Tuesday, May 3, 2022

දොලහා පෙලපාළිය - 23 වෙනි කොටස

විසිතුන්වෙනි කොටස 

පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය 

දොලහා පෙලපාළිය ප්රධාන වශයෙන් ප්රචලිතව පවතින ශාන්තිකර්ම දෙකක් තිබෙන බව ප්රථමයෙන් සදහන් කල යුතුවේ. දෙවොල් මඩු ශාන්තිකර්මයේදී පවත්වනු ලබන දොලහ පෙලපාළිය සහ මහසොහොන් සමයම ශාන්ති කර්මයේදී මංගර ප්පෙලපාළියට අයත් දොලහ පෙලපාළිය වශයෙනි .මෙහිදී මෙම පෙලපාළිය දේව සහ යක්ෂ ශාන්තිකර්ම වශයෙන් කොටස් දෙකකින් සමන්විත වීම නිසාවෙන්ම ඉදිරිපත් කරනු ලබන්නේ එකම භාණ්ඩ බාවිතා කරමින් උවද ක්රමවේදයන් දෙකක් බව පැහැදිලි කිරීම කලයුතුවේ .ඒඅනුව කිවයුතු වන්නේ දෙවොල් මඩු ශාන්තිකර්මයේදී බාවිතා කරනු ලබන කවි සහ දෙබස් බාවිතා කිරීම දෙවොල් මඩුවට අදාල සහ ගැලපෙන ආකාරයටත් මංගර පෙලපාළිය යක්ෂ ශාන්තිකර්මයක් බැවින් එම ශාන්තිකර්මයේදී එයටම ආවේණික කවි සහ දෙබස් (යක්කම් )එයට අදාල රටාවක් තුලත් බාවිතා කරනු ලබන බවයි .මංගර පෙලපාළිය තුලදී බාවිතා කරනු ලබන දොලහා පෙලපාළිය වර්තමානයේ දෙවොල් මඩු ශාන්තිකර්මයේදී බාවිතා කරනු ලබන බවත් එය දෙවොල් මඩවට එතරම්ම ගැලපීමක් නොමැති බවත් සදහන් කල යුත්තකි .මෙලෙස පවසනුයේ මෙය පැහැදිලි ලෙසින්ම ශාන්තිකර්ම පද්ධති දෙකකට අයත් පෙලපාළියක් බැවිනි. එනිසාම එම ශාන්තිකර්ම දෙකෙහි අනන්යතාවය එම ශාන්තිකර්මයට අයත් වන පෙලපාළිය තුලදී නිසියාකාරව ඉදිරිපත් කිරීම කලයුතු බැවිනි .
 
ශාන්තිකර්ම තුලදී පුද පූජාවට භාජනය වන පූජා භාණ්ඩ දොලහක් මුල්කර ගනිමින් දොලහා පෙලපාළිය නම්වූ අංගය ඉදිරිපත් කිරීම මෙහි ගති ලක්ෂණ යයි.ඒ අනුව එම ද්රව්ය හෝ භාණ්ඩ මුල්කර ගනිමින් ගෙතී ඇති ගායනාවන් බාවිතා කරමින් අදාල පූජා භාණ්ඩ පිලිබදව විවරනයක් සිදුකෙරේ .ඒ අනුව ඊටම උචිත රටාවක් අනුගමනය කරමින් දෙබස් බාවිතා කරමින් නාට්යමය ආකාරයට ඉදිරිපත් කරනු ලබන මෙම රංගනය හදුන්වනුයේ දොලහා පෙලපාළිය නමිනි. 
 
