සිංහල සංස්කෘතිය තුල දේව නාග යක්ෂ රාක්ෂ ප්‍රේත භූත ආදී අති මානුෂීය සංකල්පයක් වෙත ඇත්තේ අද්විතීය වූ ස්ථානයකි. ඒ අතරවාරයේදී විශේෂයෙන්ම පහතරට ප්‍රදේශයේ දී දළ කුමාර දේවතාවා නොහොත් ගරා යක්ෂයා සම්බන්ධයෙන් පවතින්නේ පුදුමාකාර විශ්වාසයක් හා බිය මුසු ගෞරවයකි. ගරා යක්ෂයා තුළින් අර්ධ දේව සංකල්පයක් සේම යක්ෂ සංකල්පයක්ද දෘශ්‍යමාන වේ. ගරා යක්ෂයා සම්බන්ධයෙන් විවිධාකාර කථා පුවත් රාශියක් තිබුණද, එයින් වැඩි බරක් ලැබෙන්නේ පහත කතා පුවත වෙතය.
Garayak Shanthikarmaya | ගරායක් ශාන්ති කර්මය
Mahanama College Dewol Maduwa - 2022
පෙර සමයේ දඹදිව් රට පෙම්වතුන් යුවලක් විය.ඔවුන් දෙදෙනා විසින් මල් පූජාවක් සිදු කොට "අප දෙදෙනාට මේ භවයේදී එක්විය නොහැකි නම් ඊළඟ නොදුරු භවයකදී සහෝදරයන් ලෙස හමු වේවා. අපගේ ප්‍රේමය නොසිදේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන ලදී." මහා පුණ්‍ය සම්භාරයක් ඇති මෙම පෙම්වතුන් යුවළ මරණයෙන් පසු දඹදිව දන්ත නුවර බඹදත් රජතුමාගේ පුත්‍ර වූ සිංහකුමාර රජුටත් හංසවතී දේවියටත් දාව උපත ලැබුනි. මේ අතරින් කුමාරයාට දළ කුමාර යන නම ලැබුණි . කුමරියට දේවී යන නාමය ලැබුණි . නැත්නම් ගිරි දේවී යන නමයි.
අලුත උපන් කුමරාගේ සහ කුමරිය ගේ ජන්ම පත්‍රයන් විමසා බැලූ නක්ෂත්‍රකරුවන් ගේ අනාවැකිය මෙසේ විය. මෙම කුමරු හා කුමරිය අනාගතයේ දී අඹුසැමියන් ලෙස එකතු වන බවත් එ නිසා මෙම දරුවන් දෙදෙනා වෙනම රැක බලා ගත යුතු බවත් රජතුමාට හා දේවියට දැනුම් දෙන ලදී .ඒ අනුව කුමරිය ගල් ලෙනක් තුළ සඟවා පෝෂණය කරන ලදී.
යොවුන් වියට පත් වූ කුමාරයාගෙන් මෙම රහස සැඟ වූවත් , දාසියකගේ මාර්ගයෙන් තමාට සහෝදරියක් තිබුණා බව දළ කුමාරයා දැන ගන්නා ලදී . නුදුටු තමාගේ සහෝදරිය වෙත ප්‍රේම බැදි කුමාරයා විසින් කරන ලද පෙරැත්ත අනුව ගල් ලෙන වෙත පිවිසි කුමාරයා ගිරි දේවිය සමග අඹු සැමියන් ලෙස එකතු වෙන ලදී. තමාගේ සහෝදරයා සමගින් මෙලෙස අඹුසැමියන් ලෙස හැසිරුණ බව දැනගත් කුමරිය විසින් ලැජ්ජාවට හා සංවේගයට පත්ව කළ වැලක එල්ලී තමාගේ ජීවිතය නැති කර ගත්තාය.
