දහතුන්වෙනි කොටස
පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය
මඩු ශාන්තිකර්මයන්හිදී පත්තිනි නැටීමෙන් අනතුරුව පත්තිනි තොරනට සහ සෙසු පූජා ලබන දෙවිවරුන්ගේ යහන් වලට දේවාභරණ වැඩමවීමෙන් පසුව පත්තිනි දෙවියන් ප්රධාන දේවමංඩලයට පූජා පිනිස වාදනය කරනු ලබන බෙර වාදනය මෙලෙසින් හදුන්වනු ලැබේ .මඩු ශාන්තිකර්මයේදී මගුල් බෙර වාදනය මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලබනුයේ එම අවස්ථාවට උචිත ලෙසින් බව කිවයුතුය .එසේ පවසනුයේ විවිධ ගුරුකුල සහ විවිධ පරම්පරාවන්හි ශිල්පීන් තමන්ට සුපුරුදු ආකාරයටත් කාලවේලාව අවස්ථාව අනුවත් මෙම වාදනාංගය ඉදිරිපත් කරනු ලබන නිසාවෙනි .කුමන ආකාරයකින් මගුල් බෙර වාදනය කරනු ලැබූවද මෙම අවස්ථාවේදී අනිවාර්යයෙන්ම පත්තිනි වන්දමානම වාදනය කලයුතුවේ.එලෙස පවසනුයේ මඩුයාගවලදී පුදපූජාවට පාත්රවන ප්රධාන දෙවියන් පත්තිනි දේවතාවිය වන බැවින් මෙන්ම එතුමියගේ අණාභරණයන් වැඩමවා කරනු ලබන පූජනීය වන්දනීය වාදන අංගය මෙම මගුල් බෙර වාදනය නිසාවෙනි.මගුල් බෙර වාදනය පිලිබදව තොරතුරු කතා කිරීමේදී අති විශාල පරාසයකට විහිදී යන බවත් එය සුළුවෙන් විවරනය කල නොහැකි ශාස්ත්රීය සම්ප්රදායික හර පද්ධතියකින් පෝෂණයවී තිබෙන බවත් මෙහිලා සදහන් කල යුතුය.
Playing Traditional Low Country Drums
පහතරට මගුල් බෙර වාදනය | ගංගාරාම ගම්මඩු ශාන්තිකර්මය
මගුල් බෙර වාදනය පිලිබදව හදුන්වා දීමේදී සුභ අක්ෂර සුසංයෝගයක් තුලින් බිහිවී තිබෙන මංගල්ල්යය අවස්ථාවන් වලදී යහපත් සිතිවිලි මුල්කර ගනිමින් ආශීර්වාදාත්මක බව පිලිඹිබු කෙරෙන වාදනයක් ලෙසින් සමාජයේ පිලිගැනීමට ලක්වී තිබේ.එසේම විද්වතුන් සහ අධ්යාපන ක්රෙෂ්ත්රය තුල සිටින බහුතර පිරිසක් මගුල් බෙර වාදනය හදුන්වා දෙන ක්රමවේදයද මෙය වේ.එනම් පහතරට සම්ප්රදායට අනුව ප්රචලිතව තිබෙන මගුල් බෙර වට්ටම් තුන පමනක් මගුල් බෙර ලෙසින් හදුන්වා දීම සහ එය සමාජගත කිරීමයි.මෙයම අනෙක් වාදන සම්ප්රදායන්ටද ලඝුකොට තිබේ... මෙලෙසින් පහතරට සම්ප්රදායට අනුව ප්රචලිතව තිබෙන වට්ටම් තුන මගුල් බෙර ලෙසින් බාවිතයේ යෙදෙන බව පිලිගැනීමට ලක්වී තිබේ.නමුදු මෙම බාවිතයේ පවතින තුන් වට්ටමද නිසියාකාරව වාදනය කරනු ලැබේද කියා ප්රශ්නකාරී බවක් පිලිඹිබුවේ . මෙම පහතරට බෙර වාදනය තුලදී සමහර අයවලුන් තුන් වට්ටමක් පමනක් තිබෙන බව සිතා සිටින මුත් මෙහිද වට්ටම් හතරකින් සමන්විතව ගොඩනැගී ඇති බව කිවයුත්තකි.
