Thursday, December 22, 2022

ලොවක් මවිත කළ සිංහල නැට්ටුවා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ

යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා, නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ. පියාගේ නම කිරි උක්කුවා. කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක පනික්කි ගුරුන්නාන්සේ කෙනෙක්. ගුණයා කිරි උක්කුවගේ එකම පුතා. උඩරට කැරැල්ලෙ දී කැප්පෙටිපොළ නිළමේ එක්ක හිටපු නිත්තවෙල මහා පනික්කියා නිත්තවෙල ගුණයගේ මී මුත්තා.
 
ගුණයා අවුරුදු හතරේ ඉඳන් නැටුම් ඉගෙන ගත්තා. අවුරුදු අටේ ඉඳන් මහනුවර සිරි දළදා පෙරහරේ නැටුවා. අවුරුදු දහ අටේදි වෙස් කිරුළු පැළැන්දා. අවුරුදු පනස් හතක් නුවර පෙරහැරේ නැටුවා. සමනල වන්නම, තුරඟා වන්නම, මහබෝ වන්නම, මයුරා වන්නම නිත්තවෙල ගුණයගේ ම නිර්මාණ. පණ්ඩිත් අමරදේවයන් ගයන ‘වැලිතල අතරේ’ ගීතය චන්ද්‍රරත්න ශ්‍රී මානවසිංහයන් රචනා කළේ මහබෝ වන්නමට අනුව.
 
නිත්තවෙල ගුණයා 1927 දි ජර්මනියේ නැටුවා. 1957 දී රුසියාවේ තිබුණු ලෝක තරුණ සම්මේලනයට සහභාගි වුණු ලංකා සංස්කෘතික කණ්ඩායමේ නායකයා නිත්තවෙල ගුණයා. යුරෝපා සංචාරයේ දී නිත්තවෙල ගුණයා එංගලන්ත මහා රැජිනගේ ප්‍රශංසාවට පවා ලක් වුණා. නිත්තවෙල ගුණයා 1958 දී ෆිල්ම්⁣ෆෙයාර් සම්මාන උලෙළේ නැටුවා. ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පිටු හතරක් නිත්තවෙල ගුණයගේ නැටුම්වලින් පිරුණා.
 
ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ උගන්වන්න ලැබුණු ආරාධනාව නිත්තවෙල ගුණයා ප්‍රතික්ෂේප කරා. ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව වැනි රටවල්වල නිත්තවෙල ගුණයා අතීශය ජනප්‍රිය වුණා. 1950 අගමැති ඩී.ඇස්.සේනානායක මැතිතුමාගේ උපදෙස් පරිදි නිදහස් සමරු මුද්දරේ සැරසුණේ නිත්තවෙල ගුණයගේ රුවෙන්. අගමැති බණ්ඩාරනායක මැතිතුමා නිත්තවෙල ගුණයව ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුවා. 1975 දී ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් නිත්තවෙල ගුණයව සම්මානයෙන් පිදුවා.
 
2005 ඉඳන් අද දක්වාම රුපියල් පනහේ නෝට්ටුව නිත්තවෙල ගුණය⁣ගේ රුවෙන් සැරසෙනවා. දෙස් විදෙස් සඟරා, පර්යේෂණ ග්‍රන්ථ සිය ගණනක නිත්තවෙල ගුණයා ගැන ලිපි පළවුණා. 1947 ජර්මනියේ දී නිත්තවෙල ගුණයට ලැබුණු රන් සම්මානය කොළඹ දී පාදඩයෙක් හොරකම් කරා.
 
බිරිඳ ‘සොඳිනා’ ත් දියණිය ‘අමරාවති’ත් මිය ගිය පසු නිත්තවෙල ගුණයා තනි වුණා. අන්තිම කාලේ නිත්තවෙල ගුණයා ජීවත් වෙන්නෙ කෝපි කඩලා. කෝපි කඩන අතරේ දිමි ගොට්ටක් ඇහැට වැටිලා නිත්තවෙල ගුණයගේ එක ඇහැක් අන්ධ වුණා. ජීවිතේ අවසා⁣න භාගයේ අන්ත අසරණ ජීවිතයක් ගත කරපු නිත්තවෙල ගුණයා රෑ නින්දේදි කුප්පි ලාම්පුව පෙරළී පිලිස්සී මිය ගියා.