දෙවොල් මඩුව තුලදී සිදුකරනු ලබන්නේ පත්තිනි දෙවියන් උදෙසාය.මෙහිදී පූජනීයත්වයට මූලික තැනක් හිමිවේ .මෙම පූජනීයත්වයට හානියක් නොවන ආකාරයට දෙබස් හසුරුවමින් නාට්ය අනුසාරයෙන් ඉදිරිපත් කරනු ලබන පෙලපාළිය තුලින් පත්තිනි දෙවියන් වෙනුවෙන් පෙරහැර පවත්වනු ලබන බවත් විදහා දක්වමින් එම දෙවියන් උදෙසා මීමකු සහ ඇතෙකු බැදගෙන විත් පූජා කිරීමක් විදහා දැක්වීමක් අන්තර්ගත පෙලපාළියකි.මෙහිදී අදාල පූජා භාණ්ඩයට අනුකූලව දෙබස් බාවිතා කරමින් හාස්ය රසය ජනිත කරවනු ලැබේ .මෙම පෙලපාළිය දොලහා පෙලපාළිය ලෙසින් හදුන්වනු ලැබූවද අන්තර්ගතය තුල ඊට වැඩි ගනනක් තිබෙන බව කිවයුතුය .මෙම පෙලපාළියට අයත් වන පූජා වස්තු පහත පරිදි යොදා ගනී.
 
*උඩුවියන්
*පාවාඩ
*නලාව
*කුඩ
*කොඩි
*සේසත්
*චාමර
*දවුල්
*තම්මැට්ටම්
*හොරණෑ
*වීණා නාදයක්
*කොම්බුව
*හක් ගෙඩිය
*මී බන්දනය
*ඇත් බන්දනය ආදී වශයෙනි.
 
මෙම දොලහා පෙලපාළිය පත්තිනි බාගය කාලපරාසයට අයත් වන අංගයකි .නමුදු මෙය ප්රදේශ අනුව ගුරුකුලයට අනුව පරම්පරාවට අනුව පවත්වාගෙන පැමිණි ක්රමවේදය අනුව ඉදිරිපත් කරනු ලබන කාලපරාසය රටාව වෙනස්කම් වලට භාජනය වේ. සියනෑ කෝරළ සම්ප්රදායට අනුව බහුතරයක් දෙනා පත්තිනි බාගය තුලදී මෙම පෙලපාළිය ඉදිරිපත් කරනු ලැබූවද එසේ නොවන ප්රදේශද තිබේ.එසේම රයිගම්, හේවාගම් කෝරළ වලද පානදුර තොටමුන කෝරළය පස්දුන් කෝරළය වාද්දුව වස්කඩුව කලුතර නාගොඩ වැනි ප්රදේශ වලදී දෙවොල් බාගය කාලපරාසය තුලදී රගදක්වනු ලබන බවත් එය මෙම ප්රදේශවලට ආවේණික ආකාරයට ගොඩනැගී තිබෙන බව කිවයුතුය. කුමන ආකාරයට කුමන කාලපරාසයකදී රග දක්වනු ලැබූවද පරමාර්ථය එකහා සමානව සිදුකරනු ලැබේ .
 
මහසොහොන් සමයමේ මංගර පෙලපාළියට අයත් වන පූජා භාණ්ඩ පහතින් දක්වන පරිදිවේ.එසේම එම කොටස ඔබට ඉදිරිපත් කරනු ලබනුයේ ලිපිය ආරම්භයේදීම දොලහා පෙලපාළිය ශාන්තිකර්ම දෙකක් තුල පවතින බව සදහන් කරනු ලැබූ හෙයින් එය පිලිබදව ඔබට අඅවබෝධයක් ලබාදීමට විනා මෙම ලිපියට අදාල කරුනක් නොවන බවත් විශේෂ වශයෙන් කිවයුතු කරුනකි .

මංගර සමයමේ දොලහා පෙලපාළිය

*සන්නස කියවීම
*උඩුවියන්
*වටතිර
*පාවාඩය
*කුඩ
*කොඩි
*සේසත්
*චාමර
*නලා
*හොරණෑ
*දවුල්
*තම්මැට්ටම්
*අත්මානම් කෙලියක්
*ලීකෙලියක්
*වීණා නාදයක්
*ඇත් බන්දනය
*මීබන්දනය
*කලුවැදි තීන්දුව
*තල අත්ත වශයෙනි .
 
