෙර තුළ ඓශ්චර්ය හා සුන්දරත්වයද සමග කැටි කළ නිර්මාණ ශිලීත්වය දක්නට ඇත. මේ රම්‍ය කෙම් බිමට පිවිසි විට කුමක් මුලින් ලිවිය යුතු දැ’යි සිතෙන තරමට ලියන්නට දකින්නට බොහෝ දෑ ඒ තුළ ඇති බව පෙනී යයි.

පන්නිපිටියේ දෙව්රම් වෙහෙර 1999 සැප්තැම්බර් 24 වැනි දින තුනුරුවනට පූජා කළ මොහොත සිහිවීම සඳහා එහි ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද ශිලා ලේඛනයේ - තෛ‍්‍රනිකායික මහ නායක හිමිවරුන්ගේ පහත දැක්වෙන වදන් පෙළ සටහන් වී තිබේ.

‘පාරමිතා පුරන උතුමන්ට මනු ලොව මහා පුණ්‍ය තලයකි. ජීවිතය සැපදායක වන්නේද සිත්වල උපදින සිතිවිලි අනුව ය. සියලු දුක් සැප මධ්‍යස්ථ සිතකින් දරාගත හැකි නම් ඔවුහු ජීවිතයේ කවදා හෝ ජය ලබන්නෝය. නිවන් මඟ පසක් කර ගන්නෝය. පන්නිපිටිය දෙව්රම් මහා වෙහෙර බිහි වූයේ ස්ථාන ගොඩනැගීමට නොව, සන්තාන ගොඩනැගීමට ගත් වෙහෙසකි.

මේ උතුම් පින්බිම බුදුසසුනට ලැදි සියලු දෙව් මිනිසුනට උපහාරයක් වේවා. පාපයට බර ලෝකය පිනට බර කරවන සසර සැනසුම උදාකරන පිවිතුරු පුදබිමක් වේවා.’

බුද්ධ චරිතය හා බැඳුණූ විවිධ අවස්ථා සහ ශාසන ඉතිහාසයට සම්බන්ධ නොයෙකුත් ස්ථාන පිළිබඳ මූර්ති හා සිතුවම් ඇතුළත් දෙව්රම් වෙහෙර රමණීය පින් බිමකි. එම වදන් පෙළ ආරම්භය සඳහා මා තෝරා ගත්තේ පන්සලක ආකෘතියෙන් ඉදිරියට ගිය දෙව්රම් වෙහෙර පිළිබඳ යම් හැඟීමක් මෙය කියවන සැදැහැති බෞද්ධයන්ට ලබාදීම සඳහාය. දෙව්රම් වෙහෙරේ නිර්මාතෘ හා එහි විහාරාධිපති ධූරය දරන කොළොන්නාවේ සුමංගල හිමියන් පවසන්නේ එය තමාගේ දක්‍ෂතාවක් නොව, යහපත් සිතිවිල්ලක ප‍්‍රතිඵලයක් බවය. දෙව්රම් වෙහෙර තුනුරුවන් අභියස පූජා කරමින් සතියක් පුරා පැවැත් වූ ඒ මහා පූජාවට ශ්‍රී ලංකාවේ සියලු මහා නිකායන්හි මහා නාහිමිවරුන්ගේ වැඩමවීම ද ඓතිහාසික සිදු වීමකි.

පන්නිපිටිය ශ‍්‍රී දෙව්රම් මහ වෙහෙර නිර්මාතෘවර ආචාර්ය
කොලොන්නාවේ සිරි සුමඞගල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 
 
1964 සැප්තැම්බර් 24 වනදා කොළොන්නාවේ පූර්ණ චන්ද්‍ර විජේසිංහ සහ සුමනා හෙට්ටිආරච්චි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස උපත ලබා සොයුරු සොයුරියන් පස් දෙනෙකු ගේ ද, මව්පිය සෙනෙහස ද ලබමින් හැදී වැඩුණේ ය. කොළොන්නාව ටෙරන්ස් ද සිල්වා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබී ය. 


කුඩා කල පටන් සසර පුරුද්දට මෙන් පැවිදි දිවියට දැක්වූයේ මහත් ඇල්මකි. ඒ නිසාම දයාබර මව්පිය දෙපළ ද ඊට එකඟ කරවා ගත්හ. එහෙත් සරත් කුමරුවා කෙළි දෙලෙන් ගත කරන ගැටවර වියේ දී හිතුවක්කාර වූයේ, පෙරළි කළේ උතුම් වූ චීවරයට තම ජීවිතය පූජා කිරීමේ අධිෂ්ඨානයෙනි. මවුපියන්ගේ අවසර නොලැබෙන විට ඔහු නොකා නොබී හිඳීම නිසා රෝගාතුර වී රෝහල් ගත තිරීමට පවා සිදුවිය. සරත් දරුවා රෝහලේ දී පැවසුවේ තමා මිය ගියහොත් සිරුර කහ සිවුරක ඔතා ඔහුගේ අවසන් කටයුතු කරන ලෙස ය. සිරුරෙන් දුබල වුවද මේ උතුම් අධිෂ්ඨානය භව මග පුරා නොමියෙන ප‍්‍රබල පාරමිතාවක් බව දැන මඩිහේ මහා නාහිමියන්ගේ උපදෙස් මත මවුපියන්ගේ අවසරය ලැබ සරත් කුමරුවා පණ්ඩිත මිරිස්සේ පියදස්සී ලොකු හාමුරුදුවන් යටතේ කොළොන්නාව සාලමුල්ල ආනන්දාරාමයේ දී කොලොන්නාවේ ශ්‍රී සුමංගල නමින් උතුම් පැවිදි බිමට ඇතුළත් විය.

පැවිදි වී දෙවන දිනයේදී ම මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට වැඩම කළ සුමංගල පොඩි හාමුදුරුවන්ට අම්පිටියේ රාහුල, මඩිහේ පඤ්ඤාසීහ වැනි උතුම් යති වරුන්ගේ ගුරුහරුකම් ලැබිණි. ඊට අමතරව වලස්මුල්ලේ, තුඩාවේ අරියවංශ, මහරගම ධම්මසිරි ති‍්‍රකුණාමලය ආනන්ද, යටිරාවන ධර්මාරාම ආදී ගුරු හාමුදුරුවරු යටතේ අධ්‍යාපනය ලැබූහ. අනතුරුව දයාබර පියාණන් සමඟ දිනක් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මා හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් කොළොන්නාව සාලමුල්ල ආනන්දාරාමයේ දී මිරිස්සේ පියදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1982 ජූලි 21 වනදා පැවිදි බිමට පත්විය.පැවිදි වූ දාට පසුදා ම මඩිහේ මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට ගුරුදේවයන් වහන්සේ විසින් බාර කළහ. 


අධ්‍යාපනය හදාරන කාලයේ දී තම ගුරු දේවයන් වූ මිරිස්සේ පියදස්සී හාමුදුරුවන් ගිලන් වූයෙත් ඉමහත් කැපවීමෙන් යුතුව උන්වහන්සේට ඇප උපස්ථාන කළහ. අපමණ වෙහෙසක් ගනිමින් ඒ අතර අධ්‍යාපන කටයුතු ද කරගෙන යෑමට සුමංගල හිමියන්ට සිදු විය. උන්වහන්සේ, ප‍්‍රාචීන, ප‍්‍රාරම්භ, මධ්‍යම ආදී පිරිවෙන් විභාග සාර්ථකව නිම කරන විට ලොකු හාමුරුවන් අපවත් වීම නිසා අත්දැකීම් ද අල්ප වූ 17 වැනි වියේ දී විශාල වගකීම් රාශියක් දැරීමේ අභියෝගයට මුහුණ දීමට සිදු විය.

මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ සහ අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ වෙතින් එකල ලද අවවාද අද පවා සිහිපත් කරනුයේ උන්වහන්සේලා වෙත හද පිරි බැතියෙනි. වසර කිහිපයක් ගෙවී යත්ම ඔත්පළ වූ සිය ගුරුදේවයන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් ගිලන් උපස්ථානය සිදු කළේ ය. ඒ අතරතුර විහාරස්ථානයේ සිට කොළඹ හුණුපිටියේ ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ. ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු තෙමස් ගුණ සමරු පින්කම ද පවත්වා මිරිස්සේ උඩුපිල සුධර්මාරාමයට උන්වහන්සේ වැඩම කළහ. 

සම්භාවනීය මහ සඟරුවන වැඩ සිටි එම ආරාමයේ දියුණුවට ක්‍රියා කළ උන්වහන්සේ විවිධ ප්‍රදේශයන්හි දම් දෙසුම්වලට වැඩම කරවූහ. කුඩා කල පටන් තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් කටයුතු කරන උන්වහන්සේ කලක් දඹදිව ත්‍රිචි ප්‍රදේශයේ සෙනසුනක දී යෝගී අභ්‍යාසයන් ද පුහුණු විය. 

තරුණ වයසේදීම නායකත්වයට අවශ්‍ය ප‍්‍රබල කුසලතා පෙන්වමින් තම වගකීම් යුතුකම් ඉතා සාර්ථකව ඉටු කිරීමට හැකියාව ලැබුණේ සුමංගල හිමියන් සතුව තුබූ දැඩි අධිෂ්ඨාන ශක්තිය නිසා යැයි අපට සිතෙයි.

කෙසේ හෝ මෙසේ ආ දුෂ්කර ගමන් මගෙහි කෙම්බිම වූ දෙව්රම් වෙහෙරේ ආරම්භය සිදු වූයේ රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ලුතිනන් කර්නල් සුමිත් ධම්මික පෙරේරා නම් රණවිරුවාට අයත්ව තිබූ දෙපානම චීනගහ කොටුන්න පාරේ පර්චස් 16 ක කුඩා බිම් කැබැල්ල ඔහුගේ දෙමවුපියන් විසින් සසුනට පූජා කිරීමෙනි.

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරය

උන්වහන්සේ කොළඹට වැඩම කළ විට විවේකීව වැඩ සිටීම සඳහා රට වෙනුවෙන් දිවි පිදූ ලුතිනන් කර්නල් සුමිත් ධම්මික පෙරේරා මහතා පදිංචිය සඳහා තෝරා ගෙන තිබු දෙපානම චීනගහකොට්ටුන්න පාරේ පර්චස් 16 ක භූමිභාගය ධම්මික පෙරේරා මහතාගේ දයාබර මව්පිය දෙපළ විසින් කුඩා සංඝාවාසයක් සහිතව පූජා කළහ. 1999 වසරේ එහි වස් විසූ උන්වහන්සේ වෙත සොයා පැමිණි සැදැහැති දායක පිරිස එහි නේවාසික කර ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් නොඅඩුව පූජා කළහ. වසරක පමණ කලක් ගත වන විට එම භූමිභාගය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් විය. අද එය අක්කර 16කින් යුත් පුණ්‍ය භූමියකි. අද එම විහාරස්ථානය නෙත් සිත් පහන් කරවන පුණ්‍ය භූමියක් බවට පත් කර ඇති අතර විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සැදැහැවතුන්ගේ පූජෝපහාරයට ලක් වේ.

