Thursday, February 10, 2022

බිසෝකප සිටුවීම - 10 වෙනි කොටස

දසවෙනි කොටස

පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය


පත්තිනි දෙවියන් උදෙසා සේරමාන් රජුගේ බිසවුන් වන"වෙන්මාල්"බිසවිය විසින් මඩුවේ ප්රධාන සැරසිල්ල වන තොරනෙහි දකුණු පසින් ඇපයක් ලෙසින් සිටුවන ලද කප "බිසෝකප" ලෙසින් හදුන්වනු ලැබේ .මෙම කප සිටුවීමට කරනු ලබන පෙලපාළිය නැතහොත් ක්රියාවලිය බිසෝකප සිටුවීම හෝ බිසෝකප් මංගල්ල්යය ලෙසින් මඩු ශාන්තිකර්මය තුලදී ව්යවහාර කරනු ලැබේ .මඩුයාගය කරගෙන යාමේදී පලමු වතාවට මඩු ශාන්තිකර්මයේ උපත් කතාව පිලිඹිබු කෙරෙන ස්ථානය මෙය වේ. එහිදී මෙය දෙබසක් බාවිතා කරමින් ඉදිරිපත් කෙරේ .(යක්කමක් ලෙසින් )මෙම පෙලපාළියට අයත්වන කවි ගායනය තුල අදාල කතාංගය අන්තර්ගතව ඇත .බිසෝකප සරසා ගන්නේ වියත් හතර හමාරක් දිග සිටිනසේ රඹ කදක් කපාගෙන කැටයම් කරනලද ගොප් කොල එම රඹ කදෙහි මාල තුනක් සිටිනසේ සවිකර(ගසා) ගැනීමෙනි .මෙහිදී රඹ කදෙහි මුලින් අඩි එක හමාරක් පමන කොටස හැර ඉතිරි කොටසෙහි ගොප් කැටයම් සරසනු ලබයි.මෙහිදී කැටයම් කරන ලද ගොප්කොල කදවටා සිටින ලෙසින් නොව එහි අඩක් ආවරනය වන සේ සැරසීම සිදුකරනු ලැබේ .මෙම ක්රමවේදය රයිගම් ගුරු
කුලය පානදුර තොටමුන කෝරළය සහ පස්දුන් කෝරළයෙහි බාවිතා කරනු ලබන රටාව වේ.එසේම වර්තමානයේදී සියනෑ ගුරු කුලයටද මෙම සැරසිලි රටාව අනුගතව තිබේ නමුදු සියනෑ ගුරුකුලයට අයත් අතීතයේදී බාවිතා කරනු ලැබූ සැරසිලි ක්රමවේදය මෙය නොවේ.අතීතයේදී බිසෝකප සදහා යොදා ගනු ලැබුවේ අතු සහිත පුවක් පැලයකි.එහිදී මෙම පුවක් පැලයට සුදු පිරුවටයක් පහල සිට අතු දක්වාම ගස වටේ ඔතනු ලැබේ .ගසෙහි මුල පොලොවේ සිටුවන කොටස නිරාවරණය වේ.
 

මෙම පැරණි ක්රමවේදය නැගෙනහිර සියනෑ කෝරළයේ අදද දකින්නට ඇත .මෙලෙසින් සියනෑ කෝරළයේ බිසෝකප සරසා ගැනීමේදී මෙම ක්රමවේදයන් දෙකම වර්තමානයේදී දැක ගැනීමේ හැකියාව තිබේ. බිසෝකප සිටුවීමේ පෙලපාළිය සිදු කරනු ලබනුයේ පහතින් සදහන් කරන පරිදිය.
 