ධර්ම ශ්‍රී නන්දලෝචන / ඡායා : ලයනල් වෙන්ටඩ්

-----------------------

ලොවක් මවිත කළ සිංහල නැට්ටුවා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ

ශ්‍රී ලාංකේය නර්තන ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණ නාමයකි නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ. මුල්වරට මුළු යුරෝපය ම මවිත කළ සිංහල නැට්ටුවා ඔහු ය. ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව යන රටවල් සිය නර්තනයෙන් මවිත කළ මේ අසහාය නැටුම් ශිල්පියා අපේ සිංහල නැටුම යුරෝපීයන්ට හඳුන්වා දුන්නේ ය.

1950 වසරේ ගුණයා ගුරුන්නාන්සේ දළදා මාළිගාව පසුබිමක නර්තනයේ යෙදෙන ශත 04 ක වටිනාකමින් යුත් තැපැල් මුද්දරයක් නිකුත් කර ඇත්තේ මේ කලාකරුවාගෙන් අපේ රටට සිදු වූ සේවය අගය කරමිනි. මෙය අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ උපදෙස් පරිදි ප්‍රථම වරට රජයක් සිංහල කලාකරුවකුට කළ ඉහළ ම උපහාරය ලෙස සැලකිය හැකිය. 1950 වසරේ නිදහස් දින උත්සවයේ දී විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ගුණයා ගුරුන්නාන්සේ ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ද වාර්තා වේ.

මහාචාර්ය තිස්ස කාරියවසම් හා මහාචාර්ය මුදියන්සේ දිසානායක විසින් රචිත “විශ්ව නර්තනයේ විශිෂ්ට චරිත” නම් කෘතියේ සඳහන් කර ඇත්තේ ගුණයා මහතාගේ රුව ගැන විවිධ අදහස්, මත තිබුණ ද Encyclopedia of Sri Lanka කෘතියේ සී. ඒ. ගුණවර්ධන මහතා කර ඇති සටහන අනුව ගුණයා මහතාගේ රුව සත්‍ය තොරතුරක් ලෙස පිළිගත හැකිය.

හුන්නස්ගිරි කඳු පාමුල දුම්බර මිටියාවතේ නිත්තවෙල ගම්මානයේ දී 1905 වසරේ උපත ලැබූ මුල්යද්දෙස්සලා ගෙදර ගුණයා මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර වටපුළුව පාසලෙනි. ඔහු ඉගෙන ගෙන ඇත්තේ 5 වන ප්‍රමාණය තෙක් පමණි. ඔහු පැවත එන්නේ හයවෙනි බුවනෙකබා රජුගේ යුගයේ සිටි උඩරට කීර්තිමත් නැටුම් පරම්පරාවකිනි. ඔහු ගේ මී මුත්තා වූයේ උඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ නිලමේ සටන් කළ නිත්තවෙල මහ පන්නික්කියා බව මාධ්‍යවේදී උලපනේ ගුණසේකර සඳහන් කර තිබුණි. ඔහු කියන ආකාරයට මහනුවර වටපුළුව පාසලේ දී නාථ දේවාලයේ තේවාවට හිමිකම් කියූ නිත්තවෙල පවුලේ අය මහනුවර දළදා පෙරහැරේ ද නැටුම් දැක්වූ බව ද එ් පරම්පරාවේ ගුණයා නම් දහතුන් හැවිරිදි දරුවා 1924 දී නිත්තවෙල පුරාණ විහාරයේ දී හා පුරා කියා නැටූ බව විස්තර කොට ඇත. කුඩා ගුණයාට පරපුරේ නැටුම් කලාව උරුම කරමින් වෙස් බැන්දේ තම පියා නොව ලොකු තාත්තා වූ නිත්වෙල සුරඹා ගුරුන්නාන්සේ විසිනි.

නැටුමට ද දස්කම් පෑ ගුණයා අසල්වැසි ළපටින් සමඟ නටන්නට පටන් ගත් විට දක්ෂ නැටුම් ශිල්පියකු වූ තාත්තාත්, අම්මාත් නිතර දරුවා අධෛර්යවත් කළහ.

