එකොළොස්වෙනි කොටස පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය
දෙවොල් මඩු ශාන්තිකර්මයේ ප්රධානතම සැරසිල්ල වනුයේ පත්තිනි දෙවියන් උදෙසාම ඉදිකරනු ලබන තොරන මාලිගාවයි.මෙම තොරනට දේවාභරණ වැඩමවීමට ප්රථමයෙන් සිදුකරනු ලබන පෙලපාළිය තොරන් යාගය ලෙසින් හදුන්වනු ලැබේ .මෙහිදී සිදුකරනු ලබන ක්රියාවලිය වන්නේ තොරනෙහි ආභරණ තැන්පත් කිරීම සදහා නිමවා තිබෙන යහන් කවුළුව ආවරනය වන සේ ඉදිරි පසින් ඇද තිබෙන කඩතුරාව නොහොත් තොරන්කඩය ඉවත්කර ලීමයි.මෙම පෙලපාළිය සදහාම ගොඩනැගී ඇති ශ්ලෝක ,සන්න ,සැහැලි සහ කවි ගායනාවන් නිසියාකාරව බාවිතා කරමින් මෙම ක්රියාවලිය සිදු කරනු ලැබේ .එමෙන්ම මෙහිදී ගායනයට ප්රමුඛත්වය ලබාදෙමින් නර්තන කොටස් ඉදිරිපත් කිරීම දකින්නට ලැබෙනු ඇත .තොරන ඉදිකලයුතු ආකාරය පිලිබදව මෙහි ගායනාවන් තුල විස්තර කිරීමක් අන්තර්ගතව ඇත .එම ක්රමවේදයට අනුකූලව මෙහි සැරසිලි කලයුතුයි .එනමුත් වර්තමානයේදී එම පෙන්වාදී තිබෙන රටාව පිලිබදව තැකීමක් නොකර අලංකාරයට මුල් තැන දෙමින් තොරන් සැරසිල්ල කරනු ලබන බව කිවයුතු කරුනකි .ඒ අනුව විවිධ රටාවන් අනුගමනය කරමින් තොරන් නිර්මාණය කෙරේ .මෙහිදී පාරම්පරික ක්රමවේදයට යම් කිසි හානියක් සිදුවූවද කැටයම් කලාවේ සහ නිර්මානාත්මක පැතිකඩෙහි මනා දියුණුවක් පෙන්නුම් කෙරේ .තොරන් යාගයේදී නර්තනය කරනු ලබන පද කවිතාල ලෙසින් හදුන්වනු ලැබේ .මේවා ශාස්ත්රීය කවිතාල වසයෙන් එක් කොටසක්ද වර්ග කවිතාල ලෙසින් තවත් පද කොටසක්ද වෙන්වේ.ශාස්ත්රීය කවිතාල නැටිම අනිවාර්යයෙන්ම කලයුතු මුත් වර්ග කවිතාල නැටීම අනිවාර්ය නොවේ.එසේම මෙහිදී ඉන්දීය කුල ක්රමය විදහා දැක්වීමක් ඇතුලත්ව තිබේ.රජ ,බමුණු ,වෙළඳ ,ගොවි,යනුවෙන් කුල ක්රමයක් ඇතුළත්ව තිබෙන බැවින් එය ඉන්දීය සමාජ සැකැස්මකි.මෙය ලාංකික සමාජයට අනුගත කිරීමක් බව බාවිතයේ පවතින කවි ගායනා තුලින් පැහැදිලිවේ.එමෙන්ම තොරන් පිලිබදව විග්රහයක්ද මේ තුල ඇතුළත්ව තිබේ.
Sath Pattini Dance Depanama Ganegoda Dewalaya
එහි තොරන් නාමීකරනයක් ඇතත් අද වනවිට එවැනි නම් සදහන් තොරන් දක්නට ඇත්තේ ඉතාම අල්ප ප්රමාණයකි.මෙම පෙලපාළිය සිදු කිරීමේ මුඛ්ය පරමාර්ථය වනුයේ දෙවියන්ගේ අණාභරණයන් වැඩමවීමට සුදුසු ආකාරයට තොරන්කඩය ඉවත් කර දීමයි.ඒ අනුව මෙහිදී එම කඩතුරාව ඉවත්කර දීම තුලින්ද ආතුර පක්ෂයට ආශීර්වාද කිරීම සහ තොරනෙහි ගති ස්වභාවය විස්තර කරලීමක් අඩංගුය.
