Friday, March 17, 2023

සූවිසි විවරණ නෘත්‍ය පූජාව

දේශීය නර්තන හා බැඳි සංගීතය  පිළිබඳ සාකච්ඡාවේ දී ගායනය ප්‍රමුඛ වේ. දේශීය නර්තනයේ භාවිත සංගීතයෙහි විවිධ නාද මාලාවන් භාවිත කරන අයුරු දක්නට වේ.වන්නම්, සව්දම්, තාලම්, කවිත්තම්, සුරල්, ශාන්තිකර්ම කවි, ශ්ලෝක, අෂ්ඨක මෙසේ විවිධ නාදමාලා අනුව ගායනා කෙරේ. සබරගමු සම්ප්‍රදායේ නව තාලයේ ග්‍රහපංති, පිරිත් හුයේ කවි, සත් සතියේ කවි, විශාලා ශාන්තියේ කවි මේ ආකාරයට විවිධ වූ නාද මාලාවන් අනුව ගායනය කරනු ලබයි. ප්‍රශස්ති, සව්දම් ආදිය ද අවස්ථානුකූල ව ඒවාට හිමි සාම්ප්‍රදායික නාද මාලාවන්ගෙන් ගායනා කෙරේ. 
 


දේශීය නර්තනය හා බැඳි ගායන ආඝාතාත්මක හා අනාඝාතාත්මක වශයෙන් වර්ග කර දැක්විය හැකි අතර මෙම ගායන දේශීය නර්තනයේ විවිධ අවස්ථාවල භාවිත වේ. පිරිත් හුයේ කවි, ආශිර්වාද කවි, අයිලය යැදීම්, මහා යාතිකාව, අනාඝාතාත්මක ගායන ලෙස භාවිත වේ.ආඝාතාත්මක ගායන ලෙස මල්‍ යහන් කවි, කෝල්මුර කවි, හත් අඩියේ කවි, වන්නම්, ප්‍රශස්ති නම් කල හැක.

පාරම්පරික කළාවක් ලෙස රැකගෙන ආ සූවිසි විවරණ කළාව
 
 
දේශීය නර්තනයේ භාවිත ගායන තාලය, හා රිද්මය ඇසුරු කරගන්නා අතර සංගීතාත්මක බවින් පිරිපුන් ය. විශේෂයෙන් සබරගමු සම්ප්‍රදායේ භාවිත ගායන උච්ච, මධ්‍ය හා මන්ද්‍ර ස්වරස්ථානයන්හි  පිහිටුවා ගායනය කරයි. නිදසුන් වශයෙන් සේරා වන්නම, නාග ගජගා වන්නම, මාත්‍රා 5 ගායනා දැක්විය හැකිය.
 
 ~ සූවිසි විවරණ නෘත්‍ය පූජා මංගල්‍යය  ~
Suvisi Wiwarana Pooja Department Of Cultural Affairs

එසේම ශාන්තිකර්මයක දී ගයනු ලබන ගායන විවිධ චන්දස් අලංකරන විරිත් ඇසුරු කර ගොඩ නැඟී පවතී. අඹ හැල විරිත, මාලනී විරිත, සමුද්‍රඝෝශ විරිත, සූවිසි මත් විරිත මීට උදාහරණ වේ. පහතරට සිංදු වන්නම් විශේෂයෙන් මෙම විරිත් ලක්ෂණ පදනම් කර ගොඩ නැඟී ඇත.

දේශීය නර්තනය හා බැඳි සංගීත පද්ධතියේ සෑම නර්තන අංගයක්ම කිසියම් වූ තාල රූප පද්ධතියක් මත ගොඩනැඟී පැවතීම විශේෂ වේ. ඒ අනුව තනි තිත, දෙතිත, තුන්තිත, සිව් තිත, පස්තිත ට අමතරව අප්‍රචලිත තිත් රූප පද්ධතියක් තුළ නර්තනාංග ගොඩ නැඟී ඇත. එකම නර්තනය තුළ වුවද තාල රූප කීපයක් කැටිව පැවතීම විශේෂ ලක්ෂණයකි.
 
