Thursday, April 28, 2022

අඹ විදමන - 22 වන කොටස

විසිදෙවන කොටස
පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය 

දෙවොල් මඩු ශාන්තිකර්මයේදී නාට්යමය ගති ලක්ෂණ විදහා දක්වමින් ඉදිරිපත් කරනු ලබන පෙලපාළියකි අඹ විදමන .මෙමගින් ඉදිරිපත් කරනු ලබනුයේ පත්තිනි දෙවියන් අඹෙන් උපන් කතා පුවත විදහා දැක්වීමයි . මෙම පෙලපාළිය සිදු කිරමෙන් අපේක්ෂිත අරමුණ සහ සාමාජීය පණිවිඩය වනුයේ ජන සමාජයට සිදුවන නපුර පලවා හැරීම සහ එම කටයුත්ත සිදුකිරීම සදහා දෙවියන් ගෙන් පවා උදව් උපකාර අනුමැතිය ලැබෙන බවයි.එසේම යම් පුද්ගලයකු ගෙන්වේවා යම් අවයවයකින් වේවා ජන සමාජයට පීඩාවක් අයහපතක් නපුරක් සිදුවන්නේ නම් එය පලවා හැරියයුතු හෝ විනාශ කලයුතු බවත් ජන සමාජයේ සුභ සිද්ධිය උදෙසා දෙවියන් පවා නපුර විනාශ කර යහපත ලගාකර දීමට උදව් උපකාර කරනු ලබන බවකි.අයහපත නපුර පිටුදැකිය යුතුබව මෙම පෙලපාළිය තුලින් මනාව ප්රදර්ශනය කෙරේ.
 
අඹ විදමන
The Dewolmadu Shanthikarmaya was 
Organized by the leo club of Mahanama college
 
සංස්කෘතික අංගයක් ලෙසින් ගත්කල පත්තිනි දෙවියන්ගේ විශේෂිත උප්පත්ති කතා පුවතක් විශ්මිත ආකාරයට විදහා දැක්වීමක් මෙහි අන්තර්ගතව ඇත .එසේම මෙම කතා පුවතටම ආවේණිකවූ කාව්ය සාහිත්යයක්ද ඉතාම අර්ථාන්විතව ගොඩනැගී තිබීම තුලින් මෙම කතා පුවතේ ආකර්ෂණීය බව ඉහල මට්ටමක පවතී .එසේම මෙම පෙලපාළිය තුලදී බාවිතා කරනු ලබන දෙබස් අනුව කතාවෙහි ජීවමාන බවක් පිලිබිඹු වේ.බාවිතා කරන දෙබස් තුලින් ප්රේක්ෂක ජනතාව (බැතිමතුන් ) ප්රීති ප්රමෝදයට පත්කිරීම තුලින් ජීවිතයට සමීප බවක් පෙන්නුම් කෙරේ .මෙම අඹ විදීම පෙලපාළිය තුලින් පත්තිනි දෙවියන්ගේ අඹෙන් උපන් කතාව පූජණීයත්වයෙන් බැතිමතුන් ගේ සිත් තුලට කාවැද්දීමක් සිදුකෙරේ .එමෙන්ම මෙම පෙලපාළිය නැරඹීම තුලින් පත්තිනි දෙවියන් කෙරෙහි විශ්වාසයක් ජනිත කරවා සෙත්ශාන්ති ලබා ගැනීමට නැඹුරුවක් ඇති කරවනු ලබයි.මෙම පෙලපාළිය සංස්කෘතික අංගයක් ලෙසින් ඉදිරිපත් කරනු ලබන ආකාරයත් මෙහි ඇතුළත් කතා පුවතක් පහත සදහන් පරිදි වේ. 

 
පත්තිනි කතා පුවතට අනුව කන්නගිය දේවත්වයට පත්වී අදුන්ගිරී පර්වත මුදුනෙහි මතු බුදුබව පතා පිරිමි ආත්මයක් ලබාගැනීම සදහා සිල් රකිනා කාලයේදී සිදුවූ පුවතක් මේ කතාංගය තුලින් ප්රකශිතවේ.දකුණු ඉන්දියාවේ පඩි රටෙහි පාලකයාගේ ක්රියා කලාපය නිසාම එරට ජනතාව මහත් පීඩනයකට පත්ව සිටීම මෙන්ම පඩිරජුගේ නලලේ පිහිටි තුන්වෙනි නෙත නිසා ලෝකයට සිදුවෙන අනර්තය වලකාලීම අරමුණු කරගනිමින් සක් රජුන්ගේ උපක්රමශීලී ක්රියාවලිය පිලිබිඹු කිරීම මෙම පෙලපාළියේදී සිදුකරනු ලැබේ .
 
