Sunday, May 1, 2022

ගිනිකුරුම්බර පිදේනි කැපකිරීම - 21 වෙනි කොටස

විසිඑක්වෙනි කොටස
පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය 

දෙවොල් බාගය කාලපරාසය තුලදී කුරුම්බර දේවතාවා වෙනුවෙන් දෙනු ලබන පිදේනි මුට්ටි කැප කිරීම ගිනිකුරුම්බර පිදේනිය කැපකිරීම ලෙසින් හදුන්වනු ලැබේ .මෙම පෙලපාළිය මඩු ශාන්තිකර්ම වලදී කලයුතු අංගයකි.ගම්මඩු දෙවොල් මඩු ශාන්තිකර්ම වලදී සියනෑ කෝරළය අළුත්කූරු කෝරළය ,රයිගම් කෝරළය ,සහ හේවාගම් කෝරළය තුලදී මෙම පෙලපාළිය දැකීමට ඇත .නමුදු සමහර අය මෙම පෙලපාළිය මඩුයාගවලදී සිදු නොකරන බවත් ඒ ඒ ප්රදේශ සහ ගුරු පරම්පරාවන් අනුව එය සිදුවන බවත් අදද දකින්නට ලැබේ.විශේෂ වශයෙන් එලෙස තුන් ජාමයේදී පිදේනි මුට්ටි කැප කිරීම නොකරන ප්රදේශයක් ලෙසින් පානදුර තොටමුන කෝරළයේ මඩු සම්ප්රදාය පවතින ප්රදේශ පෙන්වාදිය හැකිය .එමෙන්ම වාද්දුව වස්කඩුව කලුතර උතුර සහ දකුණු නාගොඩ වැනි පස්දුන් කෝරළයට අයත් වන ප්රදේශ වලද මෙම පෙලපාළිය සිදුකරනු නොලැබේ .මෙය එම ප්රදේශවල මඩුයාගවලට අයත් නොවන බව එම ප්රදේශවල ප්රවීණ ශිල්පීන්ගේ මතයයි.එසේම පුරාණයේ සිටම පැවති රටාව අනුව මඩු මංගල්ල්යය වාර්ෂිකව පවත්වනු ලබන බවත් යක්ෂ කොට්ඨාශයන්ට අයත්වන පෙලපාළි සිදුකරනු නොලබන බවත් එම ශිල්පීන්ගේ මතයයි.නමුදු පූනාමඩුව තුලදී මෙම තුන් ජාමයේ පිදවිලි දීම කෙරෙනු ලැබේ .
 
kāla pandam Puja, Kurumbara Poojawa
Mampe Ganewatta Dewol Maduwa 2021
(ගනේවත්ත දෙවොල් මඩුව)
 
ඒ අනුව පූනාමඩු ශාන්තිකර්මය සියලුම ප්රදේශ වලදී පොදු රටාවක් අනුගමනය කරනු ලැබේ . කෙසේ නමුදු පිදවිලි දෙනු ලබන ප්රදේශ වලදී තුන් ජාමයේ පිදවිලි කැප කිරීම සිදුකරනුයේ යක්ෂ සංකල්පයක් මුල්කර ගනිමින් නොවන බවත් එය දේව සංකල්පයකට අනුගතව කරනු ලබන පෙලපාළියක් බවත් සිහිපත් කල යුතුය
පෙර ලිපියෙහි ගිනිකුරුම්බර ආවේශවීම තුලින් මෙම පෙලපාළිය සිදුකරනු ලබන බව සහ එහිදීම පන්දම් දොලහා පෙලපාළිය සිදුකරනු ලබන බව ප්රකාශ කර ඇත .එසේම මෙම ගිනිකුරුම්බර පිදේනිය කැපකිරීම ආවේශවීම තුලින් සිදුකරනු ලබන පරම්පරා මෙන්ම ආවේශවීමකින් තොරව තොරව සිදු කරනු ලබන පරම්පරාවන්ද සිටින බවත් එහිදී පන්දම් දොලහා දීම සිදු නොකරන බවත් සදහන් කල යුතුය.එහිදී මෙම පෙලපාළිය ආවේශවීම තුලින් සිදු කරනු ලැබුව මුත් නිසි ආකාරයට පේන කීමක් වර්තමානයේදී සිදු කරනු නොලබන ප්රදේශ මෙන්ම පරම්පරාවන්ද සිටින බව කිවයුතුය .මෙම පෙලපාළිය සදහා සූදානම් වනුයේ පහත පරිදිය.
 