“පුතේ උඹ අපි වගේ නට නටා ඉඳලා හරියන්නේ නැහැ. ඉස්කෝලේ ගිහින් අකුරු සෑස්තරේ ඉගෙන ගනින්”

තාත්තා ගේ වදේට පාසලට ගොස් ගෙදර පැමිණි විගස කුඹුරට ගොස් කුඹුරු වැඩවලට සහාය වී හවසට ගෙදර පැමිණ සම වය‍සේ සිටි නෑ සොහොයුරන් හා මිතුරන් සමඟ ගුණයා නැටුම් පුහුණු විය. 1915 දී කුඩා ගුණයා මහනුවර පෙරහරේ නටනු දුටු එකල කොළඹ සත්තුවත්තේ අධිපතිවරයාව සිටි ජෝන් හෝගන්බර්ග් මහතා මේ ගැටයා ගැන කොතරම් පැහැදුණා ද යත් ඔහුට ජර්මනියට යාමට ඉඩ ප්‍රස්තාව ලබා දී ඇත. ඒ ගුණයා ගේ ප්‍රථම විදේශ ගමන විය.

“නිත්තවෙල ගුණයා” යන නාමය ලෝකයේ නර්තන ලෝකයට ඇතුළත් වූයේ “තියටර් ඉන් ද ඊස්ට්” (පෙරදිග රඟහල) ලියූ ඇමරිකානු කලා විචාරක ෆෙබියන් බොවර්ස් සහ බෙරිල් ඩී. සූට් ගේ “ලංකාවේ නැටුම් හා යක් නැටුම්” යන ග්‍රන්ථවල ඒ ගැන තොරතුරු ඇතුළත් ව ඇත. මෙහි දීර්ඝ විචාරයක් ‘හොලිඩේ’ නම් ප්‍රකට සඟරාවට ඔවුන් ලියා තිබුණි. මේ සඟරාව පළ කර තිබුණේ විදේශ වලින් පැමිණෙන සංචාරකයන් හා ලංකාවේ නර්තන කලාව ගැන පර්යේෂණය කරන විද්‍යාර්ථින් මහනුවර දී මේ නැටුම් බැලීමට ඇමරිකන් ඩොලර් 10 ක් (1950 දසකයේ) අය කර ඇති බව ය. මේ අතර Observer හා Times of Ceylon වාර්ෂිකව සඟරාවල ගුණයා ගුරුන්නාන්සේ නම් විස්මිත නැට්ටුවා ගැන වර්ණ ඡායාරූප සමඟ අගනා විස්තර පළ කර තිබුණි. සෝමසිරි කස්තුරිආරච්චි විසින් අපට පරිත්‍යාග කරන ලද “1956 ලංකාදීප බුද්ධ ජයන්ති රසවාහිනි” සඟරාවේ ගුණයා කලාකරුවාගේ වර්ණ සමීප රූපයක් සහිත පින්තූරයක් පළ වී තිබුණි. මෙහි එ් ඡායාරූපය පළ වෙයි.

ලෝකයේ පෙර අපරදිග සිටින කල රසිකයන් මේ නැට්ටුවාගේ විස්කම් බැලීමට ඩොලර් 20 ක් වුවද දීමට සතුටු බව පත්‍රකලාවේදී සිරිපාල තිලකසේනයන් “රසවාහිනී” සඟරාවකට ලිපියක් ලියමින් සඳහන් කර තිබුණි. ඔහු මෙසේ ද සඳහන් කර තිබුණි.