තොරන් යාගයේ පෙලගැස්ම මෙසේවේ.
ශ්ලෝක සහ සන්න ගායනය
මෙයින් සිදු කෙරෙනුයේ තොරනෙහි ගති ලක්ෂණ පිලිබදව පාලි භාෂාවෙන් හෝ සංස්කෘත භාෂාවෙන් ලියවී තිබෙන විස්තර ඇතුළත් ශ්ලෝක ගායනා කර සන්නය තුලින් ශ්ලෝකයෙහි ඇතුලත් කරුනු සිංහල භාෂාවෙන් පැහැදිලිකර දීමයි.මෙහිදී ඉන්දීය කුල ක්රමය පිලිබදව විවරනයක්ද සිදුකෙරේ. එමෙන්ම කුල සතරට අයත් තොරන් පිලිබදව මෙන්ම තොරන් ගොඩනැගීය යුතු ආකාරයත් තොරන සෑදියයුතු දිග පලල පිලිබදව ගනන් මිමුන්ද ඇතුළත් විස්තරයක් ඉදිරිපත් කෙරේ.
කෙටි කවි ගායනය
මෙහිදීද ඉහත සදහන් පරිදිම තොරතුරු අඩ0ගු වේ.සන්න සහිත කෙටිකවි ගායනාවන් සිදුකරනු ලැබේ .පොදුවේ සතර කුලය පිලිබද තොරතුරු සහ සතර තොරන් පිලිබදවත් එම කුලවලට අයත් දින පරිහරණය කරන භාණ්ඩ පිලිබදව තොරතුරුත් මේතුල අන්තර්ගතව ඇත .මෙම කෙටිකවි ගායනා තුලදී කවිතාල නැටීම සිදුකෙරේ .මෙහිදී පුරාණ ක්රමවේදයට අනුව නම් ප්රධාන නර්තන ශිල්පියා නටනු ලබන පදය හැර වෙන කිසිදු පදයක් නර්තනය කිරීමට නොහැකිය .ප්රධාන නර්තන ශිල්පියා පද නටා ගැනීමට අවස්ථාව දුන් පසු තමන්ට කැමති පදයක් නර්තනය කල හැකිය.මෙන්න මේ අවස්ථාවේදී වර්ග කවිතාල නැටීමට හැකිය .මෙම පෙලපාළිය ඉතාමත් බැරෑරුම් ශාස්ත්රීය පද නර්තනය කරනු ලබන තැනකි.
එබැව්න් පුරාණ කාලයේදී මෙම පෙලපාළිය ශාස්ත්රීය දැනුම මැන බලන අවස්ථාවක් ලෙස ප්රචලිතව තිබුනි.වර්තමානයේදී එවන් තත්ව බොහෝදුරට පහව ගොස් ඇත .නමුදු මෙහිදී නර්තනය කලයුතු කවිතාල තිස්දෙකක් තිබෙන බවත් ඒවාටම වෙන්වූ කවියක් ඇති බවත් සටහන්කර තැබිය යුතුය. නැතහොත් මෙම පෙලපාළිය තුලදී නර්තනය කලයුතු පද කොපමණ තිබේද කියන කරුන ගිලිහී යනු ලබයි. මෙම කවිතාල නැටීම ආරම්භ කරන කවිතාලයක් මෙන්ම අවසන් කිරීම කරන කවිතාලයක්ද තිබේ.එම කවිතාල දෙක අතීත කාලයේ සිටම සුරල් රහිත පද දෙකක් ලෙසින් බාවිතා කරනු ලැබූ බව ප්රකටය.කවිතාල නැටීම අවසන් කරන කවිතාලය නරලොව දනෝ නැතහොත් මහකවිතාලය යන නමින් හදුන්වනු ලබයි.