Traditional Dancing Handa Samayama
හැන්දෑ සමයම පිදේනි දීම - නැන්දගේ සමය
ගංගාරාම ගම්මඩුව
 
කොට්ටෝරු මහතා විසින් පෙර පරිදි නැවුම් මුට්ටියකට බත හත්මාලුව සහ අදාල ද්රව්යය බහාලමින් කෙසෙල් කොළයක් උපයෝගී කරගනිමින් කඩවැස්ම බැද රතුපාට රෙද්දක් කඩවැස්මට පිටින් බදිනු ලැබේ .එසේ සූදානම් කරන ලද පිදවිල්ල උඩුවියන් යටින් වඩමවාගෙන විත් රංගභූමිය තුල සිටින කපුපත්තිනි මහතාට දෙනු ලබයි.එහිදී පිදේනි මුට්ටිය ආතුර පක්ෂයේ අයකුගේ හිසමත තබා ගිනිකුරුම්බර පිදවිල්ලට අදාල කවි ගායනා කියනු ලබයි .ආවේශවීම තුලින් පිදවිල්ල කැප කිරීම කරනු ලබන්නේ නම් ගායනාවන් අවසන් වනවිට ආවේශවී පිදීනි පොලටත් සහ අනෙක් යහන් තොරන් පාමුලට දුම්මල කීල ගසමින් නර්තනයක් සිදුකර ආතුරයන්ට පිදවිල්ලෙන් සෙත්කර පිදවිල්ලට අදාල පාලි පදය නැටීම කර යහන් තොරන් වලට පාලිකිරීමෙන් පසු දෙවොල් යහන හෝ දෙවොල් තොරන පිටුපස (පන්දම් තොරන )සිටුවා තිබෙන කරුව සහිත රුක් අත්තන ගසෙහි කරුව මත පිදවිල්ල තබනු ලබයි.ඉන් පසුව කොතල පදය දුම්මල පදය නැටීම සිදුකරනු ලැබේ .මෙහිදී කොතල පදය දුම්මල පදය නැටීම තුලින් සිදු කරනු ලබන්නේ කහදියර ඉස සුවදදුම් අල්ලා මෙම පිදවිල්ල කැප ගැනීමට අදාල දෙවියන්ට එම ස්ථානය සුදුසු බව සංකේතවත් කිරීමකි. 
 
 
https://youtu.be/qvRkbvpxWEI

සන්නි කුරුම්බරට පිදේනි දීම
 සන්නියකුන් දහඅට දෙනාටදොළ දෙන මහයාමේ පිදවිල්ල
ගංගාරාම ගම්මඩුව 

https://youtu.be/qvRkbvpxWEI  
පිදේනි දීම (මැදියම / හැන්දෑ සමයම) සන්නි කුරුම්බරට පිදේනි දීම

ඉන් පසුව පුදගැනීමට ආරාධනා කරනු ලබන්නාවූ විශේෂ පදයක් විශේෂිත ආකාරයට නටා එම පිදවිල්ල දෙවියන්ට පුද ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ .මෙහිදී කිවයුතු කරුනක් වනුයේ සමහර ප්රදේශවල ගිනිකුරුම්බර පිදවිලි සදහා බාරහාරවී සිටින බැතිමතුන් එම බාර නිදහස්කර ගැනීමට පිදවිලි ඔප්පුකර රතු රෙදි කපුපත්තිනි මහතාගේ හිසට හෝ කරට දැමීම සිදුකරන බවයි. මෙවැනි චාරිත්ර සිදුකරනු ලබන ප්රදේශ වල පිදවිලි තැන්පත් කිරීම සදහා තරමක් විශාල පිදවිලි තබන ආසනයක් සාදනු (පිදේනි පොලක්) ලැබේ .මෙම ක්රමවේදය දැක ගැනීමේ හැකියාව බටහිර සියනෑ කෝරළයේ පුරාණ දේව අරහන්තවලදී වාර්ෂික දේව මඩු මංගල්ල්යය තුල තිබේ. මෙම පූජාකර්මය තුලින් බැතිමතුන් බලාපොරොත්තු වනුයේ තම නිවැසියන්ට දූදරුවන්ට යම්කිසි නොපෙනෙන නපුරු බලවේගයකින් කිසියම් හිංසනයක් හිරිහැරයක් හෝ නොසිතන්නාවූ කරදරයක් සිදුවන්නේ නම් එය ඉවත්කර ගැනීමයි. එසේම ඉදිරි අනාගතය කිසිදු බාදකයකින් තොරව තම කටයුතු කරගෙන යාමට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලබාගැනීමයි .එසේම මෙම ගිනිකුරුම්බර පිදේනිය කැපකිරීමට අවශ්ය කරන සැරසිල්ල සිදුකරනු ලැබූවත් එම පිදවිල්ල කැප නොකරන ප්රදේශ සහ අයවලුන් සිටින බවත් එසේ සැරසිල්ල පමනක් බාවිතා කරනු ලබන්නේ කුමන අරමුණකින්ද යන්න ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කරනු ලබන බව කිවයුතුය .
 