දේශීය නර්තනය හා බැඳි සංගීත පද්ධතියෙන් වාදනය සුවිශේෂී කොට වැදගත් වන අතර මේ සඳහා ඒ ඒ සම්ප්‍රදායානුකූලව වාද්‍ය භාණ්ඩ යොදා ගනී. උඩරට සම්ප්‍රදායේ ගැටබෙරය ද, පහතරට සම්ප්‍රදායේ දෙවොල් බෙරය ද, සබරගමුවේ දවුල ද වශයෙන් යොදා ගන්නා අතර සූවිසි විවරණ, සත් සතිය ආදියට උඩැක්කිය හා පන්තේරුව භාවිත කරයි. ඌව, නුවර කලාවිය, සබරගමුව ප්‍රදේශයන්හි උඩැක්කි ද ශාන්තිකර්මවල දී වාදන භාණ්ඩයක් ලෙස භාවිත කෙරේ. මෙම වාද්‍ය භාණඩයන් හා බැඳි මූලික බීජාක්ෂර හා ගර්භාක්ෂරයන්ගෙන් සුසැදි බෙර පද සමූහයක් වාදන පද කොටස් භාවිතයේ පවතී. සෑම නර්තනයක් සඳහා ම ඊට නියමිත වූ බෙර පද, පද කොටස්, තාල රූප, සංගීතය වශයෙන් භාවිත කරනු ලැබේ. මීට අමතරව තාල වාද්‍ය ලෙස තාලම්පට, අත්මිණිය, පන්තේරුව, රහු, ගිගිරි වළලු භාවිත කරයි. බලි ශාන්තිකර්මයේ ගායනයන් හි සංගීතාත්මක බව ප්‍රබල ලෙස ඉස්මතු වනුයේ අත්මිණියෙන් නැගෙන මිහිරි නාදයෙනි. ඊට අමතරව කෝළම් නැටුම් සඳහා ද සුශිර වාද්‍ය භාණඩයක් ලෙස හොරණෑව භාවිතයට ගැනේ. මේ අනුව දේශීය නර්තන කලාව දේශීය ජන සංගීතයෙන් ප්‍රබල පෝෂණයක් ලබා ඇති බැව් ප්‍රත්‍යක්ෂ ය. 
 
 The Suvisi Wiwarana Pooja Dance was held at the National Art Gallery 2023

සුවිසි ගුණ වන්දනාව සුවිසි මහා ගුණය සුවිසි ගුණ අනිසංසය

ශ්‍රීමත් සම්මා සම්බුද්ධ ශාසනයක තිඛෙන උතුම්ම ගුණය තනුරුවන්ගේ සූවිසි මහා ගුණයයි. සම්මා සම්බුද්ධ ශාසන කාලය තුළ පමණක් විද්‍යමාන වන උතුම් ගුණයකි මෙය ලෝකයේ කල්ප කෝටි ගණනකින් පහළ වෙන උතුම් වස්තුවකි. නියත විවරණ ලබා ගත් බෝසතාණන්වහන්සේලා වූවද, ප්‍රඥාවෙන් අධිකනම් සාරාසංඛ්‍ය කල්ප ලක‍ෂයක් ද, ශ්‍රද්ධාව අධික නම් අටා සංඛ්‍ය කල්ප ලක‍ෂයක්ද, වීර්ය අධිකනම්, සොළොසා සංඛ්‍ය කල්ප ලක‍ෂයක් වැනි අති දීර්ඝ කාලයකින් ලෝකයේ බෝසතාණන්වහන්සේ නමක් ලොවුතුරා බුදු පදවියට පත් වීමෙන් අනතුරුවයි තුණුරුවන් ලෝකයට පත්වන්නේ, නියත විවරණ ලබන්නට ඉහත අති දීර්ඝ කාලයක් අනියත වශයෙන්ම පාරමි දම් පිරිය යුතුය. එවැනි කාල පරිච්ඡේදයක් ගැන සිතන විට කාලය ගැන අපට සීමා කළ නොහැකිය.