“ගුණයා මහතා එදා ප්‍රසිද්ද වෙන්දේසියක විකුණනු ලැබුවොත් ඔහු මිල දී ගැනීමට ලෝකයේ පොහොසත් තරුණියන් බරට බර කිරා දෙනු ඇතැයි කිවහැකි තරමට ඔහු කෙරෙහි ලොකු ප්‍රසාදයක් තිබුණි. 1957 වසරේ රුසියාවේ පැවත්වුණු ලෝක නැටුම් තරුණ උලෙළේ නැටුම් උලෙළේ සිංහල නැටුම් ඉදිරිපත් කිරීමට ගිය ගුණයා මහතා වට කර ගත් රුසියන් තරුණියෝ ඒ මහතාගේ ඇඟ පිරිමදිමින් බව වයසින් මහලු වුවත් පෙනුම තරුණියයි කී හ. නැටුම් පිළිබඳ රුසියන් රන් පදක්කම දිනා ගැනීම ලෙහෙසි පහසු වැඩක් නොවේ. එහෙත් මේ පදක්කම දිනා ගැනීමෙන් නොනැවත්විණි. තම එකම පුත් ඇන්.ඇම්. සෝමදාස සහ ඔහුගේ දියණිය වූ ඇන්.ඇම්. අමරාවතිත් රන් පදක්කම් දිනා ගත්හ.”

ජර්මනියේ දී ගුණයා මහතාට සිදු වූ අපූරු සිදුවීමක් ද ලියුම්කරු විස්තර කර තිබුණි.

වර්ෂ 1955 ඔක්තෝබර් මස බර්ලින් සැණකෙළියේ නැටුම් කණ්ඩායම ගුවන් තොටුපොළින් බැස නවාතැනට ගිය ඇසිල්ලේ ම රූමත් තරුණ ජර්මන් කාන්තාවක් හති දමමින් දිවැවිත් මෙසේ අසා ඇත.

“මේ නැටුම් කණ්ඩායමේ ගුණයා කියා නැට්ටුවෙක් ඉන්නවාදැයි” එහි සිටියකුගෙන් ඇය විමසුවා ය.

“ඉන්නවා.”

“මට ඔහු වහා මුණ ගස්සන්න. එතුමාගෙන් නැටුම් ඉගෙන ගන්නා තුරු මට සැනසිල්ලක් නෑ.” ඇය කීවාලු.

මේ තරුණිය ප්‍රංසයේ නැටුම් හා රඟපෑම් ඉගෙනීමට එහි ගොස් සිටි මුද්‍රා නිළියකි. පැරිසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවල යෙදී සිටි ලංකාවේ උගත් භික්ෂූන් වහන්සේ නමක් වූ ආචාර්ය වල්පොල රාහුල හිමියන්ගෙන් ඇය ගුණයා මහතා ගැන අසා දැන සිටියා ය. නැටුම් කණ්ඩායම ජර්මනියේ රොටර්ඩෑම් නගරයට පැමිණි බව ඇසූ ඇය තම පියා සමඟ ඇම්ස්ට්‍රඩෑම් නගරයේ සිට මෝටර් රථය පදවාගෙන රෝටර් ඩෑම් නගරයට පැමිණ ඇත්තේ හී සැරයක වේගයෙනි. ඇමස්ටර්ඩ් නගරයේ සිට රොටර්ඩෑම් නගරයට දුර සැතපුම් 100ක් ගෙවා ගුණයා මහතා ආ ගිය සෑම තැනකට ම පැමිණි ඇය ඔහු ආපසු ලංකාවට යනතුරුම නැටුම් ඉගෙන ගෙන ගත්තාය.

1949 වසරේ ගුණයා මහතා බලා ගියේ සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා ලක්දිවට වැඩවීම පිළිබඳ උත්සවයට සහභාගි වීම සඳහා ය. එහි ගිය ගුණයා ප්‍රමුඛ නැටුම් කණ්ඩායම උදය ශංකර්, රාම් ගෝපාල් වැනි භාරතීය නර්තන විශාරදයන් පැසසුමට ලක් වූ බව ඉන්දියාවේ පළ වූ “ස්ටේට්ස්මන්” පුවත්පතේ කලා විචාරකයා සඳහන් කර තිබූ බව “සිළුමිණ” පුවත්පතේ එදා චිත්‍ර ශිල්පියකුව සිටි ඇස්.ආර්. හේමපාලයන් පවසා තිබිණි. එහි වැඩි දුරටත් මෙසේ සඳහන් වී තිබිණි.