Kaduwela Rankadu Pattini Dewalaya Garayaka Dance
සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ ගරා සෙත් ශාන්තිය
තමා ආදරය කරන සහෝදරියගේ මළකඳ හොයමින් මහ මගට බට කුමාරයාට අතරමගදි හමු වූයේ විශේෂ තැනැත්තෙකි . දාදු කෙලියේ නිරත වූ සෙනසුරා පැරදී හිස් අත එනු බලා සිටි දළ කුමාරයා විසින් තම සහෝදරිය සොයා දෙන්නේ නම් දාදු කෙළියෙන් දිනවා දිය හැකි බව දන්වන ලදී . එයට සෙනසුරා එකඟ විය. වහාම තොළබෝ පත්‍රයක් අතට ගත් දළ කුමාරයා විසින් එහි අතිශයින් ම රහස් වූ යන්ත්‍රයක් සටහන් කොට ජප කොට සෙනසුරාගේ අතට දෙන ලදී . එයින් සෙනසුරා ජයග්‍රහණය ලදත් දළ කුමාරයා වෙත ලබා දුන් පොරොන්දුව ඉටු නොකරන ලදී . එයින් ප්‍රකෝපයට පත් වූ දළ කුමාරයා සෙනසුරාගේ වම් පය වෙත ප්‍රහාරයක් එල්ල කරන ලදී . සෙනසුරාගේ වම්පය නොන්ඩි බව සිංහල ගැමියන් විසින් කියන්නේ ඒ නිසා බව කියවේ .
මියගිය ගිරි දේවිය ගේ මළ සිරුර දෙව්ලොවට අධිගෘහිත ශක්‍ර දේවේන්ද්‍රයා විසින් දෙව්ලොවට ගෙන ගොස් අමා පැන් ඉස පණ ගන්වා දේවතා බව ලබා දුන් බව කියයි . අදටත් ගිරි දේවිය වෙනුවෙන් විශේෂ වූ බලි ශාන්තිකර්ම පවතින අතර, වර්ෂාව ලබා දීම වෙනුවෙන් ඇය උදෙසා නග්න වූ රූපයක් තබා පුද පූජා තැබීමෙන් වර්ෂාව ලබා ගත හැකි බව රජරට ප්‍රදේශයේ ගම් වැසි ජනතාව සලකයි. කෙසේවුවත් තම සොහොයුරියගේ මළ කඳ සොයා පැමිණි දල කුමාරයා වෙත ශක්‍ර දෙවියන් විසින් විස පැන් කෙන්ඩියකින් දමා ගැසූ බවත්, ඒ නිසා නාගආභරණ තුනකින් යුත් දල විහිදී ගිය රකුසු මුහුණක් ලැබුණු බවත් එයින් ගරා යක් උපත සිදු වූ බවත් කියයි .
Traditional Ritual Devil Gara Dance
ශ්‍රී රන්කඩු දේවාලයේ දිය රැණ කෙළිය සහ ගරා ශාන්තිකර් මය 2022
එසමයෙහි කතරගම දෙවිඳුන්ගේ හා වල්ලි මාතාව ගේ විවාහය සිදුවන දිනය යි . මස් මාංශ යන් ගෙන් පිරී පැවති මෙම විවාහ මඟුල සඳහා සිද්ධ පත්තිනි දිව්‍යාංගනාව වෙත වැඩම කිරීමට අවස්ථාවක් නොවීය. ඒ මොහොතේ දී පත්තිනි දෙවගන විසින් ගරා යක්ෂයා ගේ පිහිට උපකාරය පතන ලදි . කතරගම දෙවියන් ගේ මගුල් ගෙදරට පිවිසි ගරා යකා විසින් මුළු මඟුල් මේසයම එක අතකට ගෙන මුඛයේ තබා ගත් බවත් , එයින් ද සෑහීමට පත් නොවී මුහුදු භාගයක මස්ටකයන් හා ජලයත් වලදා එයින් ද නොසෑහී පොල්වතු බොහෝමයක වෑවර බිවූ බවත් කියයි.එයින් පත්තිනි දිව්‍යාංගනාවට විවාහ මංගල්‍යය වෙත සහභාගි වීමට අවස්ථාව ලැබුණි . නැවත ආපිට පැමිණි පත්තිනි දිව්‍යාංගනා වූ වහන්සේ මල්ලි නුඹට කතරගම දෙවියන් හොඳින් සංග්‍රහ කළේ ද කියා විමසීය . අනේ අක්කේ කෑමට කිසිවක් ලැබුණේ නැතැයි ගරා යකා ප්‍රකාශ කරන ලදී . එහි දී පත්තිනි දිව්‍යාංගනාව වහන්සේ සලුපොට ඉරා මා වෙනුවෙන් පවත්වන දෙවොල් මඩු ගම්මඩු ගම් මඩු පූජා මඩු කිරි මඩු ආදී නොයෙක් පූජා පෙරහර අවසානයේ අවසාන පුද ගන්නා තැනැත්තා නුබ වේවා යැයි වරමක් ලබා දෙන ලදී .