ශ්‍රී ලාංකේය ජනප්‍රිය බුදුසමය හා සූවිසි විවරණ සම්ප්‍රදාය
 
සූවිසි විවරණ අප සාහිත්‍යයේ ඉතා වැදගත් තැනක් හිමිකර ගන්නා ලේඛනයකි. හේතු කිහිපයක් නිසා මෙම විග්‍රහය වැදගත් වෙයි. පළමුව බුදු කෙනෙකුන් ලොව පහළ වන්නේ කවර තරම් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් ද යන්න වටහා ගන්නට ඉඩ ලැබෙන අවස්ථාවකි. විශේෂයෙන් බුද්ධවංශ වර්ණනාව ඇසීම ඉපැරණි සමාජයේ ආදර ගෞරව සහිතව සිදු කර තිබෙයි. ඊට හේතුව පැරණි ජන සමාජයෙහි පැවති ශ්‍රද්ධා භක්ති පූර්වක ආකල්පයයි. දෙවැන්න බුදු කෙනෙකුගේ ඉතිහාසය විමසීම තත්කාලීන සමාජයට ප්‍රායෝගික වශයෙන් ද ඉතා වැදගත් විය. එනම් එයින් ලැබෙන පූර්වාදර්ශයයි. උත්තම පදවියක් ලැබීම අහම්බයක් විය නොහැකි බව පෙන්වා දීමයි. එනම් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපිරිය යුතු බවයි. සුදුසුකම් ලබන්නට වෙර වීරිය දැරිය යුතු බවයි. කිසියම් ප්‍රතිපදාවක නිරත විය යුතු බවයි.
 
පූජාවලියේ තුන්වැනි පරිච්ඡේදයේ එන සූවිසි විවරණ පිළිබඳ විග්‍රහය
 
අප ගෞතම මුනිදුන් අතීත බුදුවරුන් විසි හතර දෙනකු වෙතින් බුදු වීම පිණිස ලද අවසරයයි. අනුව පූජාවලී කතුවර බුදුපුත් යතිවරයන් වහන්සේ තත්කාලීන සමාජයට බුදුන්ගේ ඉතිහාසය මහත් අභිරුචියෙන් ඉදිරිපත් කළ අයුරු පූජාවලී තෙවැනි පරිච්ඡේදය පුරා දැකිය හැකිය. එය හැඳින්වෙන්නේ සූවිසි විවරණ නමිනි. සූවිසි විවරණ පූජාකර්මයක් ලෙස පසුකාලීනව වැඩුණු ආකාරයක් ද දැකිය හැකිය. පාරම්පරික උඩරට නාට්‍ය සම්ප්‍රදායට අයත් සූවිසි විවරණ නෘත්‍ය පූජාව නමින් එය අදත් නර්තන කලාව විෂයෙහි හමු වෙයි. එය මුළු රැයක් පුරා සිදු කෙරෙන ශාන්තිකර්මයකි. එයින් ආශිර්වාද ලැබීමට සමාජය හුරු පුරුදු වූ අයුරු එයින් පෙනේ. මේ හැර සූවිසි විවරණ කවි නමින් ජනප්‍රිය වූ සාහිත්‍යයක් ද අප සතු වෙයි. උසස් විභාග සඳහා පවා මේවා නිර්දේශව පවතී. මහාචාර්ය මුදියන්සේ දිසානායක දක්වන්නේ මෙම සූවිසි කවි ගායනා උඩරට විහාර ආශ්‍රිතව පන්තේරු නැටුමේදී ඉදිරිපත් වන බවයි.

මෙවැනි සූවිසි විවරණ සිවුපද කවි ගායනා නර්තන ශිල්පීන් ශබ්ද නගා ගායනා කිරීමෙන් ශ්‍රාවකයාගේ කන් බැතියෙන් පිනා යන්නට සමත් වෙයි. නුවර යුගයෙන් පසු දහම් දෙසීමේ ජනප්‍රිය ක්‍රම ඇරඹෙන අතර එහිදී සූවිසි විවරණය ද ප්‍රාසාංගික බණක් බවට පත්ව තිබේ. චිත්‍ර කලාව තුළ ද සූවිසි විවරණ ජනප්‍රිය වූ අයුරු පෙනෙන්නේ විහාර චිත්‍ර කලාවේදීය. විහාර බිතු සිතුවම් අතර බොහෝ සේ සූවිසි විවරණ දැකිය හැකිය.