“ආදී කල්පිත නැටුම් කලාවක් රැගෙන දැනට දිල්ලියට පැමිණ සිටින ලංකාවේ නිත්තවෙල ගුණයා මහතා තමන් ප්‍රගුණ කළ කලාවේ නිපුණත්වයට පත් වූවෙකි. ඔහු ගේ නැටුම් කොතරම් සියුම් ද යත් ඒවා රුසියාවේ මුද්‍රා නැටුම්වලට සම කළ හැකිය. ආදී කල්පිත යුගයේ වෙනත් රටවල මිනිසුන් සතුන් සමඟ වනචාරී ව හැසිරෙන අවදියේ පවා සිංහලයන් සතු මහඟු කලා සම්ප්‍රදායක් පැවති බව මේ නැටුම් බලා නියාමනය කළ හැකිය. භාරත නැට්ටුවන්ට ලංකාවේ සිංහල නැටුම් වලින් ගත හැකි පාඩම් බොහෝ වෙයි. දිල්ලියේ පමණක් නොව ඉන්දියාවේ සෑම නගරයක ම ගුණයා ප්‍රධාන නැටුම් කණ්ඩායම පිළිගත්තේ ලංකාවේ තානාපති පිරිසක් පිළිගන්නවාටත් වඩා ගෞරවාදරයෙන් යුතුව ය.”

බෙරිල් ඩී. සූට ඉන්දියාවේ හා බාලි දූපත්වල ගැමි ශාන්ති කර්ම හා නර්තනය පිළිබඳ පර්යේෂණ කළ අතර 1935 වසරේ ලංකාවට එන්නේ ආචාර්ය ගුණපාල මලලසේකර ගේ අමුත්තියක ලෙස බව මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ලියන ලද “ශ්‍රී ලාංකික නර්තනයේ විකාශනය (1908 - 1978)” කෘතියේ සඳහන් කරයි. බෙරිල් ඩී. සූට් (විවාහයෙන් පසු සෙලින් කෝට්) තම ලංකා ගමනේ දී ගුණයා ගුරුන්නාන්සේගෙන් ඉගෙන ගත් කාලයේ දී ලැබූ අත්දැකීම් දින පොතේ ලියා තිබුණා ය.

1935 දෙසැම්බර් 06

ගුණයා ගේ වන්නම් කිහිපයක් නැටුවේ ය. සිංහ, අශ්ව හා නෛඅඩි නැටුම් සුන්දර ය. කිරළා වන්නම ද ලස්සනය. මේවා අනුකරණාත්මක නොවන අවස්ථා තිබේ. මුසලඩි, ඉබ්බා හා වඳුරා එවැනි අවස්ථා ය. ගුණයා ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන මට නම් සැකයක් නැත.

1935 දෙසැම්බර් 20

මලලසේකරගේ නිවසෙහි රාත්‍රී කෑම ය. ගුණයාගේ කණ්ඩායමට විරුද්ධ ව ගම්මුලාදෑනියා සටන් කරති. හේතුව ඔවුන් ගම හැර කොළඹ යෑම ය.

නිත්තවෙල ගුණයාගෙන් උඩරට නැටුම් හදාරන්නට රොක් ෆෙලර් ආයතනයේ වියදමින් 1950 අප්‍රේල් මාසයේ ලංකාවට පැමිණි රාගනි දේවි නම් ඇමරිකානු නිළිය මෙරට මාස තුනක් ගත කොට ඇති බවද ඉහත කී කෘතියේ සඳහන් වෙයි.

ගුණයා ගුරුන්නාන්සේගේ දස්කම් අපේ රටට ම මෙන් ම මුළු ලෝකයටම හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ මහා පත්‍ර කලාවේදී ඩී.බී. ධනපාල මහතාට ය. ධනපාල මහතා විසින් 1962 ලියන ලද Among Those Present කෘතියෙන් ගුණයාට විශේෂ තැනක් ලැබුණි. ධර්මපාල තුමා; කුමාරස්වාමි; ඩී.ඇස්; ඩඩ්ලි; කොතලාවල; බණ්ඩාරනායක; ඔලිවර් පිලිප්; සිරිමාවෝ; පරණවිතාන; කුලරත්න; මෙත්තානන්ද; ආටිගල; සරච්චන්ද්‍ර; යක්කඩුවේ හිමි; හුළුගල්ල අතර සිටි මේ මහැඟි කෘතියේ කලාකරුවන් සිටියේ සොයිලියස් මැන්දිස් හා ගුණයා පමණකි. Among Those Present කෘතියේ ගුණයා මහතා ගැන ධනපාලයන් විසිතුරු ඉංග්‍රීසි බසින් සටහන් කර තිබිණි.

