විසිහතරවෙනි කොටස
පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සවිස්තරාත්මක විග්රහය
දෙවොල් මඩු ශාන්තිකර්මයේදී නාට්යමය පෙළපාලියක් ලෙසින් රගදක්වනු ලබන තවත් පූජාවිධි අංගයක් ලෙසින් මෙම පෙළපාලිය නම් කල හැකිය.මේමගින් ඉදිරිපත් කරනු ලබන්නේ කන්නගියගේ ස්වාමිපුරුෂයා වන කෝවලන් (පාලග) පඩිරට රජු විසින් තම බිසවගේ පා සළඹ සොරා ගන්නාලද සොරා ලෙසින් නම්කර මරණයට පත් කිරීමෙන් පසු කෝවලන්ට යලි පණ ඉපැද්දවීමේ කතා පුවතයි.මෙහිදී සක් රජු උපකාර කිරීමක් පිලිබදවත් කන්නගියගේ තිබූ පතිවෘත්තාංග සීලය ආරක්ෂා කිරීමේ බලයේ මහිමයත් පිලිබදව බල පරාක්රමය විදහාපෑමක් පිලිඹිබු කෙරේ.එසේම කන්නගිය දේවත්වයට පත්වීමත් මෙම සිදුවීම සමගින් බද්ධව පවතින බව යාග සාහිත්යයට අනුව ඇතුළත්ව තිබේ.
මෙම කන්නගී කෝවලන් කතා පුවත ඇතුළත් ග්රන්ථය වනුයේ සීලප්පදිකාරමයි. මෙම ග්රන්ථය ජීවමාන කතා පුවතක් පාදක කරගනිමින් ලියා ඇත.මෙහි කතෘ වනුයේ ඉලංගෝ ආඩිගල් නම් සාධු වරයායි.මෙම කෘතිය දකුණු ඉන්දියාවේ සංගම් යුගයට අයත්වේ.එසේම මෙහි කතෘ දෙවොල් මඩු ශාන්තිකර්මයේ පුරාවෘත්තයට සම්බන්ධ සෙන්ගුට්ටුවාන් රජුගේ (සේරමාන්) බාල සහෝදරයායි.මෙම සීලප්පදිකාරම් ග්රන්ථය ද්රවිඩ භාෂාවෙන් ලියවූවකි.සිංහලට අමරකෝන්ගම දසනායක මහතා පරිවර්තනය කර ඇත .එසේම පත්තිනි කතා පුවතෙහි ප්රබල අවස්ථාවක් මරා ඉපැද්දවීම තුලින් පිලිඹිබුවේ. මෙම සළඹ කතාවේ සාරාංශ ගත හැදින්වීමක් ඉදිරිපත් කිරීම තුලින් ඔබට මෙහි අන්තර්ගතය පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බව මාගේ අදහස බැවින් එය ඉදිරිපත් කරමි.