මේ සියල්ලට වස්තු විෂය වූයේ පූජාවලි විවරණයයි. එය හැඳින්වෙන්නේ විවරණ මඟුල් පූජා නමිනි. පළමු විවරණය දීපංකර බුදුන්ගෙන් ලද විවරණයයි. මෙය බොහෝ දෙනා දන්නා ජනප්‍රිය විවරණයයි. එතැන බෝසතුන් සුමේධ තාපස වීය. කොංඩඤ්ඤ බුදුන් හමුවේ විජිතාවී නම් සක්විති රජෙකුව ද, මංගල බුදුන් හමුවෙහි සුරුචි නම් බමුණෙකුව ද, සුමන බුදුන් හමුවෙහි අතුල නම් නා රජෙකුව ද, රේවත බුදුන් හමුවෙහි අතිදේව නම් බමුණෙකුව ද, සෝභිත බුදුන් හමුවෙහි සුජාත නම් බමුණෙකුව ද, අනෝමදස්සී බුදුන් හමුවෙහි යක්ෂයෙකුව ද, පදුම බුදුන් හමුවෙහි සිංහ රාජයෙකුව ද, නාරද බුදුන් හමුවෙහි තාපසයෙකුව ද විවරණ ලද අයුරු කියා තිබෙයි.

එමෙන්ම පදුමුත්තර බුදුන් හමුවෙහි ජටිලයෙකුව ද, සුමේධ බුදුන් හමුවෙහි උත්තර නම් ශ්‍රාවකයකුව ද, සුජාත බුදුන් ළඟ සක්විති රජකුවද, පියදස්සී බුදුන් හමුවෙහි බමු‍ණකුව ද අත්ථදස්සී බුදුන් හමුවෙහි සූසීම නම් ජටිලයකුව ද, ධම්මදස්සී බුදුන් හමුවෙහි පුරින්ද නම් සක් දෙවිඳුව ද, තිස්ස බුදුන් හමුවෙහි සුජාත නම් රජකුව ද, ඵුස්ස බුදුන් හමුවෙහි විජිතාවි නම් රජකුව ද, විපස්සී බුදුන් හමුවෙහි අතුල නම් නා රජකුව ද, සිඛී බුදුන් හමුවෙහි අරින්දව නම් නා රජකුව ද, වෙස්සභූ බුදුන් හමුවෙහි සුදස්සන නම් රජකුව ද, කුකුසඳ බුදුන් හමුවෙහි ඛේම නම් නා රජකුව ද, කෝණාගමන නම් බුදුන් හමුවෙහි පබ්බ නම් රජකුව ද කාශ්‍යප බුදුන් හමුවෙහි ජෝතිපාල නම් මානවකයකු වද විවරණ ලබා තිබේ.

සැබැවින්ම මෙය ඉතා සවිස්තරාත්මක විවරණයකි. පූජාවලියෙහි තරම් රසවත්ව පැහැදිලිව සහ විස්තර සහිතව සූවිසි විවරණය ඉදිරිපත් කළ වෙනත් සම්භාව්‍ය කෘතියක් බුද්ධවංශ වර්ණනාව හැර නොමැත. මේ නිසා‍ මෙය හොඳම මූලාශ්‍රයයි. කතුවරයා විවරණය අවසන් කරන්නේ මෙසේයි. 
 


