Tuesday, April 11, 2023

නර්තන කලාවේ ප්‍රතිභාපූර්ණ ගුරු චිත්‍රසේන

දේශමාන්‍ය කලාගුරු චිත්‍රසේනයන්ගේ ජන්ම දිනය 1921 ජනවාරි 26 වැනිදාය. “කලාවේ චූල සම්ප්‍රදායත් මහා සම්ප්‍රදායත් අතර නිරන්තර හුවමාරුවක් ඇත. සම්ප්‍රදාය ‘ප්‍රිස්මයක්’ වැනිය. ඒ තුළින් විවිධ වර්ණ මතු කරගත හැකිය. ඒ සඳහා ‘ප්‍රිස්මය’ ඒ මේ අත හැරවිය යුතුය. “ ඒ අරබයා චිත්‍රසේන ගත් ක්‍රියාමාර්ගයක් වනුයේ අපරදිග ප්‍රචලිත ආකෘතියක් වන බැලේ ආකෘතියට දේශීය නැටුම් ශෛලීන් සංයෝජනය කිරීමයි.

භාරතයේ ශිල්ප හදාරා සියරට එන සමයේ අපේ පාරම්පරික නර්තන කලාව ඉතා දිළිඳු අඩියකට වැටී තිබිණි. රට රටවලින් එදා කොළඹ ජැටියට ගොඩබසින සංචාරකයන්ට ආවැඩීමට, නුහුරු නුපුරුදු නැට්ටුවන් යොදවා ඔවුන්ට සොච්චම් මුදලක් දුන් අවදියකි ඒ. අපේ වෙස් තට්ටුව හැඳ නැටූ ශිල්පීහු රටට ගොඩබට ‘හිපියන්’ හෝටල්වලට කැන්දාගෙන ආහ. අපේ නැටුමට නිගා දෙමින් ‘කැන්ඩියන් චාචා’ නටවා අපේ පවිත්‍ර නර්තන කලාව වෙළෙඳාම් කළ යුගයකි ඒ.

මෙකල චිත්‍රසේන එළඹ සිටියේ තුංමංසලකටය. (1) සම්ප්‍රදාය රැකගෙන සිටීම (2) සම්ප්‍රදාය අමතක කොට නව නිර්මාණයකට ප්‍රවේශවීම හෝ (3) සම්ප්‍රදාය රකිමින් නව නිර්මාණ කිරීම මේ මං තුනයි. ඔහු තෝරා ගත්තේ සම්ප්‍රදාය රකිමින් නව නිර්මාණ කිරීමේ ප්‍රගතිශීලි මාර්ගයයි.

කවර හෝ ජාතියක සංස්කෘතික මූලයන් අමතක කර කරන්නා වූ නිර්මාණ නිසා ජාතියක් වියවුලට පත් වීම අනිවාර්ය බව ප්‍රකාශ වන සංස්කෘතිය පිළිබඳ යුනෙස්කෝ නිර්වචනය ගුරු චිත්‍රසේන නම් නර්තන ප්‍රාඥයා එදත් අවබෝධ කරගෙන සිටින්නට ඇත.

බටහිර ගැති චින්තනයට ගොදුරු වීම නිසා අපේ පාරම්පරික නර්තනය පමණක් නොව, පාරම්පරික සියලු කලාවන් අවමාන පරවශව සැලකීමේ ප්‍රවණතාවක්ද මෙකල මුල් බැසගෙන තිබිණි. එබැවින් චිත්‍රසේනයන් ගත් තීන්දුව විප්ලවකාරී තීන්දුවක් විය.

ශාන්තිකර්මයටත් - පෙරහරටත් ජන කලාවක් ලෙස භාවිත වූ උඩරට - පහතරට - සබරගමු නර්තන කලාවන් විනෝදාස්වාද මාර්ගයක් ලෙස සංවර්ධනය කර නූතන ‘ප්‍රොසීනියම්’ වේදිකාවට සරිලන ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ පුරෝගාමියා වූයේ ගුරු චිත්‍රසේනයන්ය.

