දොලොස්වන කොටස
පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය
වර්තමානයේදී දෙවොල් මඩු ශාන්තිකර්මය තුල ඉතාම ආකර්ෂණීය පෙලපාළිය බවට මෙම පත්තිනි නර්තනය පත්ව තිබේ.ඉතාමත් රූමත් කාන්තාවක් ලෙසින් වෙස් ගන්වා ගනු ලබන ප්රධාන කපුපත්තිනි මහතා විසින් මෙම
රංගනය ඉදිරිපත් කිරීම කරනු ලැබේ .එමෙන්ම ඉතාම අත්යාලංකාර අන්දමින් ඇදුම් ආයිත්තම් වලින් සැරසී මුහුණද සුකොමල කාන්තාවක් ලෙසින් වේශ නිරූපණය කරගනිමින් නර්තන අංගය ඉදිරිපත් කිරීම අද බහුලව දැකීමට ඇත මෙම නර්තන අංගය ඉදිරිපත් කිරීම තුලින් මේ සමාජයට දීමට බලාපොරොත්තු පණිවිඩය වනුයේ පත්තිනි දෙවියන්ගේ රූපයෙන් සැරසී ශුද්ධවූ හළං ආභරණ වඩම්මවා එම ආභරණ තේවා කිරීම තුලින් ආතුර පක්ෂයට සෙත්කර දේවාශීර්වාදය ලබාදීමයි.
sath Pattini (I කොටස)
Pattini Pada - (II කොටස)
මෙම පෙලපාළිය සිදුකරනු ලබන ක්රමවේදය වනුයේ දේවමාළිගාවේ සිට පාවාඩ උඩුවියන් සහිතව අදාළ කවිගායනා කරමින් මඩු භූමියට දේවාභරණ පලමුව වැඩමවීම සිදු කිරීමයි.(ගම්මඩුවකදී නම් දේව අරහන්තයේ
සිට ගම් සීමාවට පලමුව දෙවියන් වඩමවා ආතුර පක්ෂය එම ස්ථානයට පැමිණීමෙන් පසු පෙරහැරකින් මඩු භූමියේ දේවාභරණ තැන්පත් කිරීම සදහා විශේෂයෙන් සකසා තිබෙන ස්ථානය වෙත වඩම්මවා තැන්පත් කරනු ලැබේ .නිවෙසක පුද්ගලිකව මඩුයාගය කරන්නේනම් එම නිවෙස අසලට දේවාභරණ වඩම්මවා එහි සිට පාවාඩ උඩුවියන් සහිතව සක් හඩ බෙර හඩ සහ අදාළ කවි ගායනාවන් මධ්යයේ නිවසෙහි සකසා තිබෙන විශේෂිත ස්ථානයට දෙවියන් වඩමවා තැන්පත් කිරීම අතීතයේදී කල ක්රියාවලියයි. මෙම වකවානුවේ දෙවියන්ගේ අණාභරණයන් වැඩමවීම කරනු ලැබුවේ අන්ඩෝරුව තුල ඉතාමත් ආරක්ෂා සහිතවයි.වර්තමානයේදී කලාතුරකින් මෙම ක්රියාවලිය සියනෑ කෝරළයේ දකින්නට ලැබේ )
මෙම පෙලපාළිය තුලදී කපුපත්තිනි මහතාට ඉදිරියෙන් දෑලේ සිට නාගකන්යා දෙදෙනෙකු නර්තනය කලයුතු බව පැරන්නන්ගේ මතය මෙන්ම එසේ සිදුකර ඇති බවත් එහිදී මෙම නාගකන්යාවියන් දෙදෙනා විසින් පත්තිනි පද නර්තනය කලබවත් සදහනි.වර්තමානයේදී ඉතාම කලාතුරකින් මෙම ක්රමවේදය දැකීමට ලැබුනමුත් මෙවන් අංගයන් ගිලිහෙමින් තිබීම ඉතාම ශෝචනීය තත්ත්වයකි.වර්තමානයේදී මෙම දේවාභරණ මඩුභූමියෙහි දෙවොල් යහන අසලට වඩමවාගෙනවිත් තැන්පත් කරනු ලැබේ .අනතුරුව දේවාභරණ නානුමුර කිරීමක් සිදුකරනු ලැබේ .අතීතයේදී තැන්පත් කර තිබූ ස්ථානයෙන් වැඩමවීමට ප්රථමයෙන් නානුමුර කිරීම සිදුකර අදාළ ගායනාවන්ට අනුකූලව දේවාභරණ ප්රධාන තොරණට වැඩමවීම සිදුකර අනතුරුව අනෙක් යහන්වලට අදාල ආභරණ වැඩමවීම සිදුවිය.වර්තමානයේ මෙම පෙලපාළිය සිදුකිරීමේ වෙනසක් දැකිය හැකිය.