එසේම තවදුරටත් මෙය විහිදී ගොස් සංකීර්ණ ආකාරයෙන් හත් වට්ටම් මගුල් බෙර වාදනය ලෙසින් අති ශාස්ත්රීය මගුල් බෙර වට්ටම් හතක් තිබෙන බවත් කිවයුතුය .මේ ආකාරයට මගුල් බෙර වාදනය පිලිබදව තොරතුරු විග්රහ කිරීමේදී මගුල් බෙර වාදනය බිහිවූයේ කෙසේද කුමන කරුනක් පදනම් කරගෙන බිහිවූවේද එයට අයත් පද සුරල් මොනවාද කොපමණක් පද තිබේද වාදනය කලයුත්තේ කව්රුන් සදහාද වර්තමානයේදී මෙම වාදන අංගයන් බාවිතා කරනුයේ කුමන කුමන අවස්ථාවලදීද කුමන ආකාරයටද යනාදිය පිලිබදව නිවැරදි අවබෝධයක් ප්රායෝගික වශයෙන් ලබා තිබීම ඉතාම වැදගත් කරුනකි .එසේම මෙම මගුල් බෙර වාදනය පිලිබදව මනා දැනුමකින් තොරව විග්රහ කිරීම නොකලයුත්තකි.එසේ අවබෝධය නොමැතිව මෙම කාරනාව පිලිබදව තොරතුරු සැපයීමට යාමෙන් එම විෂය පද්ධතියට සිදුවන හානිය ඉතාම බරපතළ වේ.
මෙම මගුල් බෙර වාදනය බිහිවීම පිලිබද කතා ප්රවත් දෙකක් තිබෙන බව සදහන් කල හැකිය .එක් කතාවක් වනුයේ මහාසම්මත රජුගේ රාජාභිෂේකයට මගුල් බෙර වාදනයක් කල බවයි. අනෙක් කරුන වන්නේ කකුසද බුදු පියාණන්ගේ බුද්ධත්වයට පත්වීමේ අවස්ථාව මුල්කර ගනිමින් පංචසිඛ නම් දිව්ය පුත්රයා විසින් බුද්ධ මංගල්ල්යයට පූජා පිනිස මංගල භේරි වාදනයක් පැවැත්වීමයි.මෙයින් විශේෂ ස්ථානයක් හිමිවනුයේ බුද්ධ මංගල්ල්යය පිලිබදව ගොඩනැගී ඇති කතා පුවතටයි .
එසේම මගුල් බෙර පිලිබදව ගොඩනැගී ඇති වාදන සාහිත්යයට අනුව බුද්ධ මංගල්ල්යය පදනම් කරගෙන ලියවී තිබෙන වාදනාංගයන් භාවිතයේ පවතී.එසේම බුදුන්වහන්සේගේ දෙසිය සොලසක් මංගල ලක්ෂණ තිස්දෙකක්වූ
පුරුෂ ලක්ෂණයන් පදනම් කරගනිමින් මෙම මගුල් බෙර වාදනාංගය ගොඩනැගී ඇත .
කකුසද මුනි තුම න්
බුදුවූ සදෙහි මනර න්
රැස්වූ සැම සුර න්
එදා පැවසූ නෙර්ත අස දැ න්
එදා බුදු මගුල ට
රැස්වූ සුරන් වැද සි ට
නෙර්ත කල අයතු ට
කව්ද තෝරා කියන් අද ම ට
මාමුනි ඉසිව රා
නෙර්ත පලකල සපු රා
බෙරයක් ඉන ද රා
ගාන්ධර්වය තාල ඇදු රා
එරග මඩලෙහි මැ ද
සිට කල නෙර්ත මොනව ද
ගසනෙමි මෙරග මැ ද
කියන් මිතුරේ තාල කීය ද
තිස්දෙකක් තාල න්
සුසැටක් පමන සව්ද න්
විසි එකක් සුරලි න්
ගැසූ පසලොස් වන්දමාන න්
සොලසක් දැකුම් අ ත්
සත්විසි පොඩි සුරල් අ ත්
හතලිස් අඩ පද ත්
ගැසිය මෙරැගුන් දෙසිය සොලස ත්
මේ ආකාරයට මගුල් බෙර වාදනය ගොඩනැගී තිබේ. පූර්ණ මගුල් බෙර වාදනාංගය තුලදී වාදනය කලයුතු පද කොට්ඨාස පහත පරිදි වේ.
*මේඝ නාදය
*සතර අත
*තත්,දිත්,තොං,නං,හතරට පද (බීජාක්ෂර උප්පත්තිය ශ්ලෝක සන්න සහිත )
*පංච තාලය
*බෙර හෝඩිය
*තාලම් හෝඩිය
*බ්රහ්ම තාලම
*තාලම්32
*සව්දම් 64
*සුරල් 21
*වන්දමානම් 15 (16ලෙසින්ද සදහන් වේ.)
*දැකුම් අත්16
*පොඩි සුරල් 27
*අඩ පද 40
*සතර වට්ටම් සුරල් (සියනෑ රටාව අනුව )
*මගුල් බෙර තුන් වට්ටම (සියනෑ රටාව අනුව මෙය පූජා බෙර තුන් වට්ටම ලෙසින් හදුන්වනු ලැබේ.
මෙසේ හැදින්වීමට හේතු පාදක වනුයේ ඉහත සදහන් කරනු ලැබූ පද කොට්ඨාශයන් වාදනය කිරීමෙන් පසු මෙම පූජා බෙර තුන් වට්ටම වාදනයකර සියලුම පද බුදුන්ට හෝ දෙවියන්ට පූජා කිරීම සිදු කරනවා යන අර්ථය අනුවයි .එමෙන්ම රයිගම් ගුරුකුලයට අනුව සතර වට්ටම් සුරල් වාදනය කරනු ලබනුයේ මගුල් බෙර තුන් වට්ටම තුලදීය .එනම් පලමු සහ දෙවන වට්ටම් තුලය.මෙම සතර වට්ටම් සුරල්ද ක්රමවේදයන් දෙකක් අනුව වාදනය කරනු ලැබේ .එය කුමන ගුරුකුලයකට උවද පොදු ලක්ෂණයකි. ඒ අනුව "ගුදං ගුදං ගත් දැහිං සහ දෙත් දෙත් දැහිං "ලෙසින් තිබෙන තිත් මාත්රා දෙකට අනුව සුරල් වාදනය කිරීමයි.
මෙම ඉහතින් සදහන් කල පදවලට අමතරව මගුල් බෙර වාදනයටම ඇතුළත්කර ගනිමින් කවුස්තම් පද අබිනපද වැනි කොටස්ද වාදනය කරනු ලබන බව සදහන් කල යුතු උවත් ඒවා මගුල් බෙර ගණයට අයත් නොවේ.) මෙම ඉහතින් දක්වා ඇති ආකාරයට මගුල් බෙර වාදනයේ උප්පත්ති කතාව වාදන ශිල්පීන් විසින් බාවිතා කරනු ලැබේ .ඒ අනුව බුද්ධ මංගල්ල්යයේදී වාදනය කරන ලද වාදන අංගයන් ලෙසින් ඉහතින් සදහන් කරන ලද පද කාණ්ඩයන් පූර්ණ මගුල් බෙර වාදනයක් තුලදී ඇතුළත් වියයුතු බව ප්රවීණ පාරම්පරික වාදන ශිල්පීන්ගේ මතයයි .මෙය එම ශිල්පීන්ගේ ප්රායෝගික අත්දැකීම් මත කරනු ලබන්නාවූ ප්රකාශයකි.