පලමුව බිසෝකප මල්බුලත් පුටුවේ තබනු ලැබේ .ඉන් පසුව යහන්දැක්ම කොතල පදය සහ දුම්මල පදය නර්තනය කරනු ලැබේ .ඉන් අනතුරුව ප්රධාන නර්තන ශිල්පියාද සමගින් කපුපත්තිනි මහතා මෙම පෙලපාළියට අයත් කවි ගායනා ආරම්භ කරනු ලැබේ .මෙහිදී පලමුව කෙටිකවි ගායනා කිරීමෙන් පසුව තාල කවි ගායනය දෙවනුව කරනු ලැබේ .එසේම මෙම කෙටිකවි ගායනාවන් කරමින් බිසෝකප පෙලපාළිය තුලදී විශේෂ වශයෙන් අයත්වන "ශුද්ධ මාත්රා පද "නර්තනය කරනු ලබයි.මෙම පද රයිගම් ගුරුකුලයට අනුව පහකින් යුක්ත වන අතරම සියනෑ ගුරුකුලය තුලදී මා දන්නා පරිදි පද හතකින් සමන්විතවේ.සමහර අය පද පහක් ලෙසින්ද බාවිතා කරනු ලබන බව කිය යුත්තකි .එසේම බිසෝකපේ පදය වසයෙන් සුව්ශේෂී පදයක්ද මෙම පෙලපාළියට අයත්වේ.
 
Depanama Sri Ganegoda Dewala Gam Maduwa (බිසෝ කප සිටුවීම) 
https://youtu.be/6C58SOVYeJg
 
පානදුර තොටමුන කෝරළය තුලදී මෙම පදය කවි ගායනාවන් ආරම්භයේදීම නර්තනය කරනු ලැබේ .ඉන් අනතුරුව අදාල ශුද්ධ මාත්රා පද නැටීම සිදුකෙරේ .නමුදු අනෙක් ගුරුකුල වලදී පලමුවෙන් ශුද්ධ මාත්රා නර්තනය සිදුකර දෙවනුව "විපුල තෙදබල "යන තාල කවියට අනුව "ගදිත ගත ගත ගුදිත ගුද ගුද "ලෙසින් ගොඩනැගී ඇති පදය නර්තනය කරනු ලැබේ . පානදුර රටාවට අනුව "ග-ත-ගුං-ර්...රිංගත ගත් දොං ගතිගුද ගත් දොං "ලෙසින් යුතු පද කොටස නර්තනය කරනු ඇත .පානදුර ක්රමය තුලදී බාවිතා කරනු ලබන කවි ගායනාවන් අනෙක් ගුරුකුල වලදී බාවිතා කරන ගායනා අතර වෙනසක් පවතී.මෙම පෙලපාළිය තුලදී කෙටි කවි ගායනාවන්ට අදාල පද නර්තනය කිරීමෙන් පසුව තාල කවි ගායනා කරන රටාව අනුව අලංකාර මාත්රා ගැලපෙන ආකාරයට යොදාගෙන ලැබේ .තාල කවි ගායනා කිරීම අතර මැදදී මඩු උපත් කතාව සංවාද අනුව ඉදිරිපත් කිරීම සිදුවේ.අනතුරුව බිසෝකප සදහා ආතුර පාර්ශවයෙන් පඩුරු ලබාගැනීම සිදුකරනු ලැබේ .එම අතරතුරදී පෙලපාළියට අයත් ඉතිරි ගායනාවන් සිදුකර ආතුර පක්ෂයට සෙත්කර බිසෝකප රැගෙන සියලු මල් යහන් වලට පාලිකර පත්තිනි තොරනෙහි දකුණු පාදයෙහි සිටුවනු ලබයි .මෙහිදී බිසෝකප පාමුල බුලත් සහ පඩුරු දොලසක්
මෙන්ම දල්වනලද පහන් වැටි පිදීමක් කරනු ලබයි.එසේම බිසෝකප සිටුවීම කරනු ලබන අවස්ථාවේදී කපුපත්තිනි මහතා විසින් ආතුර පක්ෂයට ආශීර්වාද කිරීම සදහා යාතිකාවක් සිදුකර මෙම පෙලපාළිය අවසන් කරනු ලැබේ .
 