එතැන් සිට අද දක්වා පත්තිනි දිව්‍යාංගනාව වෙනුවෙන් පැවැත්වෙන පූජා පෙරහර අවසානයේ දී ගරා යකුම පුදදීම සිරිතක් ලෙස පවතී .එයින් ද ගම්මඩු හා දෙවොල් මඩු චාරිත්‍ර ඉෂ්ට කරවා ගරා යකා වෙනුවෙන් පුද දීම අනිවාර්ය සිරිතකි. එය ගම් මඩුවක හෝ දෙවොල් මඩුවක පින් බෙර ගැසීමට සුළු මොහොතකට පෙර සිදු කරනු ලබයි . ගරා යකා ඕනෑම කිලිකුණු දෝෂයක් නැසීමට සමතෙකි. එනිසා රදා තොටක වේවා , වැව් අමුණක වේවා, මුහුදු වෙරලක වේවා කොතනක වුව ද ගරා යකාට පුද දීමට සුදුසු ය . එසේම ගරා යකා වස් දොස් නැසීමට සමතෙකි. එනිසාම අලුත හදන ගෙවල් උලුවස්සට ඉහළින් ගරා යකා ගේ මූනක් එල්ලීම සිදු කරනු ලබයි . එය ආවාට ගියාට වර්තමානයේ සිදු කරන බව පෙනේ .එසේ ආවාට ගියාට ගරා යකාගේ මුහුණක් නිවෙස් හි එල්ලීම නොකළ යුතු බව මාගේ මතයයි . ඒවා සුදුසු වූ පරිදි මන්ත්‍රාචාර්ය වරුන්ගේ ද සහයෝගය ලබා ගෙන සිදු කළ යුතු බව මතයයි .පිළිම සෑදීමේ දී , බුද්ධ රූප දේව රූප නේත්‍රා තැබීමේ දී , අලුතින් ගෙවල් දොරවල් ව්‍යාපාර ආරම්භ කිරීමේදී, පත්තිනි දෙවගණ උදෙසා සිදුකරන පූජාවන් අවසානයේදී ගරා යකා වෙනුවෙන් පූජාවක් නොහොත් ගරා පෑමක් සිදු කිරීම සුදුසු වේ .
Rare Devil Gara Yaka Mask Dance - Arawwala
(Three-day Gee Madu Festival) Gammaduwa 2023
විශේෂයෙන් දකුණු පළාතේ මත්ස්‍ය අස්වැන්න අඩු වූ කාලයේ දී " ගරා යකා මුහුද ගිල ඇතැ යි " යි සලකා මත්ස්‍ය අස්වැන්න අපේක්ෂාවෙන් මුහුදු වෙරළ අසල ගරා පෑම චාරිත්‍රය සිදු කිරීම සඳහා ධීවරයන් බොහෝවිට පෙළඹෙයි.
