දහසයවෙනි කොටස
පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය
දෙවොල් මඩු සහ ගම්මඩු ශාන්තිකර්ම තුලදී වීරමුණ්ඩ දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන පෙලපාළියකි .මෙම පෙලපාළිය පත්තිනි බාගය අවසානය සහ වාහල බාගය ආරම්භය අතර කාලපරාසය තුලදී සිදුකරනු ලබන බව කිවයුතුය .මෙම කලහා මල වැඩීම පෙලපාළිය තුලදී වීරමුණ්ඩ කෝල්මුර මල්මඩුපුරය සහ කලහා මල වැඩීමේ ගායනාවන් බාවිතා කරනු ලැබේ .මෙම පෙලපාළිය සිදු කිරීමට තැඹිලි පොල්මලක් සුදු පිරුවටයකින් ඔතා කලසෙහිද සුදු පිරුවටයකින් කඩවැස්ම බැද පූජා භාණ්ඩ ලෙසට ගනුලැබේ .මෙම පෙලපාළිය සිදුකරනු ලබන්නේ ප්රධාන කපුපත්තිනි මහතා විසිනි.
කඩවැස්ම බදින ලද කලස මල්බුලත් පුටුවේ තබා පිරුවටය ඔතන ලද තැඹිලි පොල්මල කපුපත්තිනි මහතා සුරතින් රැගෙන පලමුව සදුන් කිරිපැන් ඉස සුවදදුම් අල්ලා වීරමුණ්ඩ දෙවියන් උදෙසා කෝල්මුර පවත්වනු ලැබේ . අනතුරුව මල් මඩුපුරය ගායනා කරනු ලබයි . ඉන්පසු කලහා මලවැඩීමේ ගායනාවන් සිදුකර අවසානයේදී කලස් මුට්ටියට පිරුවටය ඔතන ලද තැඹිලි මල කලස් මුට්ටියෙහි කඩවැස්ම ඉරී යනසේ බහාලනු ලැබේ .එසේ කිරීමෙන් පසුව තැඹිලි පොල්මල ඔබ්බවන ලද කලස් මුට්ටිය පත්තිනි තොරනෙහි දේවභරණ තිබෙන ස්ථානයේ පැත්තකින් තැන්පත් කරනු ලැබේ .එසේ කිරීමෙන් කලහා මල වැඩීම අවසන් කරනු ලැබේ .මෙය සියනෑ ගුරුකුලය තුලදී සිදුකරනු ලබන ක්රමවේදයයි.අනෙකුත් ගුරුකුලවලදී මෙම පෙලපාළිය මඩු පේ කරන දිනයේදී සිදුකරනු ලබන්නකි.එසේම මෙම පෙලපාළිය පිලිබදව අධ්යාපන ක්රෙෂ්ත්රය තුල කිසිදු සදහනක් මා දැක නොමැත .එයට කුමන හේතුවක් බලපෑවාද කීමට නොදනිමි.නමුදු මෙම පෙලපාළිය පිලිබදව කිසිදු අයෙකුගේ අවධානය යොමු නොවුනේ එය සිදුකරනු ලබන අවස්ථාවන් දුර්ලභ නිසාදැයි සැකයක් තිබේ.
එසේම සියනෑ ගුරුකුලය පිලිබදව නිසියාකාර විමර්ශනාත්මකව පර්යෙශනයක් මා දන්නා පරිදි කිසිදු විද්වතෙකු විසින් සිදු නොකර තිබීමෙන් මෙම පෙලපාළිය පිලිබදව තොරතුරු ගිලිහී ගොස් තිබෙන බව අනුමාන කල හැකිය
නමුදු අනෙක් ගුරුකුල වලට අනුව මඩුව පේ කරන දිනයේ චාරිත්ර වලට මෙය ඇතුළත් විය යුතුයි .සියනෑ ගුරුකුලය තුලදී මඩු දිනදී මෙම පෙලපාළිය සිදුකරනු ලබන්නේ උවද අනෙක් ගුරුකුල තුලදී මඩු පේ කිරීම තුලදී කලහා මල වැඩීම කරනු ලබන බැවින් ඒ පිලිබදව තොරතුරු ඇතුළත් විය යුතුය.වර්තමානයේදී මෙම පෙලපාළිය ක්රමයෙන් වියැකෙමින් යන ස්වභාවයක් පවතී.බොහෝම කලාතුරකින් සියනෑ කෝරළය තුලදී තවම දැක ගැනීමට හැකියාව තිබෙන බව සදහන් කල යුතුය.මෙම පෙලපාළිය පිලිබදව නොයෙකුත් මතයන් ඉදිරිපත්විය හැකිය .මක් නිසාද යත් වීරමුණ්ඩ දෙවියන් කොහොඹා කංකාරියේදී ප්රබලවම පුද ලබන දෙවිකෙනෙකු නිසාවෙනි.නමුදු මඩුව තුලදී දොලහා දෙවි සංකල්පය තුලදී ප්රබලව පුදලබන දෙවි කෙනෙකු වශයෙන් මෙන්ම දොලහා රජවරුන් යටතේද ප්රබල පූජනීය චරිතයක් ලෙසින් සදහන් වන බව විශේෂ යෙන් සදහන් කල යුතුම කරුනකි.කලහා මල වැඩීම පෙලපාළිය මඩු ශාන්තිකර්මය තුලදී විශේෂ ස්ථානයක් ගනුයේ මෙම නිසාය.