Depanama Historical Sri Ganegoda Devala Gammaduwa
2022 පත්තිනි පද නර්තනය
එයට හේතුව වනුයේ පත්තිනි නර්තනය ගෙනහැර දැක්වීමයි.හළං නානුමුර කිරීමෙන් අනතුරුව පත්තිනි නැටීම සිදුකරනු ලැබේ එහිදී යහන්දැක්ම ,කොතල සහ දුම්මල පදය නැටීම සිදුකෙරේ .මෙහිදී මෙම පද නර්තනය කිරීමේදී අලංකාර මාත්රා නැටුමට යොදා ගෙන තිබේ.(මෝසම් පද)එසේම මෙහිදී වර්තමාන රටාවට අනුව "මාත්රා පද "නැටීමක්ද ඇතුළත්ව තිබේ.පත්තිනි පද නැටීම පත්තිනි සව්දම රග දැක්වීම සහ හළං තේවා කිරීම මෙම පත්තිනි නර්තනයට අන්තර්ගතව ඇත .එසේම පත්තිනි කපුමහතා විසින් පාද පෑගීමක් සහ කුඩා දරුවන් වැඩීමක් පානදුර ක්රමවේදය තුල දකින්නට ලැබේ.මෙසේ ආතුර පක්ෂයට හළං තේවා කර ආශීර්වාද කිරීමෙන් පසු එක් එක් දෙවියන් උදෙසා අදාළ අණාභරණයන් යහනෙන් යහනට වඩමවා මෙම පෙලපාළිය වර්තමානයේ අවසන් කරනු ලැබේ .
අතීතයේදී කපුපත්තිනි මහතා මෙම දෙවියන් වැඩමවීම තුලදී අද මෙන් නර්තනයේ යෙදීමක් නොතිබුනි.යම්කිසි සම්ප්රදායික රටාවක් අනුව සකසාගත් හළං හෙප්පුව තම හිස මතින් අදාළ ගායනාවන්ට අනුරූපව පාද තබමින් වැඩමවීම සිදුකර ඇත.එම හළං ප්රධාන යහනට (පත්තිනි තොරනට)වඩම්මවා තැන්පත් කරනු ලැබේ .ඉන් පසු කරඩුව ඉතාම භක්තිමත්ව ආරක්ෂා සහිතව හිසේ බැදගෙන කරඩුපද නර්තනය සිදුකරනු ලැබේ .එමෙන්ම ආතුර පක්ෂයට හළං තේවා කර ආශීර්වාද කිරීම සිදුකරනු ලබයි.ඉන් පසුව යහනෙන් යහනට දේවාභරණ වඩමවනු ලැබේ .එම කටයුත්ත සිදුකිරීමෙන් අනතුරුව ආතුරයන්ව තොරන ඉදිරිපිටට කැදවා පත්තිනි අලගු මංත්ර වලින් සහ සෙත් කවිවලින් අඹ අත්තෙන් සෙත් ශාන්ති සලස්වා මෙම පෙලපාළිය හමාර කරනු ලැබේ .