සොලී රටෙහි (චෝල)කාවේරි නදියෙහි ගං මෝය අසල කාවේරි පට්ටනම් වෙළඳ නගර යෙහි සිටි මාසත්තුවාන්, සහ මානායක යන ධනවත් වෙළඳ සිටුවරුන් දෙදෙනාගේ දරුවන් දෙදෙනා වන කෝවලන් සහ කන්නගිය විවාහ කරදීම සිදුවිය.මෙම විවාහයෙන් ටික කලකට පසුව කෝවලන් හට මාධවී නම් නාට්යාංගනාව මුනගැසේ.ඇය සමග හිත්වත්වී ඇගේ පහස වෙනුවෙන් තම සියලු ධනය වියදම් කිරිමෙන් ඔහු දිළින්දෙකු බවට පත්වේ.තම බිරිඳ ගැන පවා කිසිදු තැකීමක් නොකිරීමෙන් කන්නගිය ඉතාම දුකසේ කාලය ගත්කිරීමෙන් අනතුරුව කෝවලන් තම සියලු ධනය නැති වූවාට පසු කන්නගිය කරා පැමිනේ.සියලු වැරැදි තේරුම් ගෙන නැවත වෙළෙඳාමක් කිරීමෙන් තමන්ගේ දිවිය සරිකර ගැනීමේ චේතනාව ඇතිව දෙදෙනා පාඩි රටට පැමිනේ.එහිදි කන්නගියගේ එක් පා සළඹක් කෝවලන්ටදී එය විකුණා වෙළෙඳාම කිරීමට මුදල් සොයාගන්නා ලෙස පවසයි.එම කාලයේ පඩි රජුගේ බිසවගේ පා සළඹ නැතිවී තිබුනි.කෝවලන් පා සළඹ විකිණීමට ගියවිට පඩි බිසවගේ පා සළඹට සමාන බැවින් එය සොරාගන්නා ලදැයි චෝදනා නගා කිසිදු වග විබාගයකින් තොරව ඔහුව මරණයට පත් කරයි.මෙහිදී තම ස්වාමියාට වන් විපත දැන ගත් කන්නගිය පඩි රජුගේ මාලිගාවට ගොස් තම ස්වාමියාගෙ නිර්දෝෂී බාවය ඔප්පුකර රජ මාළිගාවත් පඩි නුවරත් ගිනිබත් කර තමන්ගේ ස්වාමියාට නැවත ජීවය ලබාදීමේ කතා පුවත මරා ඉපැද්දවීම තුලින් පෙන්නුම් කරයි.මියගිය තම ස්වාමියාට ජීවය ලබාදීමේ ක්රියාවලිය නාට්යානුසාරයෙන් රගදක්වා පෙන්වීම මෙම පෙළපාලිය තුලින් ඉදිරිපත් කෙරේ .
අතීතයේදී මරා ඉපැද්දවීම පෙළපාලිය දෙසත් වර්තමානයේ මරා ඉපැද්දවීම දෙසත් බැලීමේදී තරමක වෙනස්වීම් වලින් යුක්තව අද වනවිට ඉදිරිපත් කරනු ලබන බවක් පෙන්නුම් කෙරේ .සියනෑ ගුරුකුලයේ මෙම පෙළපාලිය එකල රග දැක්වූ ආකාරය මඩු ශාන්තිකර්ම වලට සහභාගිත්වයෙන් දුටුව පුද්ගලයකු වශයෙන් මෙලෙස සදහන් කරමි.එකලදී මෙම පෙළපාලිය රග දැක්වූ ආකාරය මතු පරපුරේ දැනගැනීමට මෙලෙස සදහන් කර තබමි.
සියනෑ කෝරළයේ අතීතයේදී රග දක්වනු ලැබූ මරා ඉපැද්දවීමේ කතා පුවත ගීත නාට්ය ස්වරූපයක් ඉසිලීය .එනම් මෙම පත්තිනි කතා පුවත පිලිබදව කවි ගායනාවන් සිදුකරමින් එයට අයත් චරිතයන් රගපෑමයි.මෙහිදී කතාවේ අන්තර්ගතයට හානියක් නොවන්නට අවස්ථානුකූලව දෙබස් බාවිතා කරමින් අදාල චරිතයේ ගති ස්වභාවය ගොඩ නැගීම සිදුවිය . මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු වනුයේ බාවිතා කරනු ලබන දෙබස් වර්තමානයේ රග දක්වනු ලබන නාට්යක බාවිතා කරන පිටපතක් සහිත ලිඛිත සටහනක් නොතිබීමයි .එනමුදු අදාල චරිතයන්ට අදාල ජවනිකාවට ගැලපෙන ආකාරයට මෙම ශිල්පීන් තම හැකියාව මනා ලෙසින් ප්රයෝජනයට ගනිමින් දෙබස් බාවිතා කරමින් අදාල චරිතය ගොඩනැංවීමේ කුසලතා පුදුම සහගතය.එසේම මෙකල සිටි ශිල්පීන් මෙම කතාංගයට අදාලව තිබෙන සුළු චරිත පවා රග දැක්වීමට උත්සුකවීමයි.අද මෙන් සීමිත චරිතයන්ට සීමා නොවීම තුලින් කතාවේ ජීවය ලබාදීමේ උත්සාහය ඉතා වටිනාකමක් ඉසිලීමයි.එම හේතුව තුලින් නරඹන පිරිස තමන් කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට එම ශිල්පීන් දක්ෂතා වලින් පරිපූර්ණත්වයට පත්වී සිටියහ .මේ ආකාරයට රගදක්වනු ලැබු මෙම පෙළපාලිය පඩි රජුගේ රාජ සභාවේ සිට පාලග උපද්දවා (මරා උපද්දවා) කන්නගිය දේවත්වයට පත්වීම දක්වා කතාව පෙන්වීම කලහ.මෙහිදී එකල ශිල්පීන් මෙය කතාව නටනවා ලෙසින් ව්යවහාර කලහ.
