Saturday, December 3, 2022

ගාල්ලේ ගරාගල - ගරා යක්‍ෂයාගේ අවතාරය සැරිසරන

රූමස්සල කඳුවැටියට පහළින් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය හරහා වැටී ඇත්තේ කඩවත ගංගාවයි. කඩවත ගංගාවට සමාන්තරව වම් පසින් පැරැණි ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගය පිහිටා තිබී ඇත. ගඟ හරහා දමා තිබූ පාලමේ යකඩ කණු තවමත් එහි දක්නට ඇත්තේය. කඩවත ගංගාව මුහුදට වැටෙන මෝයකට ආසන්නයේ දක්නට ඇත්තේ විශාල ගල් පර්වතයකි. මෙකී ගල් පර්වතය අද වන විට විශාල ගසකින් වැසී තිබේ. මෙකී ගල් පර්වතය අන් ගල් පර්වතවලට වඩා සුවිශේෂී වූවකි. 
 
රූමස්සල පැරැන්නන් අෑත අතීතයේ සිටම මෙකී ගල් පර්වතය හඳුන්වන්නේ ගරාගල යන නමිනි. මෙකී ගල් පර්වතයේ ඉහළ කොටස නයි පෙණයක හැඩයෙන් පහළට නැමී ඇත්තේය. එහි කිහිපදෙනකුට නොපෙනී සිටිය හැකි අවකාශයක් දක්නට ලැබේ. ගරා යක්‍ෂයා මෙකී ගල් පර්වතය අසල වාසයකොට ඇති බව පැරැන්නෝ කියති. 

"ඇත්තටම මේ ස්ථානය හරි අද්භූත තැනක්. මාළු, මස් වැනි පිළී වර්ග මෙතැනින් ගෙනයන්න දීලා නැහැ. ගල් පර්වතය ළඟ හිටපු කවුරුහරි ඒවා අරගෙන තියෙනවා. මේ නිසා ගමේ අය බය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අයට තොවිල්පවිල් කිරීමටත් සිදුවෙලා තියෙනවා." 


Gara Yaka Dance at Maharagama Gammaduwa
පමුණුව දේවාල පාර ගම්මඩුව ගරා යකා ශාන්තිකර්මය 2022
 
රූමස්සල ප්‍රදේශයේ පරිසරවේදියකු වන ටී. එච්. වික්‍රමපාල ගරාගල ගැන තොරතුරු කීවේය.  සැබැවින්ම ගරාගල හා බැඳුණු කතාන්දර රාශියකි. එක් දිනෙක යාගයට ගිය බෙර වාදකයෙක් මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටියේය. ගරා යක්‍ෂයා බෙරකරුට හඬ ගැසුවේය. තමන්ට නැටීම සඳහා බෙරය වාදනය කරන ලෙස ගරා යක්‍ෂයා බෙරකරුට අණ කළේය. බෙරකරු බෙරය වාදනය කළ අතර ගරා යක්‍ෂයා බෙර පදයට නැටුවේය. දිනපතා හවසට පැමිණ තමන්ට නැටීම සඳහා බෙරය වාදනය කරන ලෙස ගරා යක්‍ෂයා බෙරකරුට අණ කළේය. මේ නිසා තමන්ට බලි තොවිල්වල යෑමට නොහැකිවීමෙන් දරු පවුලේ බඩවියත සොයා ගැනීමට නොහැකි වී ඇති බව බෙරකරු ගරා යක්‍ෂයාට කීවේය. මේ නිසා දරු පවුල කුසගින්නේ සිටින බවද බෙරකරු කීවේය.

බෙරකරුගේ මේ කතාව අසාගෙන සිටි ගරා යක්‍ෂයා මේ වැල්ලෙන් වැලි ගෝනියක් නිවෙසට රැගෙන යන ලෙස බෙරකරුට අණ කළේය. පුදුමයකි, බෙරකරු වැලි ගෝනිය රැගෙන නිවෙසට ගියේය. එම වැලි ගෝනිය සහල් ගෝනියක් බවට පත්ව තිබිණි. එක් දිනක් බෙරකරු බෙරය වාදනය කරමින් සිටියදී වර්ෂාවක් කඩා හැලෙන්නට විය. මේ නිසා බෙරය තෙමෙන බව බෙරකරු ගරා යක්‍ෂයාට කීවේය. ඉක්බිති ගරා යක්‍ෂයා ගල්පොත්තේ ඉහළ කොටස නයි පෙණයක් ආකාරයෙන් නැව්වේය. ඉන්පසු බෙරකරු නයි පෙණය තුළ ගොස් බෙරය වාදනය කළේය. 