 
මෙසේ මාගේ බුදුහු තමන් සසර පළමුවන විවරණ ලදින් පාරමිතා භූමියෙහි ඇවිදිනා සමයෙහි හැම බුදුන් නොවරදවා දැක දානාදි පරිත්‍යාග කොට බුදුබව පතා විවරණ ලදින් මේ සූවිසි විවරණ පූජාව කොට තමන් වහන්සේ අතින් බණ අසා අපි නිවන් දකුම්හයි ප්‍රාර්ථනා කළ සූවිසි අසංඛ්‍යයක් සතුන් ධර්මයෙන් අමාමහ නිවන් දක්වා යනුවෙනි. එම සූවිසි අසංඛ්‍යයක් සතුන් අතරට ඔබ මම හසු නොවීමෙන් අපි තවමත් සසරේ නිදැල්ලේ යන්නෙමු. මේ පූජාවලී සූවිසි විවරණය සුවහසක් දෙනා හට පහන් සංවේගය පිණිසම වේවා.!


සද්ධර්මරත්නාවලීයේ එන සූවිසි විවරණ පිළිබඳ විග්‍රහය

සද්ධර්මරත්නාවලීකාර ධර්මසේන යතිවරයාණෝ මෙම මහා ධර්ම ප්‍රබන්ධය අරඹන්නට සූවිසි විවරණ කථා පුවත් කෘතිය ආරම්භයෙහිම යෙදූහ. එහි ඉතාම රමණීය වර්ණනා අන්තර්ගත බැවින් ද බොහෝ දෙනා සද්ධර්මරත්නාවලියෙහි කතා පුවත් මිස ආරම්භක සූවිසි විවරණ වර්ණනාව පිළිබඳ අවධානය යොමු නොවන හෙයින් මෙහිදී ඒ පිළිබඳ අප පාඨකයා දැනුවත් කරලීමේ වැදගත්කම අපි දකිමු. සූවිසි විවරණය ඇරඹෙන්නේ මෙසේ ය.

“අප තිලෝගුරු බුදුහු මෙයින් සාරසැකි කප් සුවහස් මතුයෙහි දඹදිව අමරවතී නම් නුවර කුමාරවැ ඉපිද බොහෝ වූ ධන ධාන්‍ය සම්පත්තීන් සමබද්ධව උගත මනා ශිල්ප ඉගෙන මාපිය දෙදෙනාගේ අයාමෙන්...

යනාදී ලෙසින් අරඹා අනතුරුව දක්වන්නේ අහෝ අපගේ දෙමවුපියන් මෙතෙක් වස්තු උපයා ... බැඳි මීයෙන් කිසිවකුත් නොගෙන යන මීමැස්සන් මෙන් මියැ පරලොව යන්නාහු වස්සක් පමණ නොගෙන ගිය හ, යනුවෙනි. ඉතා අලංකාර උපමාවකින් කතුවරයා දක්වන්නේ සුමේධ තාපසයන් ගිහි දිවියේ සම්පත් කෙරෙහි ඇති කරගත් කලකිරීම පිළිබඳවයි. විශේෂයෙන් ‘මීමැස්සාගේ උපමාව’ කෙතරම් ප්‍රබල දැයි කල්පනා කිරීම වටී. මී වද බදින මී මැස්සන් ලොව සියලු සාරය එහි ඒකර‍ාශි කොට ඒවායින් අංශුවක් හෝ තමන්ගේ පැවැත්මට යොදා නොගන්නා සේ අඥානයෝ ජීවිත කාලය පුරා ධනය එක්රැස් කර තබා එයින් මස්සක් හෝ නොරැගෙන ම මරණයට පත්වෙති.

සුමේධ තවුසන් කල්පනා කරන්නේ මේ වස්තුව දාන විෂයෙහි පරිත්‍යාග කිරීම් වශයෙන් ලබන්නා වූ කුසලය ම වැදගත් වන බවයි. සුමේධ තාපසතුමන් තමන්ට දෙමාපියන් වෙතින් ලද වස්තුව දාන විෂයයෙහි යෙදූ අයුරු සද්ධර්මරත්නාවලී කතුවරයා දක්වන්නේ රසබර උපමාවලියකිනි. 
 