සක්දෙව් රජුන් අදුන්ගිරී පර්වත මුදුනෙහි සිල් රකින්නාවූ පත්තිනි දෙවියන් ගෙන් දනක් ඉල්ලා සිටි විටදී ඇයගේ තෙදබල පෙන්වමින් දානය පිස පිලිගන්වන ලදී.ඉන් අනතුරුව සක් දෙවියන් තමන් පැමිණි කාරනාව පත්තිනියන් හට පවසනු ලැබ ඇත .එනම් පඩිරට පාලකයා නෙත් තුනකින් සමන්විත බවත් එම නලලෙහි ඇති තුන්වෙනි නෙත නිසාවෙන් රටවැසියන්ට මෙන්ම ලෝකයටත් අනර්තයක් සිදුවෙන නිසා ඔහුගේ එම තුන්වෙනි නෙත මැකිය යුතු බවයි.
 
එම නිසාවෙන් පඩිරජුගේ අඹ උයනෙහි අඹ ගෙඩියක පිලිසිද නෙත මැකීමට කටයුතු කරන ලෙස සක් රජුන් විසින් පත්තිනි දෙවියෙන් ගෙන් ඉල්ලීමක් කරන ලදී .එම ඉල්ලීමට එකගව පඩි රජුගේ අඹ උයනෙහි අකලට හටගත් අඹයක පිලිසිදුනි .මෙම අඹය මාදිය කලයක් සේ විශාල විය .උයන් පල්ලා මෙම අරුම පුදුම අඹය පිලිබදව සියලු තොරතුරු පවසනු ලැබීය .ඒ අනුව මෙම අඹය විදගෙන ගෙනෙන ලෙස නියෝග කල මුත් එරට සිටි කිසිදු අයෙකුට එය කල නොහැකිවීය.එහිදී මෙම අරුම පුදුම අඹය බැලීමට රජුන්ගේ පැමිණීම සිදුවේ. රජුන් පැමින සිටින අවස්ථාවේ අඹය විදීමට මහලු මිනිසෙකු ඉදිරිපත් වෙයි.මෙහිදී මොහුට සමච්චල් කරනු ලැබේ.
 


එය ගනන් නොගත් මහල්ලා ස්ථීරවම අඹය විදදෙන බවට පොරොන්දුවක් දී අඹ ගෙඩිය විදිය යුත්තේ යන හීයෙන්ද ආපසු එන හීයෙන්ද කියා රජුගෙන් විමසීමේදී යන සහ එන හීයෙන් බාගය බැගින් කැපෙනසේ අඹය විදින ලෙස අණකරයි.ඒ අනුව මහල්ලා විසින් එම ආකාරයට අඹය විද්දමුත් බිම නොවැටී තියෙන්නේ කුමන ආශ්චර්යක් නිසා දැයි කියා රජු උඩ බැලූවිට රජුගේ තුන්වෙනි නෙතට අඹ කිරි වැටීමෙන් එම නෙත මැකුනි.(අන්ධවිය) එහිදී පඩිරජු විසින් මෙම අඹය මහත් විපත්ති ගෙන දෙන්නක් කියා ගග දිය පාකර හැරීමට නියෝග කරනු ලැබීය .එම අනුව රන් සැලියක බහාලන අඹය ගගේ පපාකර හරිනු ලැබේ . මෙම කතාංගය නාට්යමය පෙලපාළියක් ලෙසින් අඹ විදීම තුලින් පෙන්වාදෙනු ලබයි. මෙය ඉතාම රසවත් බවකින් යුක්ත හාස්යජනක පෙලපාළියක් ලෙසින් බැතිමතුන් අතර ජනප්රියත්වයට පත්ව ඇත .. අඹ විදමන පෙලපාළිය රගදැක්වීම කොයි ගුරුකුලය ගත්තත් එඅකහා සමාන බවක් පෙන්නුම් කෙරේ .එහෙත් බාවිතා කරනු ලබන ගායනා කරනු ලබන කවි කාණ්ඩයන් විවිධ ආකාරයට ඇති බවක් ප්රායෝගිකව දැකබලා ගැනීමට හැකියාව ඇත .

අඹ විදීමේ කවි ගායනා (සියනෑ )

සත වෙත මහ කුලුනෙන් සිත නිතො රා
සෙත දෙන පලකල මග පල සත රා
සතර දියත පරසිදු ගුණ ගැඹු රා
සිත සතොසින් නමදිමු මුණි පව රා
බවගිම් දැනගත් කුලුනෙන් සොබ නා
මනරම් සග මොක් සැප සිදුකර නා
නරදම් සැරියුත් වදහල බසි නා
නමදිම් සදහම් නිති බ බැති පෙමි නා
පවර සිතසෙ පව් ඝනදුරු බින්ද න
නොහැරම දන රජ දල දප බින්ද න
පවර නොයෙක් රජ සුරනර වන්ද න
නිතර සිතසෙ නමදිම් මුණි නන්ද න
යසසින් වැඩි පත්තිනි තද තෙදි නේ
නුවරට ලග පඩි නිරිදුගෙ උය නේ
වටකොට අඹ දහසක් පිරිවරි නේ
අකලට අඹයක් පලගති උය නේ
ගහකොළ අතුරෙහි තිබෙන රගේ යා
මනනද කරවන මවිත අඹේ යා
දින දින තෙදරැස් පැතිර තිබේ යා
රන් කලසක් මෙන් පැතිර තිබේ යා
නිරිදුගෙ මෙහෙවර බලන බසින් නේ
සැමදා විසිතුරු සොයන ලෙසින් නේ
පැහැද උයන් ගොව්වට සිත දුන් නේ
ගොව්වා උයනට වැද විමසන් නේ
පානදුර තොටමුන කෝරළයේ මඩුයාගවලදීද
ඉහත සදහන් කවි ගායනාවන්ම බාවිතා කරනු ලැබේ .
 