ඉන් පෙර කලාගුරු පණීභාරත - ප්‍රේමකුමාර - වසන්ත කුමාර - ගංගානාථ - ශේෂා පලිහක්කාර වැනි නර්තනවේදීන් විසින් නර්තන වි‍ෂයෙහි ලා මූලික අත්හදා බැලීම් කර තිබිණි. එහෙත් ශේක්ස්පියර් නළුවකුව සිටි සිය පියාණන් වූ සීබට් ඩයස් මහතාගේ ඇසුරින් නාට්‍යමය ගුණයත් අල්ගම කිරිගණින ගුරුන්නාන්සේ - මුදන්නාවේ අප්පුවා සහ බැබිලගමුවේ ලපයා ගුරුන්නාන්සේ වෙතින් පාරම්පරික නර්තනයන් ද ශාන්ති නිකේතනයෙන් තාගෝර් නාට්‍ය කලාවත් ප්‍රගුණ කර බටහිර බැලේ කලාවද චිත්‍රසේන පිරිසිඳ දැන කියා ගත්තේ ය.

එම නිපුණත්වය නිසා ‘චූල සම්ප්‍රදායේ කලාවක් වූ අපේ පාරම්පරික නර්තනය ‘ප්‍රිස්මයක්’ සේ සලකා එතුළින් විවිධ වර්ණ මතුකර අපේ දේශීය නර්තනය බැලේ ආකෘතියක සංයෝජනය කර නූතන ලෝකයට ගැලපෙන මුද්‍රා නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමට චිත්‍රසේනයන්ට හැකි විය.

නර්තන කලාවට දිවි කැප කළ චිත්‍රසේන 1943 දී චිත්‍රසේන නර්තන කණ්ඩායම බිහිකර 1944 දී කොල්ලුපිටියේ කලායතනය පිහිටුවන්නේ නූතන යුගයට උචිත නූතන නර්තන කලාව පමණක් නොව ඊට අනුබද්ධ සියලු කලාවන් පිළිබඳ කතිකාවකට සුදුසු කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමිනි. චිත්‍රසේන කලායතනයේදී සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, ඩබ්ලිව්.බී.මකුලොලුව, අමරදේව, ලයනල් අල්ගම, සෝමදාස, ඇල්විටිගල, සෝමබන්ධු විද්‍යාපති ඇතුළු කලාකරුවෝ කලාව විෂයයෙහි ගැඹුරු කතිකා ගොඩනැඟූහ.

මේ නිසා චිත්‍රසේනයන්ගේ නිර්මාණ සංගීතයෙන්, චිත්‍රයෙන්, නර්තනයෙන් අග්‍රස්ථානයකට පත්විය. චිත්‍රසේන සිය කලාවේ පරිසමාප්තභාවය සෙවූ කලාකරුවෙකි. 1947 දී සිය කලායතනයට බැඳුණු වජිරා සිය ජීවන සහකාරිය කර ගැනීම චිත්‍රසේනයන්ගේ කලා කාර්යයට මහත් බලයක්ද, ශක්තියක් ද විය. කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයේදී ඇයට මුණ ගැසුණු ආනන්ද සමරකෝන්ගේ ‘කුමුදිනී’ ගීතයට වශිකෘත වූ වජිරා එය පාදක කොටගෙන අපූරු නර්තනාංගයක් නිර්මාණය කළා ය. එතැනින් ආරම්භ කළ ඇගේ නිර්මාණ චාරිකාව තවමත් සක්‍රීයව තිබීම ජාතියේ වාසනාවකි.

19 වැනි සියවස අගභාගයත් 20 සියවස මුල් භාගයත් නර්තනයේ සංක්‍රාන්ති අවධියක් ලෙස දැක්විය හැකිය. මෙය සිදුවූයේ තත්කාලීන සමාජීය හා බුද්ධිමය අවකාශයක් තුළය. දේශීය නර්තනයේ මූලයන් රඳවාගෙන බටහිර දියුණු ජගත් නර්තන කලාවන්හි විචාරවත් ආභාසය ලබා ගැනීමේදී ප්‍රඥාව තිබුණු ප්‍රථම නර්තනවේදියා වන්නේ චිත්‍රසේනයන්ය. මෙරට බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයක් නර්තනය වෙනුවෙන් නිර්මාණය කළේද ඔහුය.

ශේක්ෂ්පියර් නාට්‍ය අධ්‍යයනයෙන් සාරවත් නාට්‍යමය ගුණය නර්තනය හා සුසංයෝග කොට ප්‍රබල සන්නිවේදන මාර්ගයක් ලෙස නර්තන කලාව ප්‍රතිෂ්ඨාපනය කරන ලද්දේගුරු චිත්‍රසේනයන් විසින් බව අද අවිවාදිතය.