“භෙරිනාද නමැති සුවඳින් රැස් වූ යාචක ජන නමැති බමරුන් දාන නමැති රොනින් සතපවා එසේ දීත් වස්තුව නොතිබෙන කලට ඉතිරිය අතපුරා සිත පුරා හැර යනුව’ යි විධාන කොට” යනුවෙනි. මෙසේ සියල්ල දන්දී තවුස්දම් සපුරමින් කල් ගෙවන සුමේධ තාපස තෙමේ දීපංකර බුදුහිමියන් හමුවේ නියත විවරණය ලද ආකාරය කතුවරයාගේ අලංකාර වර්ණනාවට ලක් වෙයි. දීපංකර බුදුහිමියන් වටනා මග පිළිසකර කරන පිරිසක් දුටු සුමේධ තවුසා එතැනට පැමිණ සිතුවේ මෙසේ ය.

“මං ඉදි කිරීමට සහාය වීමටත් වඩා කුසල් නමැති බිජුවට වපුරන්ට තුනුරුවන් නමැති කෙත විනා අනෙක් කෙතක් නැති බැවින් කරන්නට සිතන කුසලයට කෙත් වූ මංපෙත් ඉල්ලාගෙන” යනුවෙන් කුසල් මං පෙතට ඉවහල් වන මං පෙත් සැකසීම ඉල්ලා එහි කටයුතු ඇරැඹීය. එහෙත් බුදුන් වඩනා මග අවසන් කර ගත නොහැකි වූ විට කලල මඩෙහි අතුළ දොඹ මල් ඇතිරිල්ලක් සේ මුහුණින් වැඳ වැඩ සිටියහ. ඔහුගේ මතු බුදු වන පිං මහිමය දුටු දීපංකර බුදු හිමියෝ තවුසාගේ එම අරමුණ සාක්ෂාත් කරලීම පිණිස ඔහුගේ ශරීරය මතින් මඩ නොගෑවී එතෙර වූ සේක. එසේ එතෙර වූ දීපංකර බුදු හිමියෝ මෙසේ නියත විවරණ දී වදාළහ.

“මොහු බුදුවන ජාතියෙහි උපදනා නුවර කිඹුල්වත් නම් නුවර ය. මුන්ගේ මෑණියෝ මහාමායා බිසෝ ය. පියාණෝ සුදොවුන් මහාරජාණෝ ය. මූ තුමු ගෞතම නම් හ. සැරියුත්ය මුගලන්ය යන තෙර සඟළෙක් අග සවු වෙති. ආනන්ද නම් තෙර කෙනෙක් අග්‍ර උපස්ථායක වෙති. ඛේමාවෝය උත්පලවණ්ණාවෝය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍රශ්‍රාවිකා වෙති. බෝධි වන්නේ ඇසතු ගසෙක” යනාදීන් විවරණ ලද අයුරු ධර්මසේන හිමියෝ ලියා තිබෙති.