මෙම ඉහත නාමීකරනය දෙවොල් මඩු ශාන්තිකර්මයේ දොලහා පෙලපාළිය නොව මංගර පෙලපාළිය තුලදී රගදක්වනු ලබන දොලහා පෙලපාළිය බව තරයේම සිහිතබා ගත යුතුමයි . ම්ර්යට අදාළ ගායනාවන් තුලින් පැහැදිලි ආකාරයට මෙම පෙලපාළිය සිදුකරනු ලබන ආකාර දෙක ඔබගේ දැනුම තවදුරටත් වර්ධනය කිරීමට ඉදිරිපත් කරන්නෙමු .
 

දෙවොල් මඩුවේ දොලහා පෙලපාළියේ ගායනා

උපුල් කද කුමරු නි
නාථද සමන් දෙවිදු නි
මෙලක පත්තිනි ය නි
කරපු යාගය අසව් මෙලෙසි නි
උඩුවියන් පාවඩ ති ර
කුඩ කොඩි සේසත්ද ව්හාම ර
දවුල් තම්මැට නදක ර
නලා නාදෙන් ඔබට සෙත් ක ර
හොරණෑ සක් නදි න්
වීණාව ගෙන සුරති න්
දොලහ දෙවිදුට නිති න්
කරපු පිලිවෙල අසව් සතොසි න්
එදා පැමිණි නිරිදුගෙ සිරස රදය ට
එදා රුවන්වැලි ඊසානෙ වැඩ සි ට
එදා යාග කල ලෙස බමුණො ගොස් සි ට
දොලහා පෙලපාළිය දැක දෙවි වඩින්න ට
 
උඩුවියනට
බුදුන් දහම් සග රැත්නය වැද නි ති
දෙමින් එපන්සිල් ඇදුරන් හට ති
කරමින් පුද දෙවියන්ට රුවැති ඇ ති
දුරලන් දෝෂය උඩු වියන් බැද පුදදෙ ති
 
පාවාඩය
කීව ලෙසට ඇදුරෝ සැරසෙන වා
බෝව ලෙසට දෙවිදුට පුද දෙන වා
ආතුරයන් දොස් දුරැර හර්න වා
පාවඩයෙන් දොස්දුරැර හරින වා
 
මුතු කුඩය
හැඩරුව ඇති බමුණෙක් කැදවා සි ට
අඩුනොව පෙලපාල්ලිත් කරවා තු ට
ලෙඩ උවදුරු දුක් දුරැර ඃඅරින්න ට
කුඩයක් මුතු බැද පුදදෙමි දෙවිදු ට
 
කොඩිය
නොයෙකුත් පූජා කරවති දෙවිදු ට
වරමුත් ලැබ සැම දෙවියන්ගෙන් ම ට
දෙවිසිත් සතුටුව දොස් දුරලන්න ට
කොඩියක් පූජා කරවති දෙවිදු ට
 
සේසතට
යහනුත් බැද දෙවිදුට වෙන් වෙන්ක ර
සැහැලිත් කවි කියමින් දෙවි නමක ර
දෝසත් දුරුකරවා දෙනලෙස න ර
සේසත් බැදදෙමි පෙලපළිත් ක ර
 
චාමරයට
සුරගන ඇවිදින් දෙපසේ පිරිව ර
අරගත් චාමර දෙවිදු තේවක ර
දුරලන ලෙස ආතුර රෝදුක් හැ ර
වැදගෙන පුදදෙති දෙවිදුට චාම ර
 
දවුල
නිමල් රුවින් ගෙන අතට කඩිප් පූ
අවුල් නොකොට සිහිනිග බැදි සැප පූ
අවුල් රෝග දුර හරිනට දැප් පූ
දවුල් නාද පුදකර දෙමි ඔප් පූ
 
තම්මැට්ටම
ගනිමින් දෑතට දෙකක් කඩිප් පු
ගසමින් සබ මැද නොවී කුලප් පූ
සොබමන් තම්මැට්ටම් නද සැප් පූ
මනරම් දෙවිදුට පුද දෙමි ඔප් පූ
 