මෙම කතාවට පාදක වනුයේ පාඩි රටෙහි නුවර වන"මන්තාරි"නගරයයි.
--------------------------------
එසේම එකල පඩි රටෙහි පාලකයා ලෙසින් සිටියේ "නෙදුන් චේලියන් "නම් පඩිරජුයි.
------------------------------------------------------
එමෙන්ම පාලග නොහොත් කෝවලන් මැරීමට
හේතු වනුයේ පඩි රජුගේ බිසවුන් වහන්සේ වන"පන්ජා රැජිණගේ"පාසළඹ නැතිවීමයි.
--------------------------------------------------------------
මේ අනුව මරා ඉපැද්දවීම කතාංගය නිසියාකාර අතීතයේදී ශිල්පීන් රගදක්වනු ලැබු බවත් එහි පෙලගැස්ම පහතින් සදහන් ආකාරයට බවත් සටහන් කරමි.
*අතීතයේදී සියනෑ ගුරුකුලයේ මරා ඉපැද්දවීම සිදුකරනු ලැබු ආකාරය (අවස්ථා පෙලගැස්ම.)
=====================================
*කෝවලන් කන්නගියගේ පාසළඹ විකිණීමට
මධුරාවට යාම
*මධුරාවේදී රාජකීය රන්කරුවා මුනගැසීම සහ
ඔහුගේ කපටිකමට හසුවීම.
*බිසවගේ පාසළඹ සොරාගත් සොරා යයි කියා
රාජපුරුෂයින් කෝවලන් රජු වෙත ගෙනයාම.
*රජු කිසිදු වග විභාගයකින් තොරව කෝවලන්
මැරීමට අණකිරීම (රාජ සභාව)
*ඇතුන් සහ බල්ලන් ලවා මරනයට පත් කිරීමට සූදානම් උවත් එය නොහැකිවීම මෙහිදී
බල්ලන්ගේ චරිත පවා රගපෑම.
*වධකයා කෝවලන්ව වද මල්මාලා දමා මරා දැමීමට රැගෙන යාම සහ කොසොඹ මුලදී මරණයට පත් කිරීම .
*මෙම පුවත ගොපළු දුවගෙන් දැනගෙන කාලී
සමගින් කන්නගිය මධුරා පුරය බලා පිටත්වීම
*කාවේරි නදියෙහි තොටියාට වදුරු ගැසීම
*රාජ කුමාරවරුන්ට කෑම ලබාදීමෙන් කපටි
කමින් කෝවලන් මරණයට පත් කිරීම පිලිබද
තොරතුරු දැන ගැනීම .
*මධුරාවේ රජ මාලිගාවට පිවිසීම
*පාසළඹ පිලිබදව තොරතුරු විමසා බිසවගේ පාසළඹ සහ තමන්ගේ පාසළඹ පිලිබදවත්
තම ස්වාමියා වැරදිකරුවකු නොවන බව රජුට
ඔප්පුකර පෙන්වීම විත්ති හත ප්රකාශ කිරීම රජු සහ බිසව මරණයට පත්වීම.
*කොසොඹය ලගදී කන්නගියගේ විලාපය.
*සක් රජුගේද සහාය ඇතිව කෝවලන්ට යලි පණ ඉපැද්දවීම.
*පාලග දෙව්ලොව යාම.