“කිසිදු සිනමා තරුවක් හෝ දේශපාලඥයෙක් වෙස් තට්ටුවෙන් සැරසී සිටින ගුණයා ගුරුන්නාන්සේ පමණට සේයාරූවලට නැංවී නො මැත. ඔහු ගේ සේයා රූ සතර දිග් භාගයේ නර්තන ශාස්ත්‍රය පිළිබඳ සඟරාවල සහ ජනප්‍රිය සතිපතා පුවත්පත්වල පළ වී ඇත. ඔහුගේ නර්තන ශෛලියෙහි ජීව ගුණය, අනුප්‍රාණය අවශේෂ නර්තනවේදින් සමඟ සමාන්තර නොවන තුලනය කළ නොහැක්කකි. නර්තනය ඔහුගේ ජීවිතය වැන්න. ඔහු නර්තනයෙහි නියැළෙන විට තම සිරුරේ සියලුම මාංශ පේශීන් නර්තනයේ යෙදෙන්නේ උදය ශංකර් නම් වූ ශ්‍රේෂ්ඨ නර්තනවේදියා අපට සිහි ගන්වමිනි.

“ඔහු විස්මිත නර්තනය නිමාවට පත්වත් ම සහෘදය ඔබ නැවතත් පය ගසා සිටින ලොවට ම පැමිණෙනුයේ සුසුමක් සමඟ හෝ සිගරැට්ටුවක් දල්වා ගැනීමෙන් විය හැකිය. එය ඔහු අයස්කාන්ත නර්තන සළු පිළි උනා දමා සාමාන්‍ය මනුෂ්‍යයකු බවට පත්වීම සදිසි ය. එනම් ඔබ නැවතත් සුපුරුදු අලස විදිහට එළඹෙන අතර ඔහු ‘ගුණයා’ නම් සරල මිනිසා බවට පත් වේ.”

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න 1971 පෙබරවාරි 16 වැනිදා ‘සරසවිය’ පුවත්පතට ගුණයා ගුරුන්නාන්සේ හමු වීමට ගොස් අපුරු විශේෂාංගයක් ලියා තිබුණි. එහිදී ඔහුට ගුණයා මහතා තමාට ලැබුණු රුසියාවෙන් ලැබූ රන් පදක්කම ගැන සඳහන් කරමින් මෙසේ කියා ඇත;

“වෙන රටක් ඔය රන් පදක්කම ගත්තා නම් මහත්තයෝ ඒ මිනිහට පෙරහර කරයි. මට එහෙම ඕනෑ නෑ. ඒ සම්මානෙ ලැබුණේ අපේ නැටුම නිසා උඩරට නැටුමට වත් ඕන සැලකිලි ටික නොකරන එකයි මට දුක. දළදා පෙරහැරට නැටූ නැට්ටුවකුට කවදාවත් වැරදිලා නෑ. මට ඒක ලෝකෙ වටේ යනවට වඩා අගෙයි.”

තමාගෙන් නැටුම් ඉගෙන ගත් සිසුන් අතර අන්තර්ජාතිකයන් බොහෝ වෙතැයි ගුණයා පවසා ඇති අතර ලංකාවේදී තම ශිෂ්‍යයන් අතර හීන් බබා ධර්මසිරි හා චන්ද්‍රලේඛා ගැන ආඩම්බර වී ඇත. 1958 ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් චිත්‍රපට සම්මාන උලෙළේ නැටූ බව ද ඔහුගේ නර්තන සහිත ඡායාරූප එම සඟරාවේ පළ වී ඇති බවත් රාම් ගෝපාල් විසින් ලියූ “ශාස්ත්‍රීය නැටුම් හා ඉන්දිය ආභරණ” ග්‍රන්ථයේද ගුණයා ගැන විශේෂ පරිච්ඡේදයක් ඇති බව ද චන්ද්‍රසිරි සෙනෙවිරත්නයන් සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් නර්තනය කලා සම්ප්‍රදායකි. ගුණයාගේ විශිෂ්ටත්වය වනුයේ ඔහු අන්‍යන්‍යතාවෙන් හෙබි සිතට කාවදින නර්තන ශෛලියක් ඔස්සේ ජව සම්පන්න පෞරුෂයකින් හා ස්වතන්ත්‍ර භාවයකින් එහි ප්‍රබල මුද්‍රාවක් බවට පත්වීමය.”