 Makumbura Paththini Dewalaya Devol Maduwa
පිදේනිදීම - වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022
 
ගිනිකුරුම්බර පිදවිල්ල ආවේශවීම නොමැතිව සිදුකරනු ලබන්නේ නම් අදාල කවි ගායනාවන් සිදුකර සියලුම යහන් වලට පාලි පදය නැටීම සිදුකර ආතුර පක්ෂයට සෙත්කර රුක් අත්තන ගසෙහි කරුවෙහි තැන්පත් කරනු ලැබේ .අනතුරුව ඉහත සදහන් රටාවට පෙලපාළිය සිදු කරනු ලැබේ .මේ කුමන විදියට පිදවිල්ල කැප කිරීම සිදුකරනු ලැබූවත් මෙයින් බලාපොරොත්තු වන පරමාර්ථය සමාන වෙයි.සිදුවන එකම අඩුපාඩුව වනුයේ පුරාණ චාරිත්ර ආකාරයට පේඅයක් නොකීමයි. කෙසේ නමුදු එම ක්රියාවලිය නොමැතිවීම පූජාවිධි රටාවේ කිසියම් පසුබෑමක් බව පෙන්නුම් කෙරේ .
 
 
Depanama Historical Sri Ganegoda Devol Maduwa
(පන්දම් පාලිය, දුම්මල පාලිය හා පිදේනි දීම)

ගිනිකුරුම්බර කවි

ඉසෙන් ගත් ගිනි අහස ඇවිලී ඉර සදද
බිය පත් වෙ තා
දෙපසයෙන් ඇවිලෙනා ගින්නෙන්
මිහිකතද කම්පා වෙ තා
දෙපසයෙන් ඇවිලෙනා ගින්නෙන් දුටු
දනන් ලෙඩ කරව තා
මෙලෙස අසුරා දැව්ව සොහොනේ උපන්
තෙද ලත් දේව තා
බැද සරා නැබ උසට තටුවක් ගොප්
පැනින් වට සරස තා
පුද සරා ගොටු දොලස සමගින්
අළුයමේදී පුද දෙ තා
සද සරා පෙර මස දෙපෝදා දිවුන
දිවුනා සෙත දෙ තා
මෙම විරාජිත ගිනිකුරුම්බර මෙපුද
, ලබමින් දෙන් සෙ තා
දරා ගිනිජල් වෙලා සියොලග යම
මුගුර ගෙන දකුණ තා
පුරා සමයන් කෙලෙති සක්වල දුටු
දනන් ලෙඩ කරව තා
සරා ගිනිජල් පර්වතේ සිට වාසෙකල
තෙද දේව තා
සරා මම දෙන පුදට බැස එන් ගිනි
කුරුම්බර දේව තා
තිනෙත සමත් පියුමට බර නෙත ගේ
වතත රුවන් යුත් දෙසු මුනි රජු ගේ
නියත වරන් ලැබ ගෙන අද මෙර ගේ
උපත කියන් ගිනිකුරුම්බර යකු ගේ
පොරන බස්ම අසූරා දැව් සොහො නේ
ඇවිල ගත්තු ගිනිජල් කදු පසි නේ
සැනෙක නික්ම ගිනිකුරුම්බර උප නේ
උපත යක්ම පවසන් මේ ලෙසි නේ
බස පෙර විෂ්ණු ගෙන් අවසර ලබා පෙ ර
තොසකර තපස් රකිමින් සිටියයි අසු ර
හිස ගිනිගත්තු විෂ්ණු ගෙ අනයෙන් පව ර
බැස මෙපුදට එන් තෙද ගිනිකුරුම්බ ර
නසමි සිතා අසුරා සිටිය ඉසිව ර
රැස ගිනිකද අරන් එලවා ගති අසු ර
යස සිරි විෂ්ණු දෙවිරජ මග සිටිය ව ර
බැසලා මෙපුද ගන් තෙද ගිනිකුරුම්බ ර
තොටින් නැව් නැගී ඇවිදින් මෙකර උ නේ
කටින් මවාගෙන ගිනිජලයක් ලෙසි නේ
වටින් එන රෝග දුරලන් ඔබ විසි නේ
වඩින් ගිනිකුරුම්බර දෙර්වතාවු නේ
....................................................................
අගුරු පලාගෙන උපත වරින් ව ර
එගිනි පලාගෙන උපත වරින් ව ර
එඅළු පලාගෙන උපත වරින් ව ර
මෙපුද ගන්ඩ වර එගිනි කුරුම්බ ර
රන්වන් පාටින් මුගුරක් අරගෙ න
රන්වන් සේලේ නෙරිය තියා ගෙ න
රන්වන් වස්ත්රා ඇග පැලදී ගෙ න
එගිනි කුරුම්බර සැනෙකින් වඩිමි න
සුද්ද ඇතිව පිදවිලි සරසා ගෙ න
සුද්ද ඇතිව ඇදුරා සැරසී ගෙ න
වැද්ද නොදී උවදුරු දුරුකර ගෙ න
එගිනි කුරුම්බර සැනෙකින් වඩිමි න
දේශ රටෙනි සම්බානෙනි එන් නේ
වෙහෙස මාරුකර මයි ඇවිදින් නේ
බාස කියා කෙල කෙල ඇවිදින් නේ
එගිනි කුරුම්බර මේපුද ගන් නේ
 
...................................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී 
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
...................................................................................

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...