Garayak Shanthikarmaya | ගරායක් ශාන්ති කර්මය
Mahanama College Dewol Maduwa - 2022

"මේ ගරාගල ආසන්නයේ ධීවර තොටුපොළ කිහිපයක් තියෙනවා. අනෙක් කාරණය තමයි රූමස්සල මුහුද අවට විශේෂිත මාළු වර්ග 26ක් පමණ තියෙන බවත් පර්යේෂණ මඟින් අනාවරණය වෙලා තියෙනවා. ඇත්තටම මේ ස්ථානයෙන් ගමන්ගත් ධීවරයන්ට පසුකාලීනව රාත්‍රි කාලයේදී මේ ගල් පර්වතය තුළින් නික්මෙන බෙර හඬ ඇසී තියෙනවා." ඇතැම් ධීවරයන් මෙතැනින් යන්න බය වෙලත් තියෙනවා. ගරා යක්‍ෂයාගේ අවතාරය තවමත් මේ ස්ථානයේ ඉන්න බවට විශ්වාසයක් තියෙනවා. වික්‍රමපාල කීවේය. ඒ විතරක් නොව ඔහු මා සමඟ තවත් හරි අපූරු කතාවක් කීවේය.

"මීට වසර කිහිපයක පමණ ඉහතදී මේ ප්‍රදේශයේ අයකු මේ ගල් පර්වතය ළඟ සංගීත සන්දර්ශනයක් පැවැත්වූවා. විදුලි බුබුළු දමලා ජයටම සංගීතය කළා. නමුත් ඒ සංගීත සන්දර්ශනයෙන් පසු ඔහුට වැඩි කාලයක් ඉන්න වුණේ නැහැ. ඔහු මිය ගියා. ඇත්තටම මේ ස්ථානයේ නොපෙනෙන අද්භූත බලවේගයක් තියෙනවා. 

සැබැවින්ම ධීවර කාර්මිකයන් අතර සිදුකරන යාතුකර්ම අතර ගරායක් නැටුමට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. රූමස්සල හා ඒ අවට ධීවර කර්මාන්තයෙන් යැපෙන ධීවර කාර්මිකයන්විශාල පිරිසක් සිටිති. රූමස්සල කන්ද පාමුල පිහිටි ගරාගල තුළින්ද පැහැදිලි වන්නේ මෙහි ධීවරයන් අතර අෑත අතීතයේ සිටම ගරායක් නැටුම් වැනි යාතුකර්ම පැවැති බවය. කළුවැදි යකා, ගරා යකා යන යක්‍ෂයන් පිළිබඳ විශ්වාස ධීවරයන් අතර අනාදිමත් කාලයක සිටම පැවැතීගෙන එයි. ගරා යක්‍ෂයා ඇතුළු වෙනත් යක්‍ෂයන්ගේ භූතාත්ම මුහුදට අරක්ගෙන ඇතැයි ධීවරයෝ විශ්වාස කරති. ගරායක් නැටුම ධීවර තොටුපොළවල නැටීමෙන් ධීවරයන්ට මහ මුහුදේදී රැකවරණය ලැබී මාළු සුලබ ලෙස ලැබෙතැයි විශ්වාසයක් පවතී. අදත් ගරායක් නැටුම දකුණු මුහුදු තීරයේ ධීවර තොටුපොළවල සිදුකරයි. ගරා යක්‍ෂයා මස්, මාළු ඇතුළු කෑමවලට ගිජු අයෙකි. 
 

 Rare Devil Gara Yaka Mask Dance - Arawwala 
(Three-day Gee Madu Festival) Gammaduwa 2023

"මහා අද්භූත අමනුස්සයන් කොටසක් මහ මුහුදේ ජීවත් වනවා. මේ අද්භූත සත්ත්වයන් මහා සාගරයට සිත් අල්ලාගෙන ජීවත් වෙනවා. ඇතැම් කාලවලදී මාළු හිඟ වෙනවා. සුළං කුණාටු ආදී විපත්වලින් ධීවරයන්ට බලපෑම් එල්ල වෙනවා. මේ නිසා තමයි ධීවරයන් ගරායක් නැටුම පවත්වන්නේ." ගුප්ත හා පහතරට නර්තන ශිල්පී ලක්‍ෂ්මන් හේවගේ මහතා කීවේය.
 