මහා පත්‍ර කලා ගුරු ඩී.බී. ධනපාල මහතා 1936 දී නුවර පෙරහරේ නැටුම් දැක්වූ ගුණයා තමා පදිංචිව සිටි දෙහිවල නි‌ෙවසට කැඳවා එහි නතර කොට බම්බලපිටියේ නැටුම් ආයතනයක් ආරම්භ කිරීමට පදනම දමා ඇත. උඩරට නැටුමේ සාම්ප්‍රදායික අංග ඇසුරෙන් ගුණයා විසින් ම නිර්මාණය කළ සමනල වන්නම හා මහබෝ වන්නම ගැන ලොවට හඳුන්වා දුන්නේ ද ධනපාලයන් ඉංග්‍රීසි පත්‍රවලට එදා ලියූ විශේෂාංගවලිනි. ගුණයා විසින් සමනල වන්නම හා මහ බෝ වන්නම නැටුම් නිර්මාණය කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහ ශූරින්ගේ එකී වන්නම්වල ගීත රචනා ඇසුරෙනි. මානවසිංහයන් හමුවීමට ගුණයාට අවස්ථාව උදා කර දුන්නේ ද ධනපාලයන් නිසා බව පැවසේ.

‍‍”සිංහල විශ්ව කෝෂයේ” (නවවැනි කාණ්ඩය) කියා ඇත්තේ “කොහොඹ කන්කාරිය” පැරැණි ශ්‍රී විභුතියෙන් යුක්ත ව පැවැත්වීමේ හැකියාවක් නිත්තවෙල කලාපරපුරට හිමිව තිබූ බව ය. ගුණයාගේ නැටුම් නැරඹූ මුල්ක් රාජ් ආනන්ද් නම් මහා භාරතීය ලේඛකයා ද ඔහුට උපදෙස් දෙමින් තමන් උගත් උඩරට නැටුම් වඩ වඩා දියුණු කර ගන්නවා මිස ඉන්දියාවේ වේවා අනෙක් කවර රටෙක වේවා නැටුම් සමඟ මිශ්‍ර කර නො ගත යුතු බව ය.

ලංකාදීප පත්‍රයෙන් “කලා ගුරු” උපහාර නාමය ඔහුට පිරිනැමුණේ 1958 නිදහස් දිනය නිමිත්තෙනි. 1957 ලෝකයේ රටවල් හතළිස් හයක් පරාජය කරමින් රුසියාවේදී හිමිකර ගත් රන් පදක්කම දිනා ලංකාවට එන අතරේ කොළඹ වරායේ දී ඔහුගේ ආභරණ පෙට්ටිය හොරුන් විසින් කැඩීම නිසා සම්මානනීය රන් පදක්කම ද අහිමි වූ බවට එවකට පැතිර ගිය ආරංචියක් බව “දවස” පුවත්පතේ ලේඛක උලපනේ ගුණසේකර වාර්තා කොට තිබුණි.

ගුණයා මහතාගේ ජීවිතයට අභාග්‍ය සම්පන්න කාලය උදා වූයේ ඔහුගේ බිරිය සොඳිනා මිය ගිය නිසාය; ඒ 1975 වසරේ ය. ‘සොඳිනා’ ගැන කතා කරන හැම මොහොතක ම ඔහු කුඩා දරුවකු මෙන් ඉකි බිඳිමින් ඇඬූ වාර අනන්ත ය; අප්‍රමාණ ය.

“මම දළදා පෙරහරට පණ වගෙ ආදරෙයි. මට මේ අවුරුද්දේ විතරයි පෙරහරේ නටන්න බැරි වුණේ. සොඳිනාගෙ අවමංගල්ලෙ හින්දා. ඊටත් වඩා මේ ඇහැ පේන්නෙම නැහැ. ලොකු දොස්තර මහත්තයා පොරොන්දු වෙලා තියෙනවා ඇහැක් දාල දෙනවා කියලා.” ගුණයා මහතා සිළුමිණ චිත්‍ර ශිල්පී හේමපාලට කියූ කතාව 1975 ‘සිළුමිණ’ ට ලියා තිබුණි.