වර්තමානයේදී පත්තිනි නර්තනයට සුවිශාල ඉල්ලීමක් තිබෙන නර්තන අංගයකි. ප්රාසාංගිකත්වය ඉතාම උසස් මට්ටමකින් යුතු නර්තනයක් ලෙසින් පිලිගැනීමට ලක්වී ඇත . නමුදු අතීතයේදී මෙවන් නර්තනයක් නොතිබූ බවත් මෙය 1930 දසකයෙන් මෙපිටදී මඩු ශාන්තිකර්ම තුලට එකතුවී පෝෂණයවූ බවත් නොරහසකි .ඉහත කාලවකවානුවට එහාගිය සාක්ෂියක් සොයා ගැනීමට හැකියාව නොමැති බවද සදහන් කල යුතුය.එසේම එකලට වඩා වර්තමානයේදී බොහෝ වෙනස්කම් වලට මෙම නර්තනය භාජනයවී ඇති බවත් සියනෑ ගුරුකුලයට 1980/90 දසක වලදී ඇතුළත්වූ බවත් සදහන් කලයුතුයි .එසේම මාතර ගුරුකුලය තුලට මෑත බාගයේදී මෙම නර්තනය ඇතුළත්ව තිබෙන බවත් එහිදීද පුරාණයේදී මෙම නර්තනය දේව තොවිලය තුල දකින්නට නොතිබූ බවත් පාරම්පරික කපුපත්තිනි වරුන් සහ පාරම්පරික ශිල්පීන් පවසයි. මෙම පත්තිනි නර්තනය ආරම්භක යුගයේදී එක් අයකු ඉදිරිපත් කලමුත් එය අද වනවිට සත්පත්තිනි ලෙසින්ද දොලහා පත්තිනි ලෙසින්ද රගදක්වනු ලබයි .මෙහිදී කිවයුතු කරුනක් වනුයේ මෙම උතුම් චරිතය පිලිඹිබු කරනු ලබන්නන්ට නිසියාකාරව කපුපත්තිනි භූමිකාවේ අයිතිවාසිකමක් තිබෙනවාද කියන ප්රශ්නයයි.කෙසේ නමුදු මෙම නර්තනය ඉතා ප්රාසාංගිකත්වයකින් හෙබි එම නර්තනාංගය යොදාගෙන තිබෙන ස්ථානයට මනාසේ ගැලපෙන බවකින් යුක්ත බව කිවයුත්තකි. එසේම අප අමතක නොකලයුතු කරුනක් වනුයේ පුරාණ චාරිත්ර අනුව මෙහි ආගමනය ප්රශ්නකාරී බවකින් යුක්ත වීමයි.
පත්තිනි නර්තනය නැටීම
පත්තිනි නර්තනය 1කොටස
පත්තිනි නර්තනය රඟ දැක්වීම
හළඹ ශාන්තිය 2කොටස
උඩුවියනට කවි (හළං ආභරණ වැඩමවීමට )
සේරමන් නිරිදු ට
තැනූ මිණි රන් සළඹ ට
යහනට වඩන්න ට
නැතුව සළුවක් සිටිති වියන ට
නිරිදු සිත දුක් වී
මැති සැමදෙනම එක් වී
සුර පුරට දැක් වී
යන්ඩ ගමනක් නිති සැලැස් වී
කාරනා ඇසුවි ට
සේරමන් රජු කල මඩුව ට
සළඹ දක්වන්න ට
නැතුව සළුවක් ආමි වියන ට
සුරිදු සිට තෙපලු ව
ගමනට යන්ඩ පැවසු ව
අහසෙන්ම එසළු ව
එවමි විගසින් යව්ව නරලො ව
තොස්ව එවිට සිත සක් සුරිදුන් නේ
විශ්කම් දෙවිදුන් එහි කැදවන් නේ
ලක්ෂ වටින දිව සළුවක් දුන් නේ
එක් සැනෙකින් නරලොව ගොස් එන් නේ
උන්නු දුකින් නරනිදු සිත ලොල් වා
ගෙන්නු සදුන් පිනිදිය ගත ගල් වා
පංච නදින් ගොසකර සුවි පුල් වා
දුන්නු සළුව උඩු වියනට අල් වා
ලදුන් පතිනි දෙවිදුගෙ රග මඩුව ට
සොදින් එමිණි රන් සළඹ වඩන්න ට
උඩින් එවිශ්කම් ගෙනදුන් සළුව ට
උඩු වියනට නම පැවති එදා සි ට
උඩුවියනට මේ ආකාරයට කවි ගායනාවන් තිබෙන මුත් කිසිදු මඩු ශාන්තිකර්ම ශිල්පියෙකු හෝ කපුපත්තිනි මහතකු මෙම (එල්ලක්කල පුරාණ පත්තිනි දේවාලයේ කපු මහතුන් හැර)කවි ගායනාවන් බාවිතා කරනු දක්නට නොලැබේ .උතුම් දෙවියන්ගේ දේව ආභරණ වැඩමවීම තුලදී පාවාඩයට මෙන්ම උඩුවියනටද විශේෂ ස්ථානයක් හිමිවිය යුතු බවයි මාගේ හැගීම .නමුදු පාවාඩයට ගායනා බාවිතා කරන මුත් උඩුවියනට එසේ ගායනා බාවිතා නොකරන්නේ කුමන හේතුවක් නිසාද කියන එක ප්රශ්නයකි.මෙය සංවාදයකට ලක්විය යුතු කරුනකි. එයට හේතු වනුයේ පාවාඩය මෙන්ම උඩුවියනද මෙම පත්තිනි නර්තනය සහ දේවාභරණ වැඩමවීම තුලදී ඉතාම වටිනාකමක් තිබෙන දෙයක් බැවිනි.
Gods Paththini Dance (part 01)
SriLanka Gammadu Shanthi Karmya පත්තිනි භාගය | ගංගාරාම ගම්මඩුව
පාවාඩයට ගායනා
එර්දි බිසෝ සාමින් නේ
එර්දියෙන්ද ඇවිදින් නේ
රිද්දි දුහුල් අදිමින් නේ
පාවඩෙ අවසර දෙන් නේ
උතුම් කන්ද කුමරුන් නේ
පුවතක් මන් මකියන් නේ
දන වඩවා සතොසින් නේ
පාවඩෙ අවසර දෙන් නේ
නාග බිසෝ සාමින් නේ
නාග සළඹ ඉසලන් නේ
ආවඩවා සතොසින් නේ
පාවඩෙ අවසර දෙන් නේ
සත්පත්තිනි දෙවියන් නේ
මෙත්කල ලෙඩ දුරලන් නේ
දන වඩවා සතොසින් නේ
පාවඩෙ අවසර දෙන් නේ
එක්වා දසදහසක්වල දිවස් බලා පෙ ර
පස්වා සන් අසංකයක් පෙරුම්පුරා ති ර
සක් රජමෙන් දිවස් බලා රැකදෙන් ලොව නර
දුක්නොව මිහිකත් දෙවියනි පාවඩෙ අවස ර
බැන්ද වියන් තිර හතහැර ඔබට තේවෙ ක ර
ඇන්ද සළුව පට ඔසරිය කරට දමා ති ර
නින්ද නැතුව රෑතුංයම රැකදෙන් ආතු ර
කන්ද කදිරසාමි දෙවියො පාවඩෙ අවස ර
දුහුල් සළුව පටඔසරිය කරට දමා ති ර
සුනිල් සුනෙර වට කවඩන් සේසත් චාම ර
දවුල් බෙරහු පංචතූර්ය ගෝසා නදක ර
දෙවොල් මෙසත්බාගෙ දෙවියො පාවඩෙ අවසර
අහස පොලොව ඉර සද දෙවි අවසර යා
මෙලොවට කන්ද කුමරිදු ගෙන් අවසර යා
සබයේ සිටින සැම දෙනගෙන් අවසර යා
පාවඩෙ නගින්නට සැම දෙවි අවසර යා
ආභරණ නානුමුරය, වැඩමවීම, තේවාකිරීමට අයත් කවි ගායනාවන් (පත්තිනි නැටීම තුලදී)
තිසරණ පලමු කො ට
යස තෙද පතිනි දෙවිදු ට
බැස මෙරග මඩල ට
අසව පෙර මිණි සළඹ නද කො ට
සේරමානන් රජු ද
කලකමින් ඔහුගෙ සිරස ද
ලෙඩක් උනි පෙර ලෙ ද
මදක්වත් ගුණනැතිව දුක් වි ද
යහන සැතපුන වි ට
පතිනි සද ගුවනෙ වැඩ සි ට
දුනොත් පුද අපහ ට
ලෙඩත් ගුණවෙයි මදක් එළුකො ට
එරජ පෙර වලිය ට
මිණි සළඹ කරවන්න ට
කිරා රන් ගෙන තු ට
කූඩ ලාසෙන් මැන සිව් ගනණ ට
එරන් පුටුව ගෙන ලසි නා
ලමින් බුලත් පස් මලි නා
නිතින් මෙහැම පේ කර නා
කියන් කව්ද ඇදුරු දැ නා
පොරනා පැවතී වෙළද න්
ශ්රී දන්තය පත්තිනිය න්
තේරූ අය සමග ගොසි න්
පේව නානුමුරට තොසි න්
ගොස් පොකුණෙන් දිය මැටි ගෙන්නා ලා
තොස්කර බත බුලතුත් ගෙන දී ලා
වස් ඇර දකුණෙන් මැටි අනවා ලා
ගොස් ලග ඉද කෝවේ තනවා ලා
නාග මැණික් ගෙන සළඹ තැනූ ව ර
නාග ලොවින් ගිගිරිත්ලා නිමක ර
නාග ලියන් ගෙන්නා සිට ගරුත ර
රෝග මුදාගිය හැම දොස දුරුක ර
දෙව්ව අණක් නරයින්හට සෙත් ක ර
දෙව්ව කියා සත් එව්වේ පිරිව ර
කිව්ව යන්ඩ සළඹට රැකවල් ක ර
එව්ව නාගලොව නාරජ පිරිව ර
ඉස බිම සුදුවැලි ඇතිරිලි ලන් නේ
තොස්ව වියන් බදිමින් පිං දෙන් නේ
ගසති දවුල් බෙර නාද තොසින් නේ
ඉස පිට තබමින් සළඹ ගෙනෙන් නේ
............................................