දීපංකර බුදුන්ගෙන් කල්ප අසංඛ්‍යයක් ගිය පසු කොණ්ඩඤ්ඤ බුදුහු ලොව පහළ වෙති. එකල බෝසත්හු විජිතාවි නම් සක්විති රජව විවරණ ලබති. අනතුරුව මංගල නම් බුදුන් වෙතින් සුරුචි නම් බ්‍රාහ්මණට ඉපිද විවරණ ලද අතර අනතුරුව සුමන නම් බුදුන් වෙතින් අතුල නම් දිව්‍ය නාගව ඉපිද විවරණ ලද බව කතුවරයාණෝ දක්වති. අනතුරුව බුදුවන්නේ රේවත නම් බුදු කෙනෙකි. එකල අප බෝසතාණන් වහන්සේ අතිදේව නම් බ්‍රාහ්මණයෙකුව ඉපිද නියත විවරණ ලද බවත්, පිළිවෙළින් සෝභිත බුදුන්ගෙන් සුජාත නම් බ්‍රාහ්මණව ද, අනෝමදස්සී බුදුන් කල යක් සෙනෙවියකුව ද, පදුම නම් බුදුන් හමුවෙහි සිංහයකුව ද, නාරද නම් බුදුන් හමුවේ තාපසයෙක්ව ද, පදුමුත්තර බුදුන් හමුවෙහි ජටිල නම් තාපසයකුව ද, සුමේධ බුදුන් හමුවේ උත්තර නම් ළදරුවෙකුට ද සුජාත නම් බුදුන් හමුවෙහි සක්විති රජෙකුව ද, පියදස්සී බුදුන් හමුවෙහි කාශ්‍යප නම් බ්‍රාහ්මණයකුව ද, අත්ථදස්සී බුදුන් හමුවෙහි සුසීම නම් බ්‍රාහ්මණව ද, දම්මදස්සී බුදුන් හමුවෙහි සක්දෙවිඳුව ද, සිද්ධාර්ථ බුදුන් හමුවෙහි මංගල නම් බ්‍රාහ්මණව ද, තිස්ස බුදුන් හමුවෙහි සුජාත නම් රජව ද, ඵුස්ස බුදුන් හමුවෙහි විජිතාවි නම් රජව ද, විපස්සී බුදුන් හමුවෙහි අතුල නම් දිව්‍ය නාග රාජව ද, සිඛී නම් බුදුන් හමුවෙහි අරින්දව නම් රජව ද, වෙස්සභු බුදුන් හමුවෙහි සුදර්ශන නම් රජව ද, කකුසඳ නම් බුදුන් හමුවෙහි ඛේම නම් රජව ද, කෝනාගමන බුදුන් හමුවෙහි පර්වත නම් රජව ද, කාශ්‍යප නම් බුදුන් හමුවෙහි ජෝතිපාල නම් බ්‍රාහ්මණව විවරණ ලද අයුරු ඉතා චමත්කාර වර්ණනා ඔස්සේ ධර්මසේන හිමියෝ ඉදිරිපත් කරති.

අවසන් වරට විවරණ ලද කාශ්‍යප බුදුහිමියන් පිළිබඳ කළ වර්ණනාව මෙසේ ය.

“සත්වයන්ගේ ඇස් තමා කරා නම්වන්නාක් මෙන් ද, ගස් කොළ අත් පොලඹවන්නාක් මෙන්ද, ගොසින් නුග බෝධිය මධ්‍ය කොටලා බෝධි ගෙයක් ව පිහිටා සිටීය. කැටිව ගියවුන්ගේ ගෑනු මිනිසුන් හැර සෙස්සවුන් සමඟ මහණ වූ දැය. නළු ගෑනුන් මාලිගාවෙන් බැසපියා හමු සමාරක් විතර පලා ගොසින් රදා හුන්හ.”

සෑම බුදු කෙනෙකුන් පිළිබඳවම මෙවැනි වර්ණනා මෙහි ඇතුළත් වෙයි. දෙව් ලොවින් චුතව දඹදිව කවර නගරයක කවර දෙමාපියන් හමුවේ ඉපිද අභිනිෂ්ක්‍රමණය කොට බුදු ව‍ූ ආකාරය පිළිබඳ කරන විවරණය බොහෝ දෙනාට බොහෝ දැනුම් සම්භාරයක් සලසා දෙයි. සූවිසි විවරණය අවසන් කරන්නේ ‘ස‍ූ විස්සක් පමණ බුදුවරුන් වහන්සේගෙන් විවරණ ලදින් සමතිස් පැරුම් පුරා වෙසතුරු අත්බැව්හි සිට.....” යනුවෙනි. මේ අනුව සද්ධර්මරත්නාවලී කතා කරුවා එක්වරම කතා විවරණයට නොගොස් සූවිසි විවරණයට මග පාදා ගැනීම තුළින් ශ්‍රේෂ්ඨ කෘතියක් බවට මෙය පත් කර ගෙන තිබෙයි.
 
මේ සද්ධර්මරත්නාවලී සූවිසි විවරණය සුවහසක් දෙනා හට පහන් සංවේගය පිණිසම වේවා.! 

පන්තේරු කවි ගායනා සහ සූවිසි විවරණ කවි ගායනා

සූවිසි ප්‍රත්‍ය
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදු වීමට පෙර ලැබූ සූවිසි විවරණ
ශුද්ධ මාත්‍රා නර්ථනය

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...