“ගුණයා කොතන නැටුවත් දෝත පාලා යමක් ඉල්ලන්න එපා. තත්ත්වෙ ආරක්ෂා කර ගනින්”

රත්වත්තේ මහා අධිකාරම් ඔහුට දුන් අවවාදය ගුණයා මහතා අකුරට පිළිපැද්දේ “අද වනතුරු මම කාටවත් අතපාලා යමක් ඉල්ලා ගෙන නැතැයි” උදාරම් ලීලාවෙන්, ලියුම්කරුට කියා ඇත.

ගුණයාගේ අවසාන කාල පරිච්ඡේදයේ ඔහු ගොවියකු ලෙසින් ම ජීවත් වී ඇත. නැටුම් කලාවෙන් විශ්‍රාම ගත් හෙතෙම ගොවිතැනින් ජීවිතය ගැටගසා‍ ගෙන තිබේ. ඔහුගේ අනූපමය සේවය අගය කොට 1975 එවකට රජය විසින් ජනාධිපති සම්මානය පිරිනැමුවේය. 1975 සැප්තැම්බර් 14 වෙනිදා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් ගාල්ලේ නගර සභා‍වේ දී ශ්‍රී ලංකා ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් “ජනාධිපති සම්මානය” හා රුපියල් පන්දාහක මුදල් ත්‍යාගය ද පිරිනමා ඇති බව පුවත්පත් වාර්තා කර තිබුණි. එක් පත්‍රයක වාර්තා කර තිබුණේ ජනාධිපති සම්මානය 1973 දී කොළඹ නව රඟහ‍ෙල් පැවති උත්සවයක දී බව ය. එදා ලැබුණු එම ජනාධිපති සම්මානයෙන් උඩඟු නොවී, වෙනත් කලාකරුවන් අනුගමනය නොකරමින් ඔහු එදා සවස පැවති වැස්සේ ම බස් රථයකට නැඟීම පිණිස තෙමි තෙමී ගමන් කළ බව ය.

1975 වසරේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් ගුණයා කලාකරුවා වෙනුවෙන් අරමුදලක් පිහිටුවා ඇත. මේ අරමුදල මඟින් රුපියල් 80,000 ක් ඔහුට ලබා දීමෙන් ශ්‍රී ලංකාවට අත්කර දුන් කීර්තියට ප්‍රණාම පිදූ බව ‘දවස’ මාධ්‍යවේදි සිරිසෝම හෙට්ටිආරච්චි ලියා තිබූ අතර ගුණයා නම් මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා භූමිතෙල් කුප්පියක් පෙරළීමෙන් ඇඳිවතට ගිනි ඇවිළීමෙන් මිය ගිය පුවත ද වාර්තා කොට තිබුණි. ඔහු මිය ගියේ 1979 දෙසැම්බර් 23 වැනිදා ය.

----------------------

 

ගුරු නිත්තවෙල ගුණයා, සත 10 මුද්දරය, රුපියල් 50 නෝට්ටුව සහ කිරුළ මුතු ලිහී ගේය පද රචනාව

වර්තමාන ලෝකයේ අන්තර්ජාලය යනු අපමණ තොරතුරු එකතුවකි. ඒ විසල් තොරතුරු සමූහය අතුරින් නිවැරදි සහ විශ්වාසවන්ත දෑ හොඳින් විමසා තෝරා ගත යුතුය. විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව සැලකීමේදී මේ කරුණ ඉතා වැදගත්ය.

උඩරට නැටුමෙන් ලොවක් වසඟ කල ගුරු නිත්තවෙල ගුණයා පිළිබඳ සමාජ මාධ්‍ය තොරතුරු කිහිපයක් පසුගිය දින ඔබේත් ඇස ගැටෙන්නට ඇති. එතුමන්ට උපහාර පිණිස සමරු මුද්දරයක් නිකුