Tuesday, March 8, 2022

තෙල්මේ නර්තනය - 14 වෙනි කොටස

දාහතරවෙනි කොටස

පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය


පහතරට නර්තන සම්ප්රදායේ තිබෙන ඉතාමත් අත්යාලංකාර ප්රාසාංගිකත්වය ඉහලම මට්ටමක තිබෙන අති ශාස්ත්රීය පද කොට්ඨාස වලින් සමන්විත ශිල්පීය නිපුනත්වය මනාව ප්රදර්ශනය කරන්නාවු චමත්කාරජනක බවින්
යුතු නර්තනාංගය ලෙසින් තෙල්මේ නර්තනය හදුන්වා දිය හැකිය .ප්රධාන වශයෙන් තෙල්මේ නර්තනය මඩු ශාන්තිකර්ම තුලදී පත්තිනි බාගයේදී රගදක්වනු ලබන ආකර්ශනීයම නර්තන අංගය ලෙසින් ජනප්රියත්වයට පත්ව ඇත .අත්යාලංකාර මුතු පබළු ඇදුම් කට්ටලය මෙම නර්තනයේ චමත්කාරය වර්ධනය කිරීමට ඉවහල්වී තිබේ.මෙම ඇදුම් කට්ටලය පිලිබදව තොරතුරු විමසා බැලීමේදී දැනගත හැකි වනුයේ රජ කුමාරයකුගේ ඇදුමට සමාන කමකින් යුතු බවකි.මෙම ඇදුමෙහි දැකීමට තිබෙන ගති ලක්ෂණ අනුව දකුණු ඉන්දීය රාජකීය ඇදුම්වලට සමාන බවකින් යුක්තය . එමෙන්ම සන්නාහ ඇදුමක ගති ලක්ෂණයක් පෙන්නුම් කිරීමකින් යුක්තය .පෘතුගීසි ජාතික සෙනෙවියන්ගේ මෙන්ම රෝමානු ජාතික පැරණි සොල්දාදුවන්ගේ සන්නාහ ඇදුමකට සමාන බවකින්ද යුතු බවක් එම සන්නාහ ඇදුම්හි අපට දැකීමට තිබෙන පින්තූරයන් හා සංසන්දනය කිරීමේදී දැකිය හැකිය .
 

පහතරට මඩු ශාන්තිකර්ම වලදී දොලහා දෙවියන්ට පූජෝපහාර කිරීමේ අරමුණ මූලික පරමාර්ථය කරගනිමින් පවත්වනු ලබන පූජා නර්තනයක් ලෙසින්ද තෙල්මේ නර්තනය විග්රහ කල හැකිය .මෙය අති ශාස්ත්රීය බවින් යුත් පද කොට්ඨාස වලින් මෙන්ම ප්රේක්ෂක ජනතාවගේ නෙත් සිත් වශීකෘත කරවන්නාවූ සබ නැටුම් (මෝසම් පද )වලින්ද යුක්තව ගොඩනැගී තිබෙන නර්තනයකි. ප්රේක්ෂකයා විමතියට පත් කරන්නාවු පිනුම් කරනම් බඹර වලල්ල මාලක්කම පතාවිස්ස වැනි ශිල්පීය දක්ෂතාවයන් ගෙන් මෙම නර්තන අංගය පෝෂණයවී තිබීම තුලින් ප්රේක්ෂකයාගේ සිත මේ කෙරෙහි ඇදබැද තබා ගැනීමට අත්වැලක් වන්නේමය.පුරාණයේ සිටි ශිල්පීන් තෙල්මේ නර්තනය තුලදී චීන අඩි ලෙසින් එකල තිබුන සටන් කලාවක යම් යම් කොටස් රංගනය කරනු ලැබීය.ඒ අනුව මෙම නර්තනය තුල අපගේ තිබූ සටන් ක්රමයන් සගවා තැබීමක් පැරැන්නන් සිදුකර තිබෙන බව කිවයුතුය .
 