*මධුරා පුරය ගිනිබත් කිරීම සහ ගිනි නිවීම.
*කන්නගියද දෙව්ලොව යාම.
මෙම ඉහත ආකාරයට කතාව ගොඩනගා ඉදිරිපත් කිරීම එකල සිදුවිය. නමුදු වර්තමානය තුලදී සීමිත චරිතයන්ට කොටුවී මරා ඉපැද්දවීම සිදු කිරීම තුලින් මෙම අඩුපාඩු ඉස්මතුව දැක්නට ලැබේ.ඒ තුලින් පූර්ණ කතාංගයක රස විදීමට ප්රේක්ෂකයාට නොලැබේ.පාලගට නැවත ජීවය ලබාදීමේ ක්රියාවලිය පමණක් ඉදිරිපත් කිරීම තුලින් නිසියාකාරව නිසි කතාව නොදන්නා අයෙකුට වටහා ගැනීමේ අපහසු වනවා සේම නිසි පූර්ණත්වයක් නොපෙනේ. ඉහතින් සදහන්කර ඇති ආකාරයට මෙම මරා ඉපැද්දවීමේ කතාංගයට නැවත ජීවය ලබාදීමේ
හැකියාව ලැබේවා කියා ප්රාර්ථනා කරමු. මෙම මරා ඉපැද්දවීමේ කතාංගය ආකාරයන් දෙකකින් පෙන්වීමක් තිබෙන බව කිවයුතුය.
එනම්
*රාමා මැරීම නොහොත් කුඩා මරා ඉපැද්දවීම
*මහ මරා ඉපැද්දවීම ලෙසිනි.
මේ බෙදා වෙන්කිරීමට අනුව රාමා මැරීමේ කතාවේදී වෙළෙඳාම පිනිස ගිය අයෙකුන්ව මරණයට පත් කිරීම පිලිබද කතාවක් විදහා දැක්වීමක් ඇත .මහමරා ඉපැද්දවීමේ කතාංගය සළඹ විකිණීමට යාමේ සිට පූර්ණ කතාංගයම විදහා දැක්වීමකි.ඒ අනුව සමහර අයවලුන්ව රාමා මැරීමේ කතාවද සමහර අයවලුන්ව මෙම මරා ඉපැද්දවීමේ සම්පූර්ණ කතාංගයද ඉදිරිපත් කරනු ලබයි. මෙය ප්රදේශ අනුව ගුරුකුල අනුව මෙන්ම පරම්පරාවන් අනුව පවත්වාගෙන පැමිණි ආකාරයට ඉදිරිපත් කරනු ලබන බව කිවයුතුය .එසේම ඉදිරිපත් කරනු ලබන අයගේ ක්රියාවලිය අනුව වෙනස්වීම් වලින් යුක්තව ඇති බව කිවයුතු කරුණකි . කෙසේ උවද මෙම පෙළපාලිය තුලින් සිදුකරනු ලබන කාරනාව කවුරු කෙසේ කලද එක සමානය.දෙවොල් මඩු ශාන්තිකර්ම සිදු කරනු ලබන සෑම ප්රදේශයකම මරා ඉපැද්දවීමේ පෙළපාලිය අඩු වැඩි වශයෙන් මෙන්ම ඒ ඒ ප්රදේශයන්ට ආවේණික ක්රමවේද
අනුව රගදක්වනු ලැබේ.
*රාමා මැරීමේ කවි ගායනා
.....................................................