ගරා යක්‍ෂයා යක්‍ෂ කොට්ඨාස අතර පුද ලබන යක්‍ෂයකු විදියට පත් කරනු ලැබ ඇත්තේ පත්තිනි දේවිය විසිනි.

අයිලක් පෙර තබා
අයිලෙට බතුත් පුදවා
වෙස් අත්ත සිටුවා
ඇවිත් සබ මැදට පැන්න ගරවා

මේ ගරා නැටුමේ එන එක් කවි පදයකි. ගරා යකුමේදී ගරවා බෝට්ටුවකින් මහ මුහුදට ගොස් දෙහි කපා ශාන්ති කර්මයක් සිදුකරයි. ධීවර ආම්පන්න පේ කිරීමද සිදුකරයි.

"අද ගරා යකුම දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අද වන විට මේ ශාන්ති කර්මය ධීවර ප්‍රජාවගෙන් අෑත්වෙලා. වස්‍ෙදාස් යන්න ගරා මුහුණු නිවාසවල ගහලා තියෙනවා. නමුත් මේවා නිවාසවල ගහන්න ඕනෑ ශාස්ත්‍රානුකූලව නැකැතට." ගරා යකුම ගැන ගුප්ත වෛද්‍ය ලක්‍ෂ්මන් හේවගේ කීවේය. ගරාගල මෙන්ම රූමස්සල කඳු වැටියේ පිහිටි නයිගල් පොත්තද විශේෂ අවධානයට ලක්වූ තැනකි. වික්‍රමපාල අයියා නයිගල් පොත්ත ගැනද තොරතුරු රැසක් මා සමඟ කීවේය. 
 
 
Traditional Ritual Devil Gara Dance
ශ්‍රී රන්කඩු දේවාලයේ දිය රැණ කෙළිය සහ ගරා ශාන්තිකර් මය 2022
 
"නයිගල්පොත්තේ කිසිදිනෙක නොසිඳෙන දියවැලක් තියෙනවා. මේ ගලට ගලකින් හෝ ලෝහ කැබැල්ලකින් පහරදුන්විට එය නින්නාද වෙනවා. හරියට ඝණ්ටාරයකට පහර දුන්නා වගේ. අෑත අතීතයේදී මෙම ගල්තලාව නාගයන්ගේ විමානයක්. සුවිසල් නාග රාජයෙක් මෙහි සැරිසැරූ බවත් මෙකී දිය වළෙන් එම නාග රාජයා පවස නිවාගත් බවත් සඳහන් වෙනවා." වික්‍රමපාල අයියා කීවේය.

"මේ නා විමනේ රජු වශයෙන් වාසය කරලා තියෙන්නේ සුදු පැහැති නාගයෙක්. ඉතා කලාතුරකින් තමයි පේන්න ඉඳලා තියෙන්නේ. මේ නාගයා කිසිවකුටත් හිංසා කරලා නැහැ. බොහොම තේජෝබල සම්පන්න නා රජකු බව තමයි සඳහන් වන්නේ." වික්‍රමපාල නයිගල් පොත්ත ගැන තොරතුරු හෙළි කරමින් කීවේය. 

සමහර රාත්‍රින්හි මෙම ගල්තලාව මතින් විහිදෙන දීප්තිමත් ආලෝකයකින් අවට කැලය ඒකාලෝක වී ඇති බවද සඳහන් වේ. එම ආලෝකය මහ මුහුදේ ගමන් ගන්නා නාවිකයන්ටද පෙනී තිබේ. "මේ ගල්තලාව අසල ඉඩම් එළිපෙහෙළි කිරීමේදී එකම දිනකදී නාගයන් 33ක් මරලා තියෙනවා. මේ ගල්තලාව එකල නාගයන්ගේ විමානයක්. ගල්තලාව අසල ජීවත් වූ සුදුවන් නාග රාජයා හනුමන්තා මෙම කඳු වැටිය හිමාලයේ සිට රැගෙන ආ යුගයේදී පැමිණ ඇති බව සඳහන් වෙනවා" යැයිද වික්‍රමපාල කීවේය.

එමෙන්ම මෙම ගල්තලාව මඟින් අතීතයේදී ආලෝක දහරා විහිදීමට හේතුවී ඇත්තේ මෙම නාග රාජයා සතුව පැවැති නීලකණ්ඨ මාණික්‍ය වමාරා ගල්තලාව මත තැබූ අවස්ථාවලදී බව පැරැන්නෝ පවසති.

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...