තාල කවි ගායනය
මෙම කවි ගායනාවන්ට අනුකූලව අලංකාර මාත්රා නර්තනය කිරීමක් සිදුකෙරේ . මෙම කවි ගායනා තුල කුල සතර තොරන් පිලිබදව විස්තර තොරන් සැරසිලි කලයුතු ක්රමවේදය එහි ගනන් මිනුම් තොරනට අයත් සැරසිලි ක්රමවේද කැටයම් අඩංගු වියයුතු කොත් සංඛ්යාව පුදපූජාවන් කරනු ලබන පිලිවෙල ආදී තොරතුරු ඇතුළත්ව තිබේ.
තොරන්කඩය ඉවත් කිරීම (තොරන් ඇරීම)
මෙහිදී තොරන බැදීම සහ නිරාවරණය කිරීමට සම්බන්ධ කෙටිකවි ගායනාවන් සිදුකර තොරන්කඩය ඉවත්කරනු ලැබේ .ඉන් අනතුරුව ආතුර පක්ෂයට තොරන් කඩයෙන් සෙත් කර සළුවට අයත් සළු පදය නටා සියලුම යහන් වලට පාලි පදය නටා පාලිකර තොරන්කඩය තොරනෙහි තැන්පත් කර මෙම පෙලපාළිය අවසන් කෙරේ . ඉහතින් විස්තර ඇතුළත්කර තිබෙනුයේ වර්තමානයේදී තොරන් යාගය කරනු ලබන රටාවයි.අතීතයේදී පැරැන්නන් විසින් මෙම පෙලපාළිය කරනු ලැබූ ආකාරයේ යම් යම් චාරිත්ර විධි වර්තමානයේදී ගිලිහීගොස් තිබෙන බව කිවයුතු කරුනකි .එම නිසාවෙන් එවන් දැනගැනීමට ලක් කිරීම යුතුකමක් ලෙස සලකා මතු පරම්පරාව දැනුවත් කිරීම කලයුතු කාරනාවකි .අතීතයේදී තොරන් යාගය ආරම්භ කරනු ලැබුවේ "දෙවියන් වැදීම "නම් චාරිත්රය සිදුකිරීමෙනි.මෙහිදී සිදුකරනු ලැබූ ක්රමවේදය වනුයේ තොරන ඉදිරියේ බිම මාගල් එලා එහි මතුපිට සුදු පිරුවට දමා සකස්කර ගැනීමෙනි .
එසේ සූදානම් කරගෙන කපුපත්තිනි මහත්වරු පමනක් සහබාගිවීමෙන් දෙවියන් වැදීම නම් චාරිත්රය සිදුකරනු ලැබේ .මෙහිදී විශේෂිතවු ස්තෝත්ර ගායනාවක් සිදුකෙරේ .එම ගායනාව අවසන් කර දෙවියන් උදෙසා විශේෂ යහන් නමස්කාරයක් සිදුකර දෙවියන් වැදීමේ චාරිත්ර කොටස නිමකරනු ලබයි.මෙයට කිසිදු නර්තන ශිල්පියෙකු සහබාගි කරගනු නොලැබේ .එම චාරිත්රය කපුපත්තිනි වරුන්ට පමනක් අයිති දෙයකි.මෙම ක්රමවේදය සියනෑ ගුරුකුලය තුල මෑතක් වනතුරුම දකින්නට තිබුනමුත් දැනට එය අපෝවෙමින් පවතී.පානදුර තොටමුන කෝරළය තුලද මෙයට සමාන ක්රමවේදයක් වර්තමානයේද දකින්නට ඇත .මෙය ඉහතින් සදහන් කල ක්රමවේදයට තරමක් වෙනස්වූවද පරමාර්ථය සමාන බවකින් යුක්තය .එහිදී දෙවියන් උදෙසා ස්තෝත්ර කීම සිදුකරනු ලබන මුන් එය හදුන්වනු ලබන්නේ ෂඩම්ගම් කීම යනුවෙනි .මෙය ප්රධාන කපුපත්තිනි මහතා පමනක් සිදුකරනු ලබයි.එහිදී කපුමහතා බ්රාහ්මණ වේශයකට සමාන ආකාරයට සැරසී සිටී.ඉන් අනතුරුව තොරන් යාගයට අයත්වන ශ්ලෝක සන්න ගායනා කිරීමෙන් පසු කෙටිකවි ගායනය ආරම්භ කරමින් තොරන් යාගයට අදාළ කවිතාලයක් පුරාදීමෙන් පසු ප්රධාන නර්තන ශිල්පියාට පෙලපාළිය කරගෙන යාමට බාරකරනු ලැබේ .