අඹ විදමන කවි (අළුත්කූරු කෝරළය )

දඹදිව් තල පොර නේ
බරණැස නමින් සැදු නේ
දැක ඔබ දිව නෙති නේ
උපන් පලමුව හදුන්උය නේ
පඩිරජුගෙ උයන ට
වැඩියා පතිනි ලොබ කො ට
පඩි නෙත මකන්න ට
අඹෙන් උපනැයි එසත් වාරෙ ට
නමින් පසිදු දඹදිව් තල පඩි රට
රජකල නිරිදු ට
යොදුන් ගනන් අඹ උයනේ ගොස්විය
එහි සැදුනි යස ට
ඇසින් බලා බැරි නිමවනු රන් කද
වැනි ගසේ පා ට
ගොසින් පතිනි අඹ උයනේ පිලිසිද
ගති එසත් වර ට
උයනේ වෙන පලගත් අඹ පිලිකුන්වී
වැටෙයි බිම ට
කොතනේ බැලුවත් මේසැටි අඹයක්
නැත මෙහෙම රුව ට
වඩිනේ අඹයේ තෙදරැස් දිනිදු
සේම උදගිර ට
එදිනේ ගොස් ආඹේ ලකුණු කී
රජ සිරිපා වැද සි ට
පුරුක් නවය සන්දි තිබෙන දුන්න
අදිති වර නවන් ට
වරක් විදපු ඊය මෙසේ කිව් නිරිදුට
උඩ බලන් ට
කලක් පවතිනා අණසක ගුවනේ
කැරකී තිබෙන් ට
උලක් ඇනපු ලෙස අඹ කිරි වැටුනේ
පඩි නෙත මැකෙන් ට
ඇරිය සැරේ අඹ නටු මුල කැපී ලා
සැරේ යාය ආපසු කැර කැවී ලා
ඊය ගොසින් කිරි මුහුදට වැටී ලා
ගියා ඉබේ පඩිරජු නෙත මැකී ලා
 

අඹ විදමන කවි(රයිගම් ,හේවාගම් කෝරළ )

පත් සාගත වැද සොලිරට ත දේ
මෙත් කරවන සව්සත හැම ස දේ
නිත්තෙන් බිදුනයි පඩියගෙ ඔ දේ
පත්තිනි දෙවි මිස වෙන නැත තෙ දේ
වෙස් ගෙන බමුණෙකු විලස ටා
ගොස් සොද අංජනගිරි මුදුන ටා
ගොස් දන් ගනිමැයි කියු විලස ටා
විස්කම් බල පෑවයි එඅමවි ටා
අඹයට විදිනා ලෙස නොව හැ රා
දඹදිව ඇති නිරිදුගෙ පිරිව රා
නුඹ මහිමෙන් සිට පඩි නුව රා
සබයට ආසැටි අස වෙස ජ රා
තොපට බරිය විදගන්නට අඹය මෙ මෝ
විද විද මදක් නොහැකිය අපි පසු නොබො මෝ
උද උද මදක් ජරපත් තෙපලා හ මෝ
තෝද අඹය විදිනා ගෙරි නාකි හ මෝ
දහස් අතින් දෙවි වඩි තා
දිමුත් අඹය විදිමි ඓ තා
දොලොස් සන්දියකින් යු තා
නොලස්වමින් දුන්න ග තා
උඩ යන සැරයෙන් නිවර ද
යලි එන සැරයෙන් නිවර ද
විදිනා විදමන් අරුම ද
විද්දොත් යෙහෙකැයි කී ස ද
අසක් නටුව කපා ගෙ නේ
නිසක් මුදා ගත් බැවි නේ
එසක් පුරට වැද ගොසි නේ
නොලස්ව යලි එන ගම නේ
ගුගුරා ගෙන ගොස් නටු වා
ඉදුරා කැපුවයි නටු වා
සොදුරා අඹයේ නටු වා
ඉදුරා කැපුවයි නටු වා
තෙදින් පතිනි සද එවි ටා
සොදින් බිමට ලන් වන් ටා
පවන් උදය රිවි ලෙස ටා
ගුවන් තලේ අඹය න ටා
ලොල්ල වඩන ඉද මහිම ට
අල්ලා වියනක් අහස ට
මුළු ලොව කෙලි පුද පඩුර ට
දුල්ල අඹය බැසපු බිම ට
අසමින් රජුගෙන් එබ සා
කොටමින් ඔරුවක් සක සා
ඝණ රන් සැලි අඹය ව සා
ඇරියයි ගග මැද නොල සා.
 
.....................................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී 
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
.....................................................................................

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...