ත්‍රිපිටක දහම ශිලා ලේඛන ගත කිරීමේ ඓතිහාසික කාර්යය දෙව්රම් වෙහෙරේ දී ආරම්භ කළ උන්වහන්සේ වසර ගණනාවක සිට එම භාරදූර කාර්ය සිදු කරගෙන එනු ලැබේ. අමරපුර සිරිසුමන පාර්ශ්වයේ අනුනායක ධුරයෙන්ද අනතුරුව මහානායක ධුරයෙන්ද කොළොන්නාවේ සිරි සුමංගල නාහිමියෝ පිදුම් ලබා ඇත.

මැදින් මහා පෙරහැර

පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේ මැදින් මහා පෙරහැර අති උත්කර්ෂවත්ව උඩරට, පහතරට, සබරගමුව යන නර්තනාංග වලින් සහ අලි ඇතුන් විශාල සංඛ්‍යාවකින් ද සමන්විත විය. අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශවයේ මහා නායක පන්නිපිටිය දෙව්රම් වෙහෙර නිර්මාතෘ අතිපූජ්‍ය කොලොන්නාවේ සිරි සුමංගල මහා නායක හිමියන් විසින් සධාතුක කරඬුව ශ්‍රී දළඳා මාළිගාවේ මිගාර ඇතු මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙහරහැර ආරම්භ විය. දෙව්රම් මහා විහාරස්ථ ශාසනාරක්ෂක සංවර්ධන සභාව පෙරහැර සංවිධානය කරන ලදී. 

Elephants who came to Decorate the Sri Dewram Wehera Medin Maha Perahera

 


සරණ මංගල ආශිර්වාද පෙරහැර

යහපත් වූ විවාහයක් අපේක්‍සා කරන තරුණ දූවරුන් වෙනුවෙන් සෙත් පැතීමේ සරණ මංගල ආශීර්වාද පෙරහැර පැවැත්වේ. සුද්ධෝදන මහ රජතුමා මයා කුමරියව සරණ පාවාගෙන රජ මැදුරට කැඳවාගෙන ආ අසිරිය සිහි කරමින් මෙම පෙරහැර පැවැත්වෙන අතර ඒ අනුහසින් තරුන තරුණියන් වෙනුවෙන් සෙත් පැතීම සිදු කරයි. යහපත් වූ විවාහයක් අපේක්‍ෂා කරන සැමට මේ සඳහා සහභාගී වී සරණ මංගල්‍ය ආශිර්වාද පෙරහැරේ ගමන් කර එම පූජාවට සම්බන්ධ වී ආශිර්වාද ලැබිය හැකිය. එසේම විවාහ වී දරුවන් නොමැති යුවතිපතීන්ට ද බෝසත් දරුවෙකු පතන්නේ නම් මේ සඳහා සහභාගී විය යුතුය. පූජාව අවසානයේ විශේෂයෙන් සෙත් පතන ලද ආශිර්වාදාත්මක තිළිණයක් සහභාගී වන සියළු තරුණ තරුණියන් වෙනුවෙන් ලබාදීමට කටයුතු යොදා ඇත.

 
ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර
ගැබිණි මව්වරුන් වෙනුවෙන් සෙත් පතමින් නිදුක් නිරෝගී දරුවෙකු කිසිදු කරදරයකින් තොරව මොළොව බිහි කිරීම වෙනුවෙන් ආශිර්වාද කරමින් පැවැත්වෙන ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර සවස 5.00 ට පැවැත්වෙන අතර මහමායා කුමරිය සිදුහත් කුමරු කුසේ හොවාගෙන දරුවා බිහිවීම පිණිස කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවරට පෙරහැරින් ගමන් කළ අසිරිය සිහිපත් කරමින් මෙම පෙරහැර පැවැත්වේ. ඒ අනුහසින් ගැබිණි අම්මාවරුන් වෙනුවෙන් සෙත් පැතීම සිදුවේ. පෙරහැර අවසානයේදී ගැබිණි අම්මාවරුන් වෙනුවෙන් සහ උපදින්නට සිටිනා දරුවන් වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක තිළිණයක් ලබාදීම සිදුවේ.
 
කිරිදරු ආශිර්වාද පෙරහැර
දෙව්දහ නුවර යන ගමන අතරමග ලූම්බිණි සල් උයනේදී සිදුහත් කුමරු බිහි වීමෙන් අනතුරුව නැවතත් මහමායා කුමරිය මතු බුදුවන බෝසත් පුතු ද කරපින්නාගෙන කිඹුල්වත් නුවරට සපැමිණි මහ පෙරහැර සිහි ගන්වමින්  කිරි දරු ආශිර්වාද පෙරහැර පැවැත්වේ. කිරිකැටි දරුවන් වෙනුවෙන් සෙත් පතමින් පැවැත්වෙන මෙම පෙරහැර අවසානයේ එම දරුවන් වෙනුවෙන් විශේෂ ආශිර්වාදාත්මක තිළිණ ලබාදීම සිදු කෙරේ.
 