Makumbura Paththini Dewalaya Devol Maduwa 
බිසෝකප සිටුවීම - වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022
 

බිසෝකපේ ගායනා පානදුර ක්රමය

කෙටි කවි

මුණි සරන මුල් ක ර
සග ගුණ කවි නිලන්ත ර
නව ගුණ බැතින් පෙ ර
කියන් මුනි ගුණ පලමු කවික ර
පතිනි සද අණස ක
උපනි පෙර සත් වාරෙ ක
දෙති මෙපුද බැහැදැ ක
කියන් දෙවියනි මෙආතුර දු ක
කකුසද බුදුන් නේ
ලත් විවරනය කින් නේ
පත්තිනි ලදුන් නේ
පැවති පිලිවෙල අපි කියන් නේ
කුමාරිය සාමි නි
දමා ලෙඩදුක් බැහැරු නි
මෙමා කී කවියෙ නි
සමාවන්නේ සියලු දෙවිය නි
 
තාල කවි(දික් කවි)

පෙරත් පැවති පිලිවෙල මහ භද්ද්රා
කල්පයේ සි ටා
ඇරත් මෙකප මුල බුදු උන කකුසද
මුනි විවරන ටා
දුරත් එදඹදිව පුරයෙහි සේරමාන්
නිරිදු හ ටා
කරත් යාග දනු මැති සිට රෑ දාවල්
තොර නොකො ටා
පහසු නොවෙන රෝග පැමින නිරිදුගෙ
අකුසල් බෝ වේ
අහස ගුවන් තලයෙන් බැස සොප්නය
කින් පෙන්නූ වේ
දේශ එසිංහල රට එති එරුවන්වැලි
සාලා වේ
දෝස හරින රග මඩුවක් කරපුද
දෙන ලෙස කී වේ
ගෙන්නා බමුණන් දහසක් සොප්නය
තෝරන ලෙසි නේ
දන්නා ලෙස මෙතොප විසින් විමසව්
දැනෙනා පම නේ
දුන්නෝතින් රග මඩුවක් පුද
සිංහල එදිවයි නේ
යන්නා ජල පොකුරඹසේ පිරිපත
එක් සැනෙකින් නේ
ලදුන් ගෙන්නා සොයා දෙපසේ මුදුන
කොත් සිටුවා ම දේ
ගෙනත් සොද රන් තැඹිලි බෝදිල
බිසෝකප සිටුවා මැ දේ
සුදින් රත් නිල් වියන් බැදලා නොයෙක්
වළු මල් ගෙන බැ දේ
මෙලක් සැමතැන බැලූ නිසි මේ තැනූ
ගී මඩුවක් සො දේ
සැසපු පලලින් සතර පැතිකර සොලොස්
පට්ටම් කරමි න
ලෙසට තල මල කපා බේරා මුදුන සරසති
කලස විලසි න
යසට සුදුසළු ගෙන වසාලා සෙනග දෑලේ
සැදී මෙලෙසි න
සලස් කරවන පංවතූරිය අදින් පෙලහැර
කරනු දැනගෙ න
එදා නිරිදුගෙ සිරසෙ වන් දොස දුරු
කරන්නට සැලසු වේ
එදා ඇදුරෝ රුවන්වැල්ලේ උතුරු
දිග බිම බැලූ වේ
බෙදා හැස පිස සමතලා කර බ්රහ්ම
පාදය බෙදූ වේ
එදා සිටවූ බිසෝකප ගෙන මෙඅතුරන්
හට ආවැඩූ වේ