1936 දී චිත්‍රසේන වයස අවුරුදු 15ක ශිෂ්‍යයකු හැටියට සිය පියා වන සීබට් ඩයස් සූරින් රීගල් සිනමාහලේ රඟදැක්වූ ‘සිරිසඟබෝ’ චරිත නිරූපණයේ යෙදුණේය. ට්‍රැවන්කෝර්හි ශ්‍රී ගෝපිනාත් වෙතින් කථකලි නර්තනය හදාරා එහි රජ මාලිගයේදී ජේ.ඩී.ඒ.පෙරේරාගේ බිරිය වූ චන්ද්‍රලේඛා සමඟ නර්තනයේ යෙදුණේද ඔහුය.

එතැන් සිට ශාන්ති නිකේතනයේදී තාගෝර්තුමන්ගේ චන්ඩාලිකා නාටකයේ අනඳ හිමි චරිතය නිරූපණය කළේ තාගෝර්තුමාගේ මිනිබිරිය වූ නන්දිතා ක්‍රිපලානි සමඟය.

චිත්‍රසේන සිය කලායතනයෙන් රාමා හා සීතා (1943) විදුර (1944) ලංකා සංදර්ශනය (1948) රාවණ (1949) නල දමයන්ති (1950) චණ්ඩාලි - කුමුදිනි (1952) හිම කුමාරිය (1953) සේපාලිකා (1955) කිඳුරඟන (1956) සාම විජය (1957) වනජා (1958) කරදිය (1961) නල දමයන්ති (නව නිෂ්පාදනය) (1963) රන් කිකිළී (1965) නිර්තාංජලී(1965) ගිනි හොරා (1968) නිරාශා (1972) ෂාදි (1972) නවාංජලී (1972) අණබෙරය (1976) කිංකිනි කෝලම (1978) හපනා (1979) බෙර පූජා (1980) න‍වෝදාරංග (1981) ශිෂ්‍ය පූජා (1985) ශිවරංග (1985) න්‍යාත පූජා (1986) චංඩලිකා (1996) නිෂ්පාදන සියල්ල මෙරට නර්තන ක්ෂේත්‍රයේ වපසරිය පුළුල් කරන්නාවූ පර්යේෂණාත්මක නිර්මාණ ලෙස සැලකිය යුතුයි.

රුසියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, චෙකොස්ලොවැකියාව, කැනඩාව, බටහිර ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඩෙන්මාර්ක්, බංග්ලාදේශය ඇතුළු දේශ දේශාන්තරවල රැඟුම් පා රාජරාජ මහාමාත්‍යාදීන්ගේ ප්‍රසංශාවට ලක්වූ චිත්‍රසේන, වජිරා ප්‍රමුඛ චිත්‍රසේන කලායතනය නූතන මුද්‍රා නාට්‍ය කලාවේ කඩඉම් ඈත් කළ එකම කලායතනය වෙයි. ඉන් බිහිවුණු කීර්තිමත් ශිෂ්‍ය ශිෂයාවෝ චිත්‍රසේන දැක්ම ඇතිව කලායතන පවත්වමින් විනයගරුක ප්‍රතිභාන්විත නර්තන ශිල්පීන් බිහි කිරීමේ නියැළී සිටීම ඔහුට දක්වන උපහාරයක් ලෙස සැලකිය යුතුය.

චිත්‍රසේන - වජිරා යුවළ උපේඛා - අංජලිකා දියණින්ද තජී - හේෂ්මා - ඌමි මිණිබිරියන්ද නර්තන කලාවට පරිත්‍යාග කළ උදාර පරිත්‍යාගශීලීන් දෙදෙනෙකු ලෙස සැලකිය යුතුය. චිත්‍රසේන - වජිරා දෙපළ ජගත් මට්ටමට ගෙන යා හැකි විශිෂ්ට මුද්‍රා නාට්‍ය කලාවක් ප්‍රතිෂ්ඨාපනය කර දුන්හ. එතුමාගේ මහාර්ඝ මෙහෙවරට අද දැක්විය හැකි ලොකුම උපහාරය නම් සම්භාව්‍ය නර්තන කලාවේ සාධනීය අංග ප්‍රත්‍යංගයෙන් සමන්විත විශිෂ්ට නිර්මාණ කිරීමට නව පරපුර වඩ වඩාත් යොමු වීම පමණි.

තිලකරත්න කුරුවිට බණ්ඩාර 

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...