ගුණයෙන් තෙද දැ රූ
බලයෙන් අණසක දැ රූ
පතිනිය යහ මු රූ
කියන් එහි පමණ යසවු ඇදු රූ
නොයෙක් කර කී මේ
සපත් දෙන අත් පිට බැලී මේ
දනන් තුටුවී මේ
අසව් සුදනණි කවි මැරී මේ
පස්සේ වැඩියයි දස් සේ
උඹේ සළඹ නොම දුස් සේ
දමා බිමට තරහස් සේ
දබර උනයි එම අස් සේ
එතන නොසිට පාලග සිත බේ දී
නදන ගුණෙන් සළඹක් ගෙන පැහැ දී
නිසිකල එන කලකම් පලදෙත් දී
නොදැන ගොසින් වනි තරහල් වී දී
එහි වෙනකෙක් රුති බස් පවසා ලා
නිසි ලෙස ඉදිනට පුටුව සරා ලා
රුති ලෙස ගති මැන සළඹ කිරා ලා
නොසිටම රජගෙට දුවති බඩා ලා
නුදුරා මල්ලව හැත් තේ
ඉදුරා ලග සිට ගත් තේ
මධුරා අණකර ගත් තේ
උදුරා සළඹත් ගත් තේ
සොරා මෙමා නොවෙති බ වේ
පුරා දනිති මෙතුන් ලො වේ
තරහළුගේ බස් බොරු වේ
මර කීවේ කරපු ප වේ
මෙබස් කුමට පවසන් නේ
සළඹ අතට ගෙන දුන් නේ
සොරු සහ බඩු අල්ලන් නේ
සළඹ නොවෙද බිසවුන් නේ
මිලදී පෙර ගත් සළ ඹා
ගෙනත් දුන්නු සෙනග ලො බා
බලති බිසව් අතේ ත බා
බලපෑ මෙලෙසින් සළ ඹා
විගසට වමතට ගත් තේ
දෑතම ගිනි වැද ගත් තේ
විගසට බිම දැමි සත් තේ
තෙදබල මෙච්චර ඇත් තේ
ලොව පරසිදු පඩි රජු නේ
මට නැත මේ සළඹ අ නේ
සොරු අල්ලා මැරූ තැ නේ
නැතිවෙයි රට මෙයින් දැ නේ
හිමි සද සැක නොසිතන් නේ
මෙසළඹ මගෙ නොම වන් නේ
තෙද පත්තිනි කෙනෙකුන් නේ
පයලන සළඹකි උන් නේ
මම කී මේ බස් නිත් තේ
සැක නොව අදහස් සත් තේ
මැරුවොත් සොරු මේ වැත් තේ
පැමිණෙයි විපතක් සත් තේ
.....................................
*බාදා වල්ලිය.
""""""""""""""""""""""""""""""""
මාදේවි නම් ලි ය
ගතිද පෙරමේ කල්ල ය
මායාද මල්ලි ය
මෙලෙස පාලග අදුරු ඇල්ලි ය
නැවත ධන හිස් කො ට
මේසා ගුනේ එලිකො ට
උතුමෙක් විනාශෙ ට
පැමුනුවද මේ කරුනු එලිකො ට
සළඹක් පත්තිනි පරසිදු ලොව ටා
සළඹක් වස්තුව ගෙනියන ලෙස ටා
පොලඹත් පාලගයර හිමි සදු ටා
සළඹක් අරගෙන දුන්නයි අත ටා
බබළන පුන්සද මෙන් ගුණ බැදි නේ
සුබා රුසිරු ඇති මගෙ හිමි සදු නේ
ඔබ ගිය කල නොපමාවක් මෙදි නේ
නුඹ එනතුරු මම කොතනක හිදි නේ
මා මෙදිනේ ගොස් එනතුරු බැහැර ය
රෑනිදි නේනුය ගේත් ඉඩ නෑර ය
ශෝක දිනේ යුත් ගුණ සරුසාර ය
යාරජුනේ මුන් ඔබටම බාර ය
ඇන්දෙමි රූසිරු තුලෙනි මෙමා යේ
වින්දෙමි පහසය රසකි අමා යේ
වැන්දෙමි දෙපතුල් වන්ඩ කමා යේ
වැන්දෙමි සිතතුල කෙරෙහි පෙමා යේ
හිමි සදුගෙන් වෙන්ව ගි යෝ
සිත සෙනෙහස හැර නොගි යෝ
එදින පැමිණි දුකින් වි යෝ