මෙලෙසින් ඇති පෙර සිරිත සුබා වා
නොවසන් ඇති තතු සබයේ බෝ වා
මෙලෙසින් ඇති තතු නොවරදි කී වා
පවසන් පද බැදි සළඹෙ කතා වා
පැතූ පිනෙන් මතු බුදුබව නොලැ බේ
ගෙතූ දමෙන් මතු පුදකල නිල බේ
සිතූ ගමන් ගොස් එතනට නොලැ බේ
රත් නිල් මැණිකක් ඇත මුතු හළ බේ
සුවද පැනින් අත නාවා ගන් නේ
සුවද දුමට අත පාලා ගන් නේ
එසොද සළඹ දෙක දෑතට ගන් නේ
ගිගිරි නදට උවදුරු නොතිබෙන් නේ
දෑතින් ගෙන සළඹ දෙක ත්
වසා රැගෙන ඔසරි පොට ත්
මානායරු මේ අගප ත්
සිරිමා මුණි සළඹ සල ත්
දෝත මුදුන්දී අල්ල මු
දෝත මුදුනෙ තබා වදි මු
මේ කල දොස අදින් මුද මු
යා රජුනේ සළඹ සල මු
ආලවඩන රුසිරෙන් සොද නීල
සළුව ඇද වත සේ
දූල සළුව සිරස වසා සරස කියා
බස් මෙලෙ සේ
කෝල නැතුව සබයට බැස ජය
සක් පිඹිනා විල සේ
බාල බිලිදු නෑසියොහට සළඹ
සලාලන් සතො සේ
මොට්ටප්පිලි සිරස ලමින් ඔසරිය
කරලා සුද් දේ
වට්ටමකට නික්ම ඇවිත් ගිගුම්
දිදී සබ මැද් දේ
ඉෂ්ඨ කරන පිරිපත හැර ජය සක්
පිබිනා සද් දේ
කුෂ්ඨ රෝග දුර හරින්ඩ සළඹ
සලාලන් සද් දේ
නුඹෙ තේජස් දැක සක් රජ දනක්
දෙවයි සිත ලුද් දේ
ලැබේ නොයෙක් ධන සම්පත් තුන්
ලොව නායක ලද් දේ
අඹේ උපත දැක්වූ යස තෙද බල
ලොව පරසිද් දේ
සබේ සැමට ආවඩවා සළඹ
සලාලන් සද් දේ
සත්පත්තිනි හළඹ ශාන්තිය (III කොටස)
මෙවන් ආකාරයට පත්තිනි නර්තනය ඉදිරිපත් කිරීම තුලදී කවි ගායනාවන් බාවිතා කරනු ලැබේ .මෙහිදී ඉතාමත් භක්තිමත්ව මෙම පෙලපාළිය සිදුකරනු ලබන අතරම පත්තිනි දෙවියන් කෙරෙහි ආතුර පක්ෂය ද ඉතා භක්තියෙන් යුතුව තම කරදර දුක් පීඩා දුරුකර ගැනීමට බාරහාර සිදුකිරීම දෙවියන් පිදීම කුඩා දරුවන් බාර කිරීම වැනි කටයුතු සිදු කිරීමක් දක්නට ලැබේ.එමගින් පත්තිනි දෙවියන්ගේ දේවාශීර්වාදය ආරක්ෂාව රැකවරණය නිරතුරුවම පාර්ථනා කරනු ලැබේ මෙවන් භක්තිමත් බවකින් සිදුකරනු ලබන මෙම පත්තිනි නර්තනය වර්තමානයේදී ඉතාම කණගාටු දායක ලෙසින් අවභාවිතාවේ.එයට හේතු පාදකවී ඇත්තේ නර්තන තරගයන් වලට මෙම නර්තනය යොදා ගැනීම මෙන්ම පෙරහැර සංස්කෘතිය තුලදී විකාරරූපී ලෙස මෙම රංගනය යොදා ගැනීමයි.ඉතාම වටිනා භක්තිමත් රංගනයක් මෙවන් ආකාරයට හෑල්ලුවට පත්වීම කනගාටුදායක තත්ත්වයකි.
...................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී දේශබන්දු
කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
...................................................................