නමුදු වර්තමානයේදී මා ඉහතින් සදහන්කර පෙන්වාදී තිබෙන පද කාණ්ඩයන් වෙන් වෙන් වශයෙන් විග්රහ කරමින් විවිධවූ මතවාදයන් ඉදිරිපත් කරමින් සිටී.මෙවන් අය බුද්ධ මංගල්ල්යයේදී මගුල් බෙර වාදනය සදහා වාදනය කරනු ලැබූ පද කොට්ඨාශයන් පිලිබද නිසි අවබෝධයකින් කතා කරන්නේද කියන එක ප්රශ්නයකි.එසේම ඒ පිලිබදව ප්රායෝගික අත්දැකීමක් තිබේද කියන කාරනාව වැදගත්ම ප්රශ්නයයි.එසේම මෙම පද වාදනය කිරීමේදී බාවිතා කරනු ලබන ක්රමවේදයන් මොනවාද මේ පද කාණ්ඩයන් වාදනය කිරීම තුලදී ඒවා පුරන්නේ කුමන ආකාරයකින්ද අවසන් කරන්නේ (හමාර )කුමන රටාවක් තුලින්ද කියා මෙතෙක් ලියවී තිබෙන කිසිදු ග්රන්ථයක් තුල සදහන්වී නොමැත .ඒ අනුව පෙනී යනුයේ මෙම මගුල් බෙර වාදන අංගය පිලිබදව නිසි ප්රායෝගික දැනුමක් නොමැතිව මෙවන් කරුනු ජනගතකර ඇති බවකි.
මගුල් බෙර වාදනයන් මූලික වශයෙන් පුරාණයේදී බාවිතයේ පැවතියේ බුදුන් උදෙසා පවත්වනු ලබන පූජාකර්මයන් තුලදී දෙවියන් උදෙසා පවත්වනු ලබන පුජාකර්මයන් තුලදී සහ රාජාභිෂේකයන් තුලදීය.එය වාදනය පිලිබදව ගෙතී තිබෙන සාහිත්යයට අනුව එහි අන්තර්ගත ගායනාවන් තුලින් පිලිඹිබුවේ . එසේම වවිවිධවූ වාදන රටාවන් බිහිවීම තුලින් මෙම මගුල් බෙර වාදනයට අයත් වාදනාංගයන් විවිධවූ කොටස් වලට වෙන්වී තිබෙන බවක් ප්රායෝගික බාවිතයේ දක්නට ලැබේ .බුදුන් උදෙසා පවත්වනු ලබන බෙර පෝය හේවිසි වාදනය තුලදී ඉහත දක්වනලද වාදනාංගයන් සියල්ලම වාදනය කලයුතු බවත් දෙවියන් උදෙසා පවත්වනු ලබන පූජා කර්මවලදී මෙම පද කාණ්ඩයන් ගෙන් තෝරා ගන්නා ලද කොටසක්වාදනය කරනු ලබන බවත් සාමාන්ය ජන ජීවිතයේ උත්සව අවස්ථා වලදී මගුල් බෙර තුන් වට්ටම බාවිතා කරනු ලබන බවත් ප්රායෝගික වශයෙන් දැකගැනීමට ලැබේ .එහිදී අවස්ථාවට අනුව කාලවේලාවන් අනුව මෙම වාදනයන් සිදුකෙරේ .කෙසේ නමුදු මගුල් බෙර වාදනය ලෙසින් ගොඩනැගී ඇත්තේ වට්ටම් තුනකින් සමන්විත කොටසක් නොවන බවත් විශාල ශාස්ත්රීය පද සමුදායක් එකතුවීම තුලින් පෝෂණයවූ වාදනාංගයක් බවත් සදහන් කල යුතුය.එයට මගුල් බෙර තුන් වට්ටම ලෙසින් ප්රචලිතව පවතින වාදන අංගයද ඇතුළත් වන බව විශේෂ වශයෙන් කිවයුතු කරුනකි .
....................................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී දේශබන්දු
කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
....................................................................................
No comments:
Post a Comment