අඩති මෙලෙස පත්තිනි යෝ
ඉදිති කුරුළු අටු කනු පි ට
දුවති ගෙදර දසත එවි ට
නිමිති දක්වමින් නපුර ට
අඩති කපුටු රැලරැල පි ට
නොදෙති හරක් කිරි දෝන ට
දුවති ගාල් බිද පිටත ට
ගැසෙති ළමා වස්සෝ සි ට
ගැසෙති වැසෙති කණුපල සි ට
මතුවෙන දුක් ලොව පැව තී
දැක මේහැම නපුරු නිමි ති
සැකව සිතක් බිය වැද නි ති
දුක් වැද ලද පතිනි තැවෙ ති
හිස් කල හිස් අතිනුත් ගිය ගම නා
බස් ගොළු ඇස් නැති අය කෙල පිරු නා
ගොස් දුටු පෙර මගදී සුභ නොවෙ නා
නිශ්ඵල වෙයි නිසැකින් ගිය ගම නා
සූනන් කෑරල් සැලළිහිනිය නා
මුගටින් සාවුන් තිත් මුව රැලි නා
සිවලුන් ඒ නයි පාලග සිටි නා
වැඩකුත් පලනැති හිමියනි ගම නා
ඇයි තරහළු නොකියන් නේ
කොහොමද සොරු මරවන් නේ
මරුවෙක් කොතනද ඉන් නේ
සොයමින් ඔහු ගෙන්නන් නේ
මනනන්දා සිට්න් සරු ව
යති සින්දා පුර නුදුරු ව
මරනෙන් පාලග කමරු ව
ගොස් කැන්දා මරනු මරු ව
පින් ඇති කෙනෙක් කවුරුද පඩිපුරේ ය රූ
දක්වන අලුයමක් මරුවක් වෙතී ස රූ
දුන් ගිරිමුදුන හෙන විදුලියකින් පිපු රූ
රන්කොත බිදී වැටුනා දුටුවෙමි නපු රූ
....................................
*මරා ඉපැද්දවීම .
"""""""""""""""""""""""""""""""""
පරසිදු පත්තිනි සද සැතපෙන් නේ
සැතපුනු නින්දට සීන පෙනෙන් නේ
පාලග කඩුවක් ගත්තා වැන් නේ
කඩුව නොවෙයි අඩුවයි දැනගන් නේ
ඇසුවොත් නිවැරදි තම හිමියන් නේ
සිටිමින් පත්තිනි බලපාමින් නේ
ඉතිකින් නැත අපෙ වරද බොලන් නේ
යමු දැන් පඩිපුරයට අපි දෙන් නේ
එමවිට කාලිය අඩගහ ගන් නේ
දෝසිද නවසිද තැඹිලිද ගන් නේ
අග්ගලාද කිරි උන්ඩද ගන් නේ
තල කැරලිද මුං කැවිලිද ගන් නේ
පෙට්ටිය කාලිගෙ සුරතර දුන් නේ
වැලි බත් කා මාවතට බසින් නේ
මග තිස් ගව්වක් පසුකර යන් නේ
සාමිනි බැරි මගෙ දෙපය රිදෙන් නේ
මේ මොන අනුවන කම්ද කියන් නේ
පෙට්ටිය දීලා කොහොමද යන් නේ
සාමිනි මාගේ පණ නොතිබෙන් නේ
සෙවනක් දුටු තැන සැතපී ඉන් නේ
ගොසින් බැසපු වෙල්ලියෙ අම්බලම ය
ඒ අම්බලමේ වෙසෙන යකින්නි ය
වෙල පහලින් කට අයාන එන්නි ය
අද මගෙ ගොදුරයි අදහා ගන්නි ය
එතනින් පත්තිනි සද වඩිමින් නේ
ගොපළුන්ගේ වීදියට බසින් නේ
ගොපළු දුවක් ඉස්සරට බසින් නේ
මේකාගේ නුවරක්ද බොලන් නේ
වීදිය පසුකොට ඈතට බැස ලා
ගොපළුන් ඇවිදින් ඉස්සර කර ලා
කොයි යනවද ලද තනිමග බැස ලා
හිමියන් උදෙසා යමි මග බැස ලා
කාවේරි ගග ගාවට බසිමින් නේ
වැසි නැති වතුරක් ඒගග එන් නේ
මන්ද තොටියො තෝ ඔරු නොපදින් නේ
මන්වද අගනක් මෙගොඩ සිටින් නේ
තොටියගෙ වරිගෙට වදුරු ගසන් නේ
තොටියා ඇවිදින් වැද පෙරලෙන් නේ
දුටිනි සපන්කම් තොටියෝ උන් නේ
එදුක් නිවා එතනින් වඩිමින් නේ
ගස මුල සෙවනට ගොසින් බසින් නේ
නුග මුල සෙවනේ සැතපී ඉන් නේ
ළමයෝ දෙන්නෙක් කෙල කෙල එන් නේ
කොයි යනවද ළමයිනි තෙපලන් නේ
කාටද අයියෙයි මැත දොඩවන් නේ
මෙනුවර රජුගේ කුමරුන් දෙන් නේ
පල්ලිය අකුරට ගොස් බඩගින් නේ
යනවා කුමටද තොපි විමසන් නේ
අග්ගලාද කිරි උන්ඩද කන් නේ
තල කැරලිද මුං කැරලිද කන් නේ
මල් බුලත්ද මඩ පුවක්ද කන් නේ
මෙකී දෙයින් දැන් මොනවද කන් නේ
මිනිසෙකු මැරුවාවද විමසන් නේ
දවසට දහසක් මරති බොලන් නේ
කොයි කොයි මිනිසෙක්දෝ නොදැනෙන් නේ
සළඹ සොරෙක් මැරුවද විමසන් නේ
අතින් කිවොත් අත කපති බොලන් නේ
කටින් කිවොත් කට ඉරති බොලන් නේ
අපි කීබව ලොව පල නොකරන් නේ
කොසඹ මුලේ යට මැරුවා වැන් නේ
සත් දවසක් ගනණින් පසු වෙන් නේ
එතනින් පත්තිනි සද වඩිමින් නේ
වරලස උනමින් පිටට හෙලන් නේ
විලාප කියමින් හඩා වැටෙන් නේ
මගෙ ඝණ රන් එසාමි නේ
දුකිනි මෙමගෙ හිමි සදි නේ
දයා මෙසැප හොදද අ නේ
මල්මද මගෙ හිමි සදි නේ
මල්මද අනුරා ගමනි න්
මම දුක්විද ආමි රටි න්
නුඹ ඉන්නේ මෙවැලි පිටි න්
රන්වන් හිමි සද නැගිටි න්
දෙන්න අඩති කොසඹ යටි න්
විදිනා සෝදුක් මෙලෙසි න්
බැරි ඉවසා ගන්ට ඉති න්
සොදින් මහිමි සද නැගිටි න්
පාදක සටහන් = අන්තර් ජාලය පරිහරණය කිරීම තුලින්
පුරාණ ඉන්දීය ඉතිහාසය, කන්නගී ඉතිහාසය, දකුණු ඉන්දියාවේ සංගම් යුගයේ ඉතිහාසය,
මඩු පුරාවෘත්තයට සම්බන්ධ පුද්ගලයන්, රජ පෙලපත්වල නම් සහ අදාල චරිතවල නාමයන්
දකුණු ඉන්දියාවේ එවකට තිබු රාජ්යයන්හි තොරතුරු නුවරවල්වල නාමයන් රාජ්ය වර්ෂ මෙන්ම ලාංකීය ඉතිහාසය පිලිබදව තොරතුරු පතපොත පරිශීලනය තුලින් ලබා ගැනීම
*යාග සාහිත්යය පිලිබදව අත්පිටපත් පුස්කොල පිටපත් පරිශීලනය .
(මෙම ලිපියෙහි මෙතෙක් පර්යේශනාත්මක කිසිදු ග්රන්ථයක ඇතුලත් නොවූ පුද්ගල නාම මෙන්ම ග්රාම නාමයන් සදහන්කර ඇත.එනිසා එවන් තොරතුරු පිලිබදව බුද්ධිමත් බවින් යුක්තව කටයුතු කරන ලෙස ඉල්ලමි.)
..................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA)
..................................................................


No comments:
Post a Comment