මහ පෙරහැර
පරිවාර පෙරහැර 03 අවසානයේ දී මහා පෙරහැර ලෙස ති‍්‍රවිධ රත්නය වෙනුවෙන් උපහාර පුදන තෙරුවන් ගුණ මහා පෙරහැරත් බුදු දෙමාපියන් ප‍්‍රධාන සමස්ථ මව්පියවරුන් වෙනුවෙන් උපහාර පුදමින් මොලොව පහල වූ පුණ්‍යවන්තම දෙමාපියන් වන සුද්ධෝදන මහාමායා දෙපළ පෙරමුණේ තබාගෙන පැවැත්වෙන සුද්ධෝදන මහාමායා පෙරහැරත්, ලක් පොළෝ තලය සුරක්ෂිත කරන්නටත් රටවැසි ජනතාව සුඛිත මුදිත කරන්නටත් දිවි හිමියෙන් කැප වී මහා රාවණ රජු ප‍්‍රධාන රජවරුන් අනුස්මරණය කරමින් මහා රාවණ රජතුමා පෙරටුකොට හෙළ මහා රජ පෙරහැරත්, ලෙසිත් පෙරහැර 03 ක එකතුවක් ලෙස මැදින් මහා පෙරහැර පැවැත්වේ.
 
‘Maha Rawana Perahera’ Sri Devram Vehera - 2018
 
Sri Devram Vehera "Mahamaya Maha Perahara

මැදින් මහා පෙරහැරේදී බුදුරජාණන් වහන්සේටත් ධර්ම රත්නයටත් ආර්ය මහා සංඝ රත්නයටත් ප‍්‍රථම පූජෝපහාරය දක්වයි. උඩරට සම්ප‍්‍රදායට මුල්තැනක් ලබාදෙන තෙරුවන් පූජා මහ පෙරහැරේදී රන් කරඬුව තුළ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේලා මංගල හස්තියා මතින් වැඩම කෙරේ. ශ‍්‍රී ලංකාවේ ති‍්‍රපිටක ධර්මය කළුගල් පුවරුමත ලියා ඇති පුදබිම දෙව්රම් විහාරය බැවින් එයට උපහාර කිරීම වශයෙන් ති‍්‍රපිටක ධර්ම ශිලා පුවරුව දෙවන මංගල ඇතු පිටින් වැඩම කරවයි. ආර්ය මා සංඝරත්නය තෙවනුව වැඩම කරවයි.

ඒ පිටුපසින් සුදොවුන් මහමායා පෙරහැර ගමන් කරයි. මැදින් මහා පෙරහැරේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ, මහාමායා සුද්ධෝදන බුදු දෙමාපියන් දෙපලගේ ජීවමාන ප්‍රතිමා වහන්සේලා දෙනම වැඩමවීමයි. බෝසත් පුතු මෙළොව ජනිත කළ සුද්ධෝදන මහමායා දෙපළ ප‍්‍රධාන බෝසත් දරුවන් මෙලොව බිහි කර හදාවඩා පෝෂණය කොට සමාජයට වැඩ ඇති දරුවන් බවට පත් කළ සියළු මව්පියවරුන්ට උපහාර පිදීම මෙම පෙරහැරේ අරමුණයි. එවැනි මව්පියවරුන් අතර බුදු දෙමාපියන් පෙරමුණේ සිටින නිසා සුද්ධෝදන මහ රජතුමාගේත් මහමායා දේවියගේත් ප‍්‍රතිමා වහන්සේලා අශ්ව රථය මතින් පෙරහැරේ වැඩම කරවන අතර සුද්ධොදන මහමායා පෙරහැර සබරගමුව සම්ප‍්‍රදායේ නැටුම්වලට මූලිකත්වය ලබා දෙමින් වීථි සංචාරය කරයි. කාන්තාවට ද මෙම පෙරහැරේ මූලිකත්වයන් ලැබෙන අතර රජ පෙරහැරක අසිරියට මෙයින් නිරූපණය වෙයි.

මහා රාවණ පෙරහැර
ඒ පිටුපසින් පෙළ ගැසෙන්නේ ලක් පොළෝ තලය ආරක්‍ෂා කර ගන්නටත් ඒ තුළින් ජාතියත් ශාසනයත් සුරකින්නටත් දිවි දෙවෙනි කොට කටයුතු කළ මහා රාවණ රජු ප‍්‍රධාන අපේ අතීත මහරජවරුන් අනුස්මරණය කරමින් ගමන් කරන පෙරහැර වන මහා රාවණ පෙරහැරයි. 
 
 
මහා රාවණ ප්‍රතිමා වහන්සේ සහ ඉපැරණි රාවණා රථය ද, රාවණා ආභරණ ද පෙරහැරේ වැඩමවීම සිදුකරන ලදී.  ලක් පොළොවේ සිට විශ්වයම පාලනය කරන්නට තරම් වූ ශක්තියකින් හෙබි දසවිධ ඥානයකින් පරිපූර්ණ වූ මහා රාවණ රජතුමා අපේ රජවරුන් අතර අති ශ්‍රේෂ්ඨතමයා නිසා සියළු රජවරුන් වෙනුවෙන් මහා රාවණ රජතුමාගේ ප‍්‍රතිමාව මෙම පෙරහරේ හස්තියා පිට වැඩම කරවයි. පහතරට සම්ප‍්‍රදායට ප‍්‍රමුඛස්ථානයක් ලබාදෙන හෙළ මහ රජ පෙරහැරේ ගමන් කරන සියළු ශිල්පීන් පිරිමි පමණක් වේ. 
 