මෙම කලහා මල වැඩීමෙන් පසුව සියනෑ ගුරුකුලය තුලදී මල් තලා ගැනීමේ ක්රියාවලිය සිදු කෙරේ.මෙය වීරමුණ්ඩ දෙවියන් උදෙසා කරන පූජාර්ථය මුල්කරගත් රංගනයකි.මෙම පෙලපාළිය කිසියම්වූ වරමකින් සිදුකරනු ලබන උද්වේගකර රංගනයකි.(ආරූඩයකින් කරනු ලබන්නකි.)මෙම මල් තලා ගැනීමේ ක්රියාවලිය සිදු කල යුත්තේ කපුපත්තිනි වරයකු විසිනි.එය පුරාණ චාරිත්ර රටාවයි වර්තමානයේදී මනා දැනුමකින් යුතු නර්තන ශිල්පියෙකු විසින් සිදුකරනු ලැබේ .එමෙන්ම මල් තලාගැනීමට ආරූඩවීමට පලමුවෙන් ශාස්ත්රීය මල් හත් පදය නැටිය යුතුය.එසේම මල් හත් පදයේ හත්වෙනි පදය නර්තනය සිදු කරනු ලබන ගමන්ම ආවේශවීම සිදුකෙරේ .
එමෙන්ම නර්තන ශිල්පියා තම හිසෙහි මෙම පොල්මල් ගසා ගනිමින් නර්තනයේ යෙදෙන ආකාරය විශ්මය ජනක ක්රියාවලියකි.හිසෙහි ගසා පොඩිකරන ලද පොල්මල යහන් උඩින් හෝ ඇතුලතින් තබනු ලබයි.තිබෙන පොල් මල් අවසන් වීමෙන් පසු එම පෙලපාළිය සිදු කරනු ලැබූ ශිල්පියා ප්රකෘති සිහියට ගෙන ආතුර පක්ෂයට වීරමුණ්ඩ සව්දම නටා පඩුරක් ලබාගෙන සෙත් ශාන්ති සලස්වා මල් තලා ගැනීමේ ක්රියාවලිය අවසන්වේ.විශේෂයෙන් සියනෑ ගුරුකුලයට ආවේණිකවූ මෙම මල් තලා ගැනීම වර්තමානයේදී අනෙකුත් ගුරුකුල වලටද විසිරී ඇත .නමුදු ශාස්ත්රීය මල් හත් පදය බාවිතා නොකරයි.මිනිසුන්ගේ සිත් ඇදබැද ගන්නා විශ්මිත නර්තනයක් ලෙසින් පවත්වාගෙන යනු ලබයි.නමුදු මෙය පානදුර තොටමුන කෝරළය තුල දක්නට නොලැබේ .
අතීතයේදී මෙම පෙලපාළිය තුලදී පොල්මල් හතලිහක් පනහක් වැනි සංඛ්යාවක් හිසේ තලාගැනීම සිදුවිය .වර්තමානය වනවිට එය පූජාවට පමනක් සීමාවී මල් හතක් හෝ දොලහක් බාවිතයේ පවතී.එසේම මෙම පෙලපාළිය සිදුකරනු ලබන ශිල්පීන්ගේ අඩුවක්ද අද වනවිට ඇතිවී තිබේ.කෙසේ නමුදු මෙම පෙලපාළිය වීරමුණ්ඩ දෙවියන් උදෙසා පූජාර්ථය මුල්කර ගනිමින් පවත්වනු ලබන බව සදහන් කල යුතුවේ.
වීරමුණ්ඩ දෙවියන්ගේ කෝල්මුර ගායනා
උපතකි නම් සොද මල්ලව රජව ර
සැපතකි නම් සොද කෝලිය එනුව ර
දෙපසේ රන් චාමර වට පුරව ර
සැපසේ එබිසව් වැජඹෙති එනුව ර
නානුමුරත් කර සැතපුන යහ නේ
සිහිනය දැක එබිසව් බිය වෙමි නේ
අසමින් සිහිනය දුටු රග එදි නේ
සිහිනය තෝරන් මව්පිය වරු නේ
මානෙල් මල් තුන පිපුනා දුටිම ය
ගිනි කද ලොව විහිදෙනවා දුටිම ය
දිය බුබුලට පැන නැගුනා දුටිම ය
මෙවෙනි සිහින තුන පෙනුන සැබෑම ය
මල් තුන නම් කුමරුන් තුන්දෙන ම ය
ගිනිකද නම් ලොව විහිදෙන තෙදම ය
දියකද නම් නැව්පිට යන ගමන ය
මෙවෙනි සිහින තුන මෙලෙස සැබෑම ය
එක්මස දෙමසද තුන්මස සපි රූ
සිව්මස පස්මස සයමස සපි රූ
සත්මස අටමස නවමස සපි රූ
දසකඩ මසයෙන් බිහි උන කුම රූ
මලෙල කුමරු නම් සත් ඇවිරිද් දේ
රාම නෙර්ත නම් පස් ඇවිරිද් දේ
කාල නෙර්ත නම් තුන් ඇවිරිද් දේ
තුන් මව්කුස බිහි උන අවුරුද් දේ
සේරමාන් රජ රට කරවන් නේ
රාම නෙර්ත කුමරුන් ගෙන්නන් නේ
මලෙල කුමරු හට උදහස් වෙන් නේ
මගෙ රට හැර වෙන රටකට යන් නේ
සතරැස්කර ගල් පහුර මවා ලා
රුවලුත් බැද ධජ කුඩ සිටුවා ලා
රිදියෙන් ශාලාවක් කරවා ලා
තුන්දෙන නැව් නැගි මෙකර බලා ලා
මල් මඩුපුරයේ ගායනාවන්
මුදුනේ දෙවියන් සිහිකර ගන් නේ
අදුරු වෙලා සද කලස තනන් නේ
බුලතුත් සදුනෙන් සමග වඩන් නේ
පඩුරුත් සාලුත් කලස වඩන් නේ
කලස බලා සිටිය සැ මා
හිස් කලසකි දැන නිය මා
මලක් නැතිව නොහොබියෙ මා
මෙලක් දිවේ විමස හැ මා
මෙනර ලොවේ මල් ඇතිවි ය
බඹරුන් ගෙන් ඉදුල් වී ය
සක් දෙවිපුර ඇතැයි කී ය
මල ගෙනෙන්ට යව්ව කිව් ය
එබස් අසා බමුණු තො සේ
එර්දී වී ගොස් විග සේ
දැක සක්ක්රා දෙවි සතො සේ
වැද සැලකර සිටිති තො සේ
සේරමාන් රජුට තො සේ
ඝෝර දුකක් උනි සිර සේ
ධීර පතිනි හට සතො සේ
භාර කලයි පුදට මෙ සේ
එබස් අසා සක් දෙවි දූ
නැදු උයනට ගොස් පසි දු
රන් තැඹිලිය මල සුසැ දු
කපා ගන්ඩ කිව් මෙබ දූ
රන් ඉනිමග ගසට ත බා
නැගි සක්ක්රා දෙවිදු සු බා
මල කපමින් සෙමින් බ බා
ගෙනා සැටිය අසන් සු බා
ඉතිර සුවද නොයන ලෙසි න්
බැදපු එරන් දිව දුහුලි න්
කඩා තිරය සමුනු ගොසි න්
ගෙනා මලකි ශැක්ර ලොවි න්
එම දෙවියෝ එමල ව ටා
නැත කිව් මුහුදෙන් මෙර ටා
සැම දෙවියෝ රැස්ව සි ටා
පංච නාද කරති න ටා
දිවිය රථෙන් නරලොව ටා
වඩන් බසිව් මෙමඩුව ටා
යහනෙ තැබුව කලස ක ටා
මලට ආවෙ ඔබගෙ ර ටා
කලහා මල වැඩීමේ ගායනාවන්
බෝ පෙරහැර කර පිම්බා ජය ස ක්
ලෝ දොර පහුරෙන් දුටුවන් සතොස ක්
ඒ සැරසුන් බැරි මුව මුව දහස ක්
ඒපුර සරිවද මේපුර වෙනස ක්
එපසේ මුනිදුන් ගෙන ගුණ පසි දූ
ලපසේ වෙන් නොව විශ්කම් දෙවි දූ
එපසේ නොයවද සොද ගුණ පසි දූ
සැපසේ දවසරිනා කල නිරි දූ
නිරිදුට පින් ඇති පින් පල ලප සේ
මෙරසේ කවි රග ගෙනදී පති සේ
නිරිදුගෙ ඕසය නිරිදුට විප සේ
සිරසේ රෝගයකැයි මේ විප සේ
ලාගය මාගය දවසැර උන් දා
නාගිය බිසවිය නිරිදුට දුන් දා
මේගය මේඉස රුජාව සන් දා
යාගය කරවති බමුණන් කැන් දා
දෙඩුවත් නාසව් නිරිදුනි සුද් දේ
මඩුවද පලලී දැව සහ ලුද් දේ
මඩුවක් කරවා මේපුර මැද් දේ
අඩුවක් නොව කෙලි දෙති නිවරද් දේ
යලිත් කියන ගී නොව ඩා
යලිත් හිතේ නන් නොදො ඩා
වඩා අතට කලස ව ඩා
මතු වනදේ කියන් ව ඩා
කලස අතට අර ගනි තී
අගුරු දුමට පාවා ල ති
කලස අරන් පිහිටව තී
මල කලසට වඩා ල තී
කලසට සුභ මලක් ව ඩා
එරන් පඩුරු බුලත් ව ඩා
රහතුන්ගේ පිරිත් ව ඩා
පිහිටි මලට ආයුව ඩා
..................................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
..................................................................................
No comments:
Post a Comment