හොරණෑව
වරනද දළ සාරා තත් විද ලා
සොබනා ලෝකඩ මොහොප්පු දා ලා
පිඹිනා තැන සිප්පියක් අ ලා
හොරණෑවක් මේ ලෙසට සදා ලා
 
නලාව
ලොලා වඩන තම ඇසු සත බෝ වා
ලලා රුවට නද කරනෙමි බෝ වා
ලලා දෙවිදු ගෙන් කරුනා බෝ වා
නලා නාදයෙන් දොස දුටුවෙ වා
 
කොම්බුව
බම්බු තෙපුල් සමයේ හැරලා පි රි
බම්බු කරපු යාගය මෙන් සව්සි රි
පිම්බ මෙනද ඇසු දෙවියන් සිත් පි රි
කොම්බු නාදයෙන්න්සලසන් සව්සි රි
 
වීණාවට
ගානා චන්දන මෙන් ගතසිසිල ට
ඕනෑ කරවන ඇසු සත හැමවි ට
නානා සිරි සැප ගෙනදෙන විලස ට
වීණා නාදය දක්වමි දෙවිදු ට
 
හක් ගෙඩියට
හිස් ඔලියල් බැදලා සැරසෙන් නේ
කස්තුරි දුම්මල දුම් දෙවමින් නේ
වස්දොස් හරිනට ආතුරයින් නේ
හක් ගෙඩි පිඹ පිඹ නාද කරන් නේ
 
ඇත් බන්දනය
නැකත් බලති දොලසක් දෙවියන් නම ට
කොතෙක් පිලී කෙරුවත් නැත සිත සතු ට
එතෙක් කල දෝස ආතුර රැකීම ට
ඇතෙක් සොයා බැදලා දෙමි පඩුරක ට
යැදලා දොලහ දෙවියන්ගේ නමට ඉ තා
බැදලා පඩුරු කෝවිල වටට නිසි ප තා
බැදලා සතර පාදය සිරකර නව තා
බැදලා ඔප්පුකර දෙමි ඔබෙ නමට ඇ තා
 
මී බන්දනය
කන්දක් කඩාගෙන එන ලෙස ඇසෙන්නි යා
අහස පොලොව ගුගුරන ලෙස ඇසෙන්නි යා
මුහුදේ රළ ලෙසට හෙනහඩ සලන්නි යා
මෙවෙනි ලකුණු ඇති මීමෙක් සිටින්නි යා
දෙවියනි ඔබට වැන්දෙමි අත් මුදුන් කො ට
පුදදුනි දොලහ පාලිය දොලහ දෙවිදු .. . ට
දෙවමිනි සුබ නැකත් මෙම ආතුරන් හ ට
දුරු උනි සියලු රෝදුක් මෙවැනි යාගෙ ට
 
ඉහතින් ඔබට ඉදිරිපත් කරනු ලැබුවේ පත්තිනි දෙවියන් ප්රමුඛ දොලහා දෙවියන්ගේ නාමයට මඩු ශාන්ති කර්ම වලදී ඉදිරිපත් කරනු ලබන දොලහ පෙළපාලියට අයත් වන කවි ගායනාවන්වේ.මහසොහොන් සමයමේ
මංගර පෙළපාලියේදී බාවිතා කරන කවි ගායනා මීටවඩා වෙනස් ස්වරූපයක් ගනු ලබයි.ඒ අනුව පැහැදිලි ලෙසින්ම එකම භාණ්ඩ බාවිතා කරනු ලැබූවද ශාන්තිකර්ම දෙකෙහිදී මෙම පෙළපාලි ඉදිරිපත් කරනු ලබන්නේ එයට අනුගත උචිත රටාව අනුවය.ඒ අනුව මෙම ශාන්තිකර්ම දෙක තුලදී බාවිතා කරන දොලහ පෙළපාලිය පැහැදිලි ලෙසින්ම ක්රම දෙකක් විය යුතුමය.
 
....................................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී 
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
....................................................................................

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...