මෙහිදී සදහන් කලයුතු වැදගත් කරුනක් වනුයේ මඩු ශාන්තිකර්ම තුලදී ප්රධාන කපුපත්තිනි මහතා සියලුම පෙලපාළිවලට අයත් ගායනාවන් ආරම්භ කර දියයුතු තමන්ට හිමි රාජකාරීයක් බවයි.එසේම කපුපත්තිනි මහතාට සියලුම කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුයි .මින් අනතුරුව ඉහතින් සදහන් කල ආකාරයට කටයුතු කරගෙන යනු ලැබේ .එහිදී කවිතාල නර්තනය කිරීමේදී එම පදයම නැටිය යුතුය යන පණිවිඩය දෙනුලබන ක්රමවේදයක් තිබුනි.එයද අදවනවිට අපගෙන් ගිලිහීගොස් ඇත .එසේම කවිතාල නැටීම තුල එදා පැවති ශාස්ත්රීය ක්රමවේදය අද සමහර අවස්ථාවන් වලදී ගිලිහෙමින් යෑමකට භාජනය වෙමින් පවතී.මෙම ශාස්ත්රීය රටාව සම්ප්රදායේ ගොඩනැගීම ආරක්ෂා වියයුතු බවත් එයට අනුකූලව ප්රාසාංගිකත්වය කරා ගමන් කලයුතු බවත් ප්රකාශ කරමි .
තොරන් යාගයට භාවිතා කරන ශ්ලෝක
ගජේන්ද්ර හස්තං ක්රතපාද සිංහං
වරහක කර්ණං කද මත්ස්ය දේහං
හරාල දන්තං හනුමන්ත නේත්රං
විචිත්ර පත්රං මකරෂ්ය රූපං
බ්රහ්ම සයුරී මනෝනාදේ
කණ්ඨ කීනෝ මහේෂ්වරං
අග්නීන්ද්රෝ භූමි සංකෝච
මෙරන් තොරනේ ලක්ෂණාං
සන්නය
"බ්රහ්ම සයුරීච" කී හෙයින් අටසාලිස් ගව් පමන වියත් ඇති අටසාලිස් ගව් පමන අස්තාංගුල් ඇති හත් ගව් හමාරක් පමන දිග මිණි පතුල් ඇති දොලොස් යොදුනක් පමණ දිග දිව්ය සළුවක් ඒකාංශ කොට හැද පොරවා ගෙන එකගිල්ලෙන් දිව්ය රැසින් එක් සක්වලක් දසගිල්ලෙන් දසදහසක් සක්වලවල් ඒකාලෝක කොට බබුලුවන්නට බලසම්පන්න ඇත්තාවූ කෙල ලක්ෂ ගනන් බ්රහ්ම සේනාව පිරිවරාගෙන සෝඩසොව්යද බ්රහ්ම ලෝකයට අග්ග්රක්ශ්රේෂ්ඨ වන්නාවූ කල්පයට ආයු ඇත්තාවූ පංචශුද්ධවාසීවූ සහම්පතී නම් මහා බ්රහ්ම දිව්ය රාජෝත්තමයානන් වහන්සේගේ රන්මිණි බැදි වජ්ජ්රාසනයක් මෙන්ද.
Depanama Ganegoda dewalaya
තොරන් යාගයේ කෙටිකවි
තිනෙත ගුරු වරමි න
සතත සුරගුරු දැහැමෙ න
අමත මත සක් දු න
සතත සව්සිරි දිගා දින දි න
නොයෙක් පාලිය දැ න
ගත්තුව තොරන ඒ දැ න
එතැන් සිට පැවතෙ න
නියමදැන කී ඇදුරුවත දැ න
රජකුල කසුන්ම ය
බමුණු කුල මිණි තොරන්ම ය
වෙළද පිලියෙන් ම ය
ගොවී කුලයට රඹ තොරන් ම ය
කවිතාල නැටීමට බාවිත කරන කෙටිකවි
රජ කුලයට මොන තොරන ද
බමුණු කුලට මොන තොරන ද
වෙළඳ කුලට මොන තොරන ද
ගොවි කුලයට මොන තොරන ද
රජ කුලයට රන් තොරන යි
බමුණු කුලට මිණි තොරන යි
වෙළඳ කුලට පිලි තොරන යි
ගොවි කුලයට රඹ තොරන යි
රජ කුලයට කී දවස ද
බමුණු කුලට කී දවස ද
වෙළඳ කුලට කී දවස ද
ගොවි කුලයට කී දවස ද
මෙලෙසින් කෙටිකවි ගායනා කරමින් ශාස්ත්රීය කවිතාල පද නර්තනය කරනු ලැබේ . කවිතාල නැටීමට පෙර ඊට අදාළ අන්තාදි පද කොටසක් නටා කවිතාලය නටනු ලබයි.