මහා පෙරහැර අවසානයේ අළුයමේ දිය කැපීමත් මහා රාවණ නානුමුර පූජාවත් දේව දානයක් පැවැත්වේ. සන්ධ්‍යාවෙහි මහා පහන් පූජාවක් පවත්වා දෙවියන්ට පින් දීමෙන් පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත්වේ. 

මායා මඩු දේව ශාන්තිකර්මය 

මාර්තු මස 30 වන දින මාතෘ දිව්‍ය රාජයා වෙනුවෙන් පැවැත්වෙන සර්ව රාති‍්‍රික මායා මඩු දේව ශාන්තිකර්මය සිදු කරන අතර 31 වෙනි දින අළුයමේ මහමායා නානුමුර පූජාවත් කිරි දානයත් පැවැත්වේ.

 
 
මායා ගිනි මඩු ශාන්තිකර්මය 
 
ගිනි පෑගීම ලංකාවේ පමණක් නොව වෙනත් රටවලත් සිදුකෙරන චාරිත්‍රයක්. පෙරහැරක සුවිශේෂී චාරිත්‍රයක් ලෙස ගිනි පෑගීම දකින්නට පුළුවන්.මේ ගිනි පාගන අවස්ථාව නරඹන්නට දේශීය වගේම විදෙස් ජනතාවත් පැමිණෙනු දකින්නට පුළුවන්. වියළි කොටන් සහ අතු ගෙනැවිත් ගොඩ ගසා මැලය සකස් කරනු ලැබේ. මැළය සකස් කරනු ලැබුවායින් අනතුරුව ප්‍රධාන කපුරාල විසින් මැළයට ගිනි අවුළනු ලැබේ. ගිනි මැළය ක්‍රමයෙන් ඇවිළී සකස් වේ. එසේවීමට යටත් පිරිසෙයින් පැය දෙකක් ගතවේ. අවසානයේ දී ගිනියම් අඟුරු සහ දැවෙන ලී කැබලි කිහිපයක් ඉතිරි වේ. ඉක්බිති ගිනියම් අඟුරු ගිනිමැලය පුරා  පොලු මගින් සමතලා කරනු ලැබේ.ගිනිමැළය දිගින් මීටර් 3 ,4ක් වන අතර පළලින් මීටර් 2ක් පමණ වේ ගිනිමැලය සකස් කරනු ලබන කාලය තුළදී ගිනි පෑගීමට අපේක්ෂා කරන පිරිමි සහ ගැහැණු එයට සුදානම් වෙති. ගිනි පාගන බැතිමතුන් සිරිතක් lesa ගිනි පෑගීම හිමිදිරි යාමයේදි සීතල ජලය ස්නානය කර තෙත ඇදුමින්ම මඩු භූමියේ සකසා තියෙන ගිනි මැළය වෙත පැමිණීම නිසා ගිනි පෑගීමයි.
 
 
විශේෂයෙන්ම ඉදිරියේදී ලොව තුළ ඇතිවීමට නියමිත යුධ ගිනිදැල් ඇති නොවීමටත්, ගිණිකඳු පුපුරා යෑම් තුලින් ලොව මුදවා ගැනීම පිණිසත්, රාජ්‍ය නායකයින් තුළ දැහැමි සිතුවිලි ඇතිවී සාමකාමී සහජීවනයෙන් පිරි ලෝකයක් වෙනුවෙන් සෙත් පැතීමත්, මේ පෙරහැර මංගල්‍යයේ මූලික අරමුණකි.

පෙරහැර මංගල්‍යයට සමගාමීව දින 09 පුරාම සීල සමාදාන වැඩසටහන් ධර්ම දේශනා, සිරි දළදා උපහාර මහා බුද්ධ පූජාවන්, බෝධි පූජා, දේව පූජාවන්, මහා දන්සැල් ආදී කටයුතු රැසක් සංවිධානය කර ඇත.

දෙව්රම් මහා වෙහෙර පෙරහැර මංගල්‍ය හුදු පෙරහැරක් පමණක් නොව ඒ හරහා දුෂ්කර විහාරස්ථාන සඳහා ආධාර උපකාර කිරීම, වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මාසිකව මුදල් පූජා කිරීම, වැසීගිය හෙළ ඉතිහාසය මතු කිරීමට මූල්‍ය ශක්තිය සැපයීම, බෞද්ධාගමික තරුණ වැඩමුළු සංවිධානය කිරීම, දක්ෂ දරුවන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්වය පිරිනැමීම, ආර්ථික අපහසුතා ඇති ප‍්‍රදේශවාසීන්ට පොලී රහිත ණය ලබාදීම, නිවාස නැත්තවුන්ට නිවාස ඉදිකරදීම හා විශ‍්‍රාම ශාලා පහසුකම් ලබාදීම ආදී විවිධ මෙහෙවරයන් රැසක් සිදුවේ.

මහා රාවණ නානුමුර පූජාව

මහා රාවණ නානු මුර මංගල්‍යය සතියේ බදාදා දින පැවැත්වෙන atara බුද්ධෝපස්ථාන, බුද්ධ පූජා අතර සුවිශේෂී පූජා විධියකි. එය සප්තාහික පූජා වශයෙන්ද හැඳින්වේ. නානුමුර මංගල්ලයට පෙර තේවා උපකරණ සෝදා පිරිසිදු කරනු ලබයි. ගඳකිලිය ඇතුළත හා පිටත ද පවිත‍්‍ර කරනු ලැබේ. තේවා භාර ස්වාමින් වහන්සේලා හා ගිහි සේවක පිිරිස නානුමුර මංගල්ලය පැවැත්වෙන දිනයේ ස්නානය කර පිරිසිදු වන අතර තේවා භාර හිමිවරු එදිනට පමණක් අදින අලූත් සිවුරු අදිනු ලැබේ. ගිහි සේවක පිරිස ද පිරිසිදු කළ අලූත් ඇදුම් ඇඳිය යුතුය. බදාදා උදයේ කත්තියනරාළ බෙහෙත් ද්‍රව්‍ය වලින් නානු පිළියල කර ගනී. නානුමුර මංගල්ලය පවත්වන්නේ දහවල් පූජාවට පෙරය. පෙරවරු 9.15 ට පමණ යතුරු පයිංඩ කර දොරවල් විවෘත කිරීමෙන් අනතුරුව තේවා භාණ්ඩ සුවඳ දුම් අල්ලා මැනවින් පරිසිදු කළ ආසනය මත තැන්පත් කරති. තෙවරක් වට හේවිසිය වාදනය කර අවසන් වූ පසු නානුමුර මංගල්ලයට තේවාභාර ස්වාමින් වහන්සේලා සූදානම් වෙති. හක්ගෙඩිඅප්පු තුන්වරක් හක්ගෙඩි පූගාන අතර ඝංඨාරය නාදවෙයි. කවිකාර මඬුව ස්වකීය වාදන හා ගායනය අරඹති. මගුල් බෙරය තුන්වට්ටම අරඹයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ විසින් ස්නානය කරවූ ආකාරයෙන් එම බුද්ධොපස්ථාන සංකේතවත්ව සිදු කරමින් මෙම ස්නාන කටයුතු සිදුකොට තෙතමාත්තුව සිදුකරනු ලැබේ. ඉන්පසු හේවිසිකරුවන් ආලත්ති පදය වාදනය කිරීමෙන් අනතුරුව ආලත්ති බෑම සිදුවේ. එදින තබ්බෝරුව, නාගසිංහම්, ඩැක්කිය හා කයිතාලම වාදනය කරති. වට හේවිසිය සමග කෙටි පෙරහැරක් වැඩ හිටින මාලිගාවේ පාත මාලය වටා ප‍්‍රදක්ෂිණා කෙරේ. නානුමුර මංගල්ලය අවසන් වීමෙන් පසු සුළු වේලාවක් මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. අනතුරු යළි දොරවල් වසා බුද්ධ පූජාව පවත්වයි. බුද්ධ පූජා සිදුකොට සුළු වේලාවකින් භාජන ඉවත් කර නැවත වරක් මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. පසුව නියමිත වේලාවට දොරවල් වසා යතුරු පයිංඩ කිරීම සිදුවේ. පසළොස්වක පෝය දින පූජා පෝයදින වලදී විශේෂයෙන් පෝය දින වට හේවිසි පූජා ද නාගසිංහම් වාදනය ද කවිකාර මඩුවේ ගායනා හා වාදන ද ආලත්ති බෑමද සිදුවේ.
 
මහා රාවණ වන්දනාව සහ භාවනාව සෑම ඉරු දිනකම සවස 7 ට දෙව්රම් වෙහෙර පන්නිපිටිය, ප්රධාන රාවණා දෙවොලෙහි ද පැවැත්වෙයි .

The Ritualizing of the Martial and Benevolent Side of Ravana
 Sri Lankeswara Maha Rawana Pooja 2022
 
 

ශ්‍රී දෙව්රම් මහා විහාරය 
 
මෙම විහාර මන්දිරය කැලණි රජ මහා විහාරයේ බුද්ධ මන්දිරයේ ආකෘතියට අනුව නිර්මාණය කැර තිබේ.  මෙම විහාර මන්දිරය තුළ වැඩ සිටිනා පිත්තල ලෝහයෙන් සාදා ඇති මෙතෙක් ලංකාවේ දැක ගත හැකි ලෝහයෙන් සාදා ඇති විශාලම පිළිම වහන්සේ බවද කියැවෙයි. මෙය ශ්‍රී ලංකා කලාකරුවන්ගේ ස්වතන්ත‍්‍ර නිර්මාණයකි. දෙව්රම් වෙහෙර පුරා ඉදිවී ඇති සෑම ගොඩ නැගීමක්ම නෙත’ඳුනකි. එසේම ඒ සෑම එකකම සුවිශේෂී ගුණයක් පෙන්නුම් කිරීම ද දෙව්රම් වෙහෙරට විශේෂිත වූ ලක්ෂණය කැයි මට සිතෙයි.

ඒ අතර දෙව්රම් වෙහෙර භූමියේ රෝපිත බෝධීන් වහන්සේ ද අමුතුම අපූර්වත්වයක් උසුලයි. එය සිතක උපන් පරිකල්පන ඤාණය ප‍්‍රායෝගික තලයේ රෝපණය කළ අපූරු සංකේතයක් බඳුය. දෙව්රම් වෙහෙරේ රෝපිත බෝධි අංකුර තුන ‘ආරක්‍ෂක බෝධිය’ , ‘ජනතා බෝධිය ‘ හා ‘සංඝ බෝධිය’ ලෙස නම් කර ඇත.

බෝධීන් වහන්සේ වර්ධනය වන විට එකට බැඳෙන සේ එය රෝපණය කර ඇත්තේ, ‘තුන් සිංහලය වෙන්ව නොයේවා - එක්ව බැඳී පවතීවා’ යන උතුම් පරමාර්ථයෙනි. මෙය සුමංගල හිමියන්ගේ සිතට දැනුණූ අදහසක් අනුව යම් අධිෂ්ඨානයක් කර රෝපණය කරන ලද බව කියැවෙයි.

එම බෝධීන් වහන්සේගේ තවත් විශේෂයක් වන්නේ - අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දඹදිව බුද්ධගයාවේ දැනට ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා ආනන්ද බෝධියේ අංකුර තුනක් මේ සඳහා යොදා ගැනීමයි.

එසේම දෙව්රම් වෙහෙර තවත් හැඩ කළ, පූජනීය කළ ප‍්‍රධාන අංගයක් ලෙස නිබඳ නෙතු ගැටෙන ශ්‍රී පාද (ධම්මචර්ණ) තෙමහල් මන්දිරය අප ඒ ඓතිහාසික නුවර පුරවරයේ දළදා මැඳුර වෙතට කැඳවාගෙන යයි. මෙය නිමවා ඇත්තේ දළදා මැදුරේ ආකෘතියට ය. මෙහි ඇතුළත චිත‍්‍ර, නුවර යුගයේ චිත‍්‍ර අනුගමනය කරමින් සිතුවම් කර තිබේ.

ජීවමාන බුදුන් වහන්සේ එදා වැඩසිටි දඹදිව රජගහ නුවර දෙව්රම් වෙහෙර සජීවීව සංකේතාත්මක කිරීමේ අපේක්‍ෂාවෙන් මෙහි ඇති ගන්ධ මාළිගය නම් කුටිය ජීවමාන බුදුන්වහන්සේ වෙනුවෙන් සිදු කැරෙන සියලු ඇප උපස්ථාන සංකේතවත් කරන සකලාංගයන්ගෙන් පරිපූර්ණ කර තිබේ.

අලුයම 4 ට උණු පැන්, සිසිල් පැන්, දැහැටි ආදිය පුදා අවදි වූ බුදුන් වහන්සේට මුව දෝවනයට ආරාධනා කරනු ලැබේ. ඉනික්බිති පයට පාවඩ හිසට මුතුකුඩ සහිතව ආසනයට වඩිනා ලෙස ආරාධනා කර අලුයම 6 ට කිරි ආහාර, ව්‍යාංජන හතක්, බත් වර්ග තුනක් සහ කැවිලි පලතුරු සමඟ උදෑසන බුද්ධ පූජාව පිළිගන්වනු ලැබේ. දවල් 10.30 උදෑසන මෙන්ම බත් වර්ග තුනක් ව්‍යාංජන 7 ක් කැවිලි පලතුරු සහිත දවල් දානය ද පූජා කරනු ලැබේ. සවස 6.30 ට ගිලන්පස දානය පිළිගන්වනු ලැබේ. රාතී‍්‍ර 1 ට බුදුන් වහන්සේට සැතපෙන්නට ආරාධනා කිරීමෙන් දෛනික බුද්ධ උපස්ථාන කටයුතු නිම කරනු ලැබේ.

ශ්‍රී ලංකා අමරපුර සිරි සුමන මහා නිකායේ මූලස්ථානයද වන්නේ, දෙව්රම් වෙහෙරයි. ඒ නිසා විනය කර්ම සිදු කිරීමට සීමාවක් අවශ්‍ය බැවින් ඒ වෙනුවෙන් සිරි පියදස්සී නා හිමි ගුණ සමරු උපෝසථාගාරය නම් සීමා මාලකයක් ජල පොකුණක් මධ්‍යයේ සාදා තිබේ.

දෙව්රම් වෙහෙරේ එක් මායිමක අවුකන ප‍්‍රතිමාවේ ලක්‍ෂණ වලින් හෙබි විශාල හිටි පිළිම වහන්සේ නමක් ද සැතපෙන හා සමාධි බුදු පිළිම වහන්සේ ද නිර්මාණය කර තිබේ.දෙව්රම් වෙහෙර තුළ ඇති විශාලතම හිඳි පිළිම වහන්සේ නිර්මාණය කර ඇත්තේ දින 45 ක් වැනි සුළු කාලයකිනි.

කන්ද උඩරට මඟුල් මඩුවේ ආකෘතියට අඩි 100 ක් දිග අඩි 50 ක් පළලින් යුතු සිරි සුමන දම් සභා මණ්ඩපය සාදා ඇත්තේ සුමංගල හිමියන්ගේ මව සිහිවීම පිණිස ය. එය අපගේ පැරැණි සංස්කෘතික ලක්‍ෂණ වලින් පිරිපුන් ය.

දෙව්රම් වෙහෙරේ ඉදි වූ චෛත්‍ය රාජයාණන් කුඩා වූවද එම බුහුටි පෙනුම විහාර භූමියට පිරිපුන් බවක් ලබාදෙයි. එය රුවන්වැලි සෑය ආකෘතියට සාදා ඇති බව කියැවේ. මෙහි කොත මුදුනේ ඡත‍්‍රයක් සවිකර තිබේ. එය දුර්ලභ දසුනකි. බුදුන්වහන්සේගේ ධාතු නිදන් කර සාදා ඇති මෙම වෙහෙර වහන්සේ දිව්‍ය රම්‍ය වෙහෙර ලෙස නම් කර තිබේ.