Thelme Dance (තෙල්මේ නර්තනය 01 කොටස)




Thelme Dance (තෙල්මේ නර්තනය 02 කොටස)
https://youtu.be/ljI3ed7p_Ow
 
 
තෙල්මේ නර්තනය මාතර ,බෙන්තර , රයිගම සහ සියනෑ කියන්නාවූ සිව්වැදෑරුම් ගුරු කුලයන්හිම කිසිදු බේදයකින් තොරව බාවිතයේ පවතින්නකි.එමෙන්ම රයිගම සහ සියනෑ ගුරුකුල වලදී බාවිතා කරනු ලබන පද සුරල් වල යම් යම් අඩුවැඩිවීම් තිබෙන බවත් එසේ උවද පෙලපාළියට එය කිසිදු හානිකර බලපෑමක් ඇති නොවන බව සදහන් කලයුතුයි විශේෂයෙන් මෙම වෙනස්කම තිබෙනුයේ තෙල්මේ පද සංඛ්යාව තුලයි.රයිගම් ගුරුකුලය තුල තෙල්මේ පද හතක් ලෙසින්ද සියනෑ ගුරු කුලයට අනුව දොලහක් ලෙසින්ද තිබෙන බව පැවසේ.කෙසේ වෙතත් මෙම ගුරුකුල දෙකෙහිම පද හත බොහෝදුරට සමාන බවක් පෙන්නුම් කෙරේ.
 

Thelme Dance (part 01) තෙල්මේ


තෙල්මේ නර්තනය (part 02) 
 
Thelme Dance (part 03)
 
 
එමෙන්ම තෙල්මේ හත්වෙනි පදයෙන් එහාට නර්තනයේ යෙදෙනවා දැකිය නොහැකිය.එසේම පානදුර තොටමුන කෝරළය තුලදී තෙල්මේ පද බාවිතා කරනුයේ තුනකි.අතීතයේ සිට වර්තමානය දක්වාම එහි වෙනස්වීමකට භාජනය නොවීම පැසසියයුතු කරුනකි .මාතර ගුරුකුලයේද බාවිතා කරනු ලබන පද සුරල් අනෙක් ගුරුකුලයන්ට සමාන බවකින් යුතුය.නමුදු ඒ අයවලුන් බාවිතා කරන භාෂා රටාවේ වෙනසක් ඇත .මෙම සියලුම ගුරුකුල වලදී බාවිතා කරන ඇදුම මුතු පබළු වලින් සමන්විතය .මාතර ගුරුකුලයේදී අනෙක් ගුරුකුල වලට වඩා අදින රටාවේ මෙන්ම මුතු ඇදුම් කට්ටලයේ ආකෘතියෙහි වෙනසක් දක්නට තිබේ. කෙසේ නමුදු සියලුම ගුරුකුලවල මෙම තෙල්මේ නර්තනය ඉදිරිපත් කිරීමේ පරමාර්ථය සහ ශාන්තිකර්මය එකකි.
 
මඩු ශාන්තිකර්ම බහුලව දකින්නට ලැබෙන රයිගම් සහ සියනෑ ගුරුකුලයන්හිදී තෙල්මේ නර්තනය ගොඩනැගී තිබෙන රටාව මෙන්ම ඉදිරිපත් කලයුතු රටාව පහත සදහන් පරිදි වියයුතුයි .තෙල්මේ නර්තනාංගයෙහි ශාස්ත්රීය පෙලගැස්ම මෙසේ වියයුත්තකි.
 