බිසෝකපේ ගායනා රයිගම් ගුරුකුලය

සුර බඹ කිරුලු මි ණී
මත ගගන දිලි දිනමි ණී
සිරි දෙවන සිළුමි ණී
වදින් අදරින් තිලෝගුරු මු ණී
ජනපද ජලෙනි සැ දී
මිලිනබව ඉන් ගිය සි දී
මොක් වෙරලින් සුසැ දී
වදින් සදහම් අමර ජල න දී
සව් සතුන් නන්ද න
සුර බඹ ඉසුරු කැන්ද න
කෙලෙස් ගන සින්ද න
වදින් මහ සඝන මුනි නන්ද න
සොලි පුරෙහි මල ර ට
සේරමානන් රජුගෙ සිරස ට
රෝගයක් වන් වි ට
එරජ සෙන් සහ ඇවිත් මෙලක ට
දෙවිදු හට පති නී
පුද පඩුරු දෙන ලෙසි නී
රග මඩුව සදමි නී
බිසෝකප සිටවූවෙ මෙලෙසි නී
කිරණ රිවි තෙදැති පත්තිනි දෙවිදු හ ට
පොරණ සේරමන් රජු වැඩ සිරිලක ට
සරණ රගමඩල බිසොවුන් සිටෙව්ම ට
කරන පෑය කප්කැන් සිටුවන ලෙස ට
දැදුන් ගනිති පිරිසිදු සුභ නැකත් බ ලා
සදුන් රුකක් වට ගොප්පැන් සරසා ලා
පිදුන් රන් පනන් සුවදැති පැන් ඉස ලා
සිදුන් කර එරුක අගමුල කපවා ලා
මත් ගෙන නිරිදු වදහල බස් වඩු ඇදු රූ
පත් බිද සදුන් කද අටපැති හැස සොදු රූ
කොත් අග අනගි රූ කැටයම් කර මහ රූ
විස්තර බිසෝකප මෙහෙ නිමකල ඇදු රූ
වියන් දහස් තිර අල්ලා නිමා නො මා
සදුන් සුවද කිරිපැන් ඉස තෙමා බි මා
රජුන් අමර ලොපහලයුරු දුමා සැ මා
අරන් බිසෝකප මඩුවට පෙමා ව මා
........................
සොප්න පෙර දුටු වි ට
සොප්න තෝරන විලස ට
ගොස් සෙනග වට කො ට
ගත්තු භූමිය මෙරග මඩල ට
කපා කප එම වි ට
දෙපසේ ආතුරන් හ ට
දොලහ දෙවි මුල් කො ට
මෙසේ සෙත්දෙන් ආතුරන් හ ට
කියන මේ කවියෙ න්
වරදක් ඇතත් මොනය න්
රැගෙන කප සුරති න්
මෙසේ ආතුරන් හට සෙත් කර න්
විපුල තෙද බල පතල සත වෙත පතිනි
දෙවියන්ගේ හට බැති න්
දෙමළ සෙරමන් නිරිදු ලක වැඩ ගොසින්
වැලිතලයට රුව න්
එකල සැදු රගමඩල සුබ පද බිසෝ
පායට අනගි මෙ න්
ලකල පිවිතුරු බිසෝකප සැදි පුවත
අස පෙරැදුරු විසි න්
රියන් සවියත් අගුල් පත්බිද සදුන් කද
අට පැති හැ සා
මුදුන් කොත සත් මාලයක් කර කතිකාව
රතඹුල ලෙ සා
නුදුන් අතුරක් සේම අටපැති ලතා
කැටයම් එක ලෙ සා
සදුන් හර මේලෙසින් සරසා සිටුවන්ඩ
නැකතක් අ සා
 
මෙම ඉහතින් සදහන් කරනු ලැබූ ගායනාවන් පොදුවේ රයිගම සියනෑ පානදුර වස්කඩුව කලුතර වාද්දූව අළුත්කූරු කෝරළය හාපිටිගම් කෝරළය යනාදියෙහි බාවිතයේ පවතී.එම කවි කාණ්ඩ දෙක ගුරු පරම්පරාවන් අනුව ප්රාදේශීය වෙනස්කම් වලින් යුක්තව මඩු ශාන්තිකර්ම තුලදී භාවිතයේ පවතින බව ප්රායෝගික වශයෙන් දැකගත හැකිය .
 
........................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී 
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
........................

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...