එමෙන්ම මෙහි නිර්මාණය වී ඇති සෑම ඉදි කිරීමක් සෑම පිළිමයක් පිළිබඳවම ගෙතුණු පුරාවෘත්තයක් කදිම කතන්දරයක්, ඊට පසුබිම් වූ විශේෂ පුවතක් තිබීමද, මෙම විහාරස්ථානයේ විශේෂත්වයකි.

මෑතදී නිර්මාණය කර ඇති ස්වර්ණ බුද්ධ රාජ සර්වඥ ධාතු මන්දිරය වලගම්බා රාජ සමයේ ස්වර්ණාලේපිත බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත්කර ඇති විශේෂ මන්දරයකි.

මාතෘ දිව්‍ය රාජ මන්දිරය, මෑතකදී නිර්මාණය කරන ලද සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ, මෛතී‍්‍ර බෝධිසත්ව ප‍්‍රතිමාව, මඩිහේ මහා නා හිමියන්ගේ ජීවමාන පෙනුමැති ප‍්‍රතිමාව මෙන්ම ඉන්දියාවේ දෙව්රම් වෙහෙරෙහි ඇති කනේරු කුඨිය සංකේතවත් කරන කුටිය, හා අසූ මහා ශ‍්‍රාවක ප‍්‍රතිමා ආදිය මෙහි විශේෂ නිර්මාණ ලෙස සැළකිය හැකි ය.

එසේම සම්බුදු ශ්‍රී මුඛයෙන් පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝක සත්වයාගේ විමුක්තිය වෙනුවෙන් දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය තවත් වසර 2500 ක් නිරුපද්‍රිතව ආරක්‍ෂා කර තැබීමේ උතුම් වූ පරමාර්ථයෙන් දහම ශිලා ලේඛනගත කර තැබීමේ දැවැන්ත කාර්යයට අතගසා තිබීම මෙම විහාරස්ථානයෙන් නිම කිරීමට, අපේක්‍ෂා කැරෙන සුවිශේෂ ශාසන මෙහෙවරක් ලෙස සැළකිය හැකි ය.

මෙය සිතකට සිතා ගැනීමට බැරි තරම් දැවැන්ත, දුෂ්කර ව්‍යාපෘතියකි. මීට වසර 1 1/2 කට පෙර මෙම ශිලා ලේඛන ගත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ විය.

මෙයට වැය වන මුදල රුපියල් මිලියන 350 ක් පමණ වෙයි. බුද්ධත්වය ලැබීමෙන් වසර 2600 ක් සම්පූර්ණ වන රාජ්‍ය වර්ෂ 2011 වෙසක් පුර පසළොස්වක දිනට මෙම උතුම් කාර්ය නිම කිරීම ශ්‍රී සුමංගල හිමියන්ගේ අපේක්‍ෂාව වී තිබේ. මේ සඳහා අක්කර දහයක පමණ විශාල භූමි භාගයක් අවශ්‍යතාව පැන නැගුණද අක්කර දෙකක් පමණ වූ දෙව්රම් වෙහෙර විහාර භූමියට සමීපව තිබූ පුරන් වූ කුඹුරු යාය මේ සඳහා මිලදී ගැනීම සිදු වූ අතර සමහර ඉඩම් හිමියෝ සැදැහැ සිතින් මේ මහා පුණ්‍ය කර්මයට දායක වීමට තම ඉඩම් පරිත්‍යාග කිරීමට තරම් නොමසුරු වූහ. 

මෙම ව්‍යාපෘතිය සමඟ දෙව්රම් වෙහෙර භූමියේ වපසරිය අක්කර 12 ක් පමණ දක්වා පුළුල් විය. මෙහි අඩි 8 ක් උස අඩි 3 ක් පළල අඟල් 4 ක ඝනකමින් යුතු ගල් පවුරු 1700 ක් මත ති‍්‍රපිටක ධර්මය නවීන තාක්‍ෂණයේ භාවිතයෙන් මුද්‍රණය වෙයි. එය පුරාණයේ ගල් කටුවෙන් කිඳා බැසීමට සෑරූ අක්‍ෂරයන් සේම අද තාක්‍ෂණයේ උපක‍්‍රම මඟින් ඉතා පැහැදිලි අච්චු අකුරු සේම හාරා සකස් කරනු ලබයි. මේ වන විට පුවරු 500 ක පමණ වැඩ අවසන් කර ඇත. 

සසුන්ගත වී වසර 25 ක් වැනි කාලයක් තුළ වසර 250 ට වැඩි දිගු කාලයකින් වත් කළ නොහැකි තරම් විශ්මකර්ම කාර්ය කිරීමට සුමංගල හිමියන්ට හැකි වූයේ කෙසේදැයි නැගෙන ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමත් ඉතා අපහසු ය. කෙසේ හෝ ධර්මය අනුව සිතුවහොත් පෙර සසර භව මගෙහි දී පුරුදු කළ අධිෂ්ඨාන ශක්තිය නිසා මෙවන් යෝධ කාර්යයක් ඉටු කිරීමට උන්වහන්සේට හැකි වූ බවයි, අපට සිතාගත හැකි වන්නේ.

 

 

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...