සාමාන්‍යයෙන් ගරා පෑම සිදු කිරීමට පෙර ඒ වෙනුවෙන් නර්තන ආචාර්ය වරයෙක් විසින් ගරා යකාගේ වෙස් මුහුණක් පැලද් ගොක්කොළ යෙන් ව්‍යාජ කොණ්ඩයක්ද සකසා අයිලය වෙත පිවිසෙයි .මෙය මෝලන් කඩ යන නමින් ද හැඳින්වේ .මෝලන්කඩ සකස් කරනු ලබන්නේ ගොරොක් අතු දෙකක් සිටුවා ඒ මත හරස් අතට මෝල් ගස් දෙකක් බැඳ ඇතැම් අවස්ථා වලදී පුවක් අතු ද බැඳ නිම කිරීමෙනි . ඒ වෙත පැමිණෙන ගරා යකා ඇඳුරා සමගින් බොරු යක්කම් (විහිලු කතා ) කියා පොල් වළල්ලක්, අති රස ගෙඩියක්, කෙසෙල් ගෙඩියක්,පොල් ස්වල්පයක් කිරිබත් කෑල්ලක් ආදී පුද රැසක් කොට්ටෝරුරාල නොහොත් ආව තේව කාරයාගෙන් ලබා ගෙන පැමිණ සිටින සියලු දෙනාටම සෙත් ශාන්ති කර වරලස හා වෙස් මූණ භාවිතා කර වස් දොස් දුරු කරනු ලබයි. (මෙහිදී ගරා යකාගේ කවි කෝල්මුර කිසිවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත මුදා නොහරින බව කරුණාවෙන් දැනුම් දී සිටිමු.)
Gara Yaka Dance at Maharagama Gammaduwa
පමුණුව දේවාල පාර ගම්මඩුව ගරා යකා ශාන්තිකර්මය 2022
පමුණුව දේවාල පාර ගම්මඩුව ගරා යකා ශාන්තිකර්මය 2022
මනෝවිද්‍යාත්මක පසුබිම සලකා බැලීමේදී, ගරා යකා තුළින් අසම්මතය , ලිංගිකත්වය , අපරාධකාරී චර්යාවන් පිළිබඳ ව තොරතුරු රාශියක් හෙළි වෙයි .එසේ ම මානසික ව්‍යාධි සමනය කිරීමේ දී අවිධිමත් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද ගරා පෑම ශාන්තිකර්මය සලකා ලිය හැකිය. එසේම ගරා යකා මනුෂ්‍ය ජීවිතයේ දී එබඳු වරදක් කළ ද යක්ෂයෙකු බවට පත් වූ පසු එවන් වරදක් සිදු කළ බවක් කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවේ. එසේ ම බෙර කරුවා සමග සිදුකරන සංවාදය පාපොච්චාරණයක් ලෙස ද හැඳින් වූවාට වරදක් නැත .
ගරා යකුන් පිළිබඳ ව පිළිබඳව සංකල්පය තව දුරටත් සලකා බැලීමේදී අඳුන් ගරා, සොහොන් ගරා, පුෂ්ප ගරා, කණ ගරා, ළමා ගරා, ලවුන ගරා, වාන ගරා, තොට ගරා, නීල ගරා, කීල ගරා, දේස ගරා සහ සඳුන් ගරා ලෙසින් නම් කෙරෙන ගරා පිරිවරකි. තවත් මෙබඳු වූ වෙනස් ආකාරයේ ගරා සංකල්පයන් රාශියක් වෙයි.කෙසේ වේවා සාමාන්‍ය පිළිගැනීම අනුව ගරා යකුන් දොළොස් දෙනෙකු බවයි. ගරා යකුම පිළිබඳව තවත් බොහෝ කරුණු කාරණා සාකච්ඡා කළ යුතු නමුත් කාලය හා ඉඩකඩ සීමිත බැවින් මෙපමණකින් විවරණයන් නවතමි . ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිමි.
No comments:
Post a Comment