අන්තාදිය
දෙගත් ගතම් //දෙගදිත ගත ගුදිතක රෙගුදක දැහිං .
ශාස්ත්රීය කවිතාල පදයක්
තත් තරි ගුදගත දිත් තරි ගුදගත තත් දිගතං
දිත් දිගතං ගදිතක දිකුදක දොං තරි තත් දිගතං (ගුද ගුද ගත් නම්)
තාල කවි ගායනය
රජ කුලයට රන් තොරනයි නව දවසක්
යාග ක ලේ
බමුණු කුලට මිණිතොරනයි සත් දවසක්
යාග ක ලේ
වෙළද කුලට පිලි තොරනයි පස් දවසක්
යාග ක ලේ
ගොවි කුලයට රඹ තොරනයි තුන් දවසක්
යාග ක ලේ
නරලොව දනෝ පැවතිය කෙලිදෙන ලෙස යා
සිරසරෝග හරිනට කල පිලිවෙල යා
වරදට නොගෙන සබයේසිටි සැම දෙන යා
නරලොව තොරන් ඇදුරෝ බැදි ලක්ෂණ යා
(මෙම ඉහත කවියට කවිතාල අවසන් කරනු ලබන කවිතාලය නොහොත් මහ කවිතාලය
නටනු ලැබේ .මතනින් පසු කිසිදු කවිතාලයක්
නටනු ලබන්නේ නැත.)
ගත් උස සත් වියත් සාගුල් සිව් අගු ලා මෙත් වට පුලුල සවියත් අගුල් තුනගු ලා
මෙත්දන බදින රඹපත තොරන සක්ව ලා
යුත් තෙද පතිනියන්හට තොරන මුල්ක ලා
තොරන්කඩය ඉවත් කිරීම (තොරන ඇරීම)
තොරන බැදි ඇදු රා
දෙරණ මිහිකත නොහැ රා
දෙවන සැප සොදු රා
තොරන දක්වාලන්ට ඇදු රා
තොරන දුටු දෝ සේ
භරන ගැලවූ විල සේ
ආතුර හට මෙ සේ
තොරන දක්වාලන්ට මෙලෙ සේ
ඈත් පෙර දවස කි
දෝස දුරහල පුවත කි
තෝත්කර ගීය කි
මේත් පත්තිනි සෙත් කිරීම කි
තොරනේ සෙත් කියමන්
..............................................
පොරන කුල නැමැති රජ කුලයට පොර න
දෙරණ කුල නැමැති සක්බඹ සුර නර න
කරන ලෙසින් සතහට පැවතුණි පොර න
කරනු රජකුලට රන්තොරන මකරි න
රන් ඔරුවක් උඩුගංතෙර පාවෙන කල
දකිමින් නේ
රන් ඔරුවේ රන් සැලියක් වසා තිබෙයි
නොලසින් නේ
රන් සැලියේ රන් අඹයක් මරක්කාලි
බිසවුන් නේ
රන් තොරනය දැකපු බලෙන් සියලු දෝස
දුරුවන් නේ
මෙසේ තොරන්කඩය අතට ගෙන ආතුර පක්ෂයට සෙත්කර සළුවට අයත් පදය නටා සියලුම යහන්වලට සළුවෙන් පාලිකර තොරන්කඩය පත්තිනි තොරනෙහි තැන්පත් කර මෙම පෙලපාළිය අවසන් කරනු ලැබේ .
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී දේශබන්දු
කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
................................................................
No comments:
Post a Comment