*දොලහා දෙවියන් වෙනුවෙන් නිමවා තිබෙන තෙල්මේ තටුව රගමඩල මධ්යයේ පිරුවටයක් එලනලද පුටුවක් උඩින් පලමුව තැබිය යුතුයි .(මෙය මල්බුලත් පුටුවක්ද විය හැකිය .)
*දොලහා දෙවියන් වෙනුවෙන් විලක්කු පද නැටීමට අයත් ගායනාවන් සිදුකිරීම .
*විලක්කු පද නටා එක් එක් ශිල්පියා විසින් දල්වනලද විලක්කුව තටුවේ ඉන්දවීම.
(මෙය සිදුකරනු ලබන්නේ වැඩිහිටි පිලිවෙල අනුවය.)
*තෙල්මේ තටුවට අයත් ගායනා සිදු කිරීම .
*යහන් නමස්කාර පද නැටීම .(මෙහිදී යහනෙන් යහනට නටා අවසානයේදී තෙල්මේ
තටුවට නමස්කාර පදය නටනු ලැබේ .)
*මෙම පෙලපාළිය පිලිබදව නර්තන ශිල්පියා සහ වාදන ශිල්පියා අතර සිදුවෙන සංවාදය.
*නර්තනය ඉදිරිපත් කිරීම පිනිස දෙමාපියන් ගුරුවරුන් සහ සභාවෙන් අවසර පැතීම .
*සබ නැටුම් ඉදිරිපත් කිරීම සහ ශිල්පීය නිපුනත්වය දක්ෂතාව පෙන්නුම් කිරීම .
*ශාස්ත්රීය පද කොට්ඨාශයන් නර්තනය කිරීම .
*මෝසම් හමාර පදය .
*මහනේරංගම නැටීම
*කුඩානේරංගම නැටීම
*නේරංගම හමාර කිරීම .
*තෙල්මේ පද නර්තනය කිරීම (මෙම පද
වලට අදාල අඩිවට්ටම් අන්තාදි සමගින්
සුරල් නැටීම )
*මඩු බැසීමේ ගායනාවන් සිදු කිරීම සහ මඩු
බැසීම.
*ගුද ගතිගත වට්ටමේ සුරල් තුන නැටීම .
*මල්ලව අඩව්ව නැටීම(කුඩා මඩුරාගය)
*මහ මඩුරාගය නැටීම .
*රාගපද නැටීම
*ගොටුපද නැටීම .
*තටු පාලිය සිදුකිරීම (මෙහිදී සිංහලේ යහන් දැක්ම,මෙයට අයත් පන්දම් පද යහන් වලට නටනු ලබන පාලිපද නර්තනය කිරීමෙන් පසු තෙල්මේ තටුව දෙවොල් යහන උඩින් තබා ශාස්ත්රීය පද නැටීම හමාරය සිදුකරනු ලැබ . ඉන් අනතුරුව ආතුර පක්ෂයට සව්දමක් නටා පඩුරු ලබාගෙන එයින් සෙත් කිරීමෙන් පසුව මෙම පෙලපාළිය අවසන් කරේ.)
 

 Thelme Dance (තෙල්මේ නැටීම 02) 
ඓතිහාසික ගනේවත්ත ශ්‍රී පුරාණ දේවාලයේ මහා සත්පත්තිනි මඩු මංගල්‍යය
 
තෙල්මේ නර්තනය යනු හුදු විනෝදාංශය පෙරටු කර ගනිමින් රගදක්වනු ලබන නැටුම් අංගයක් නොවන බවත් අති ශාස්ත්රීය පද කොට්ඨාස සමුදායකින් සමන්විතවූ ඉතාමත් ශාස්ත්රීය බැරෑරුම් මෙන්ම චිත්තාකර්ෂණීය නර්තනයකි. මෙහිදී තෙල්මේ ඇදුම් කට්ටලය ඇදගෙන කුමක් හෝ නැටූ පමණින් තෙල්මේ නර්තනයක් නොවන බව කිවයුතු කරුනකි .

විලක්කු පද වලට අයත් ගායනාවන් .

තෙදැති සේරමන් සොලිපුර නිරිදුගෙ
දොස හරිමින් නේ
පුදති යහන් තෙල් මල් ගෙන සදුන්
ගොටුද සමගින් නේ
කරති පාලි විලක්කු එළි දොලහ
දෙවිට පුද දෙමි නේ
හරිති නිරිදු සිරස රෝග තෙදැති
පතිනි බලයෙන් නේ
විපුල නීල වර්ණෙන් ගත බබලන් නේ
නිමල වයිකුණ්ඨ වැඩ සත රැකදෙන් නේ
සුරත සංඛ දරමින් නද පතුරන් නේ
විෂ්ණු සුරිදු විලක්කු එළි පුදගන් නේ
බලැති තෙද පතිනි දෙවියන් හට තොසි නී
කරති යාග දහසක් බමුණන් ගොසි නී
යදිති විෂ්ණු දෙවිදුට පිංදී නිති නී
පුදති විලක්කුව සාතා රජු බැති නී
රුහුණු කදිරපුර දෙවොලට දිවස් ල න
නැගුණු රණමයුර වාහන පිට වඩි න
ලැබුනු තෙද වරන් මඩුපුර පතුරව න
පුදනු විලක්කුව කදකුමරුට නිති න
නොහැරා මෙසිරිලක වැඩ නිරිදුන් එදි නේ
සපුරා යහන් බැද මඩුවක් සරසමි නේ
කදිරා දෙවිදු හට විලක්කු පුද දෙමි නේ
නොහැරා ආවඩන් තෙද ඇලිකොත් රජු නේ

තෙල්මේ තටුවට කියනා ගායනාවන්

සේරමන් නිරිදු ට
සිරස පත් රෝග හරින ට
සැරසු රගමඩල ට
සැදූ තෙල්මේ මැදුර මෙලෙස ට
තෙල් මල් නානුවෙ න්
සදුන් කිරිපැන් බුලති න්
සුවද දුම් දෙවමි න්
පුදා විසිතුරු යහන මනර න්
බුදුන් අණ නිතියෙ නි
සිරසත් දරා බැතියෙ නි
පුද ලබන රුතියෙ නි
වඩින් මෙරගට දොලහ දෙවිය නි
රැගුන්කර ඇල් මේ
පුදකර දෙවන තෙල් මේ
දොලහ දෙවි මුල් මේ
අදත් දක්වන් මෙපුද තෙල් මේ
සතර වෙනු සමන් විභිෂණ නාථ ක ද
රුසිරු තෙදැති පත්තිනි වාසලද තෙ ද
රුසිරු ලෙස සදා අස්නක් මලින් සො ද
මෙසැරු රගමඩල තෙල්මේ බලන් පු ද
උඩින් වියන් වටතිර බැදි තෙල් මේ
සොදින් සැරසු රගමඩලට බැල් මේ
තෙදින් සමන් කද කුමරුගෙ බැල් මේ
සොදින් සැරසු පුද කරවති තෙල් මේ
කීලෙස යහනේ පුද සරසන වා
ගීපස තුතිකර ගී පවසන වා
මෙපුද දුන්නු සත නිති රැක දෙන වා
යාරජ තෙල්මේ දිවස් බලන වා
ගිරි පෙන්නා වෙසමුණි පඩියා ගේ
බිද පන්නා රුදු පිසසුන් වේ ගේ
කෙලගන්නා දෙවි මංගර මා ගේ
ලැබ ගන්නා ලෙස එන් පුද මා ගේ
 

මඩු බැසීමට කවි ගායනාවන්


සුපිළි නම් බමු ණූ
කපිළ නුවරට පැමිනු ණූ
කල කමක් යෙදු නූ
එදා ගීමඩු උපත සැදු නූ
වන මැදෙහි තප් ල න
ගෝණෙකුගෙ හඩක් ඇසෙමි න
ඉස මොළ කමැයි ය න
බසක් කීවේ නිරිදු මෙලෙසි න
මලෙහි සත් පා නා
මලකද ඉපිද ගෝ නා
ගෙමැඩිතිව උප නා
විලේ මානෙල් මලේ සැගවු නා
භූපති සේරමාන න්
සිඹි සදෙහි මානෙල් කුසු න්
මල් ගැබෙහි වැඩ උ න්
ගෙමැඩි සිරසට වනිය නාසි න්
කල් කල වෙදකම ට
බල ඇති ලෙඩකි නිරිදු ට
සැගවී එමල ය ට
ගියේ මැඩියා රජුගෙ මොළය ට
යාගයට ලක්ෂ ත්
කෙලිදෙන ලෙසට ලක්ෂ ත්
කෙලිපුදට ලක්ෂ ත්
ගත්තු මඩුවට සාර ලක්ෂ ත්
මඩුවට වැදී ලා
දෙපසේ ආවඩා ලා
රාග පද අල් ලා
කරති පාලිය දැන සියල් ලා
 
....................................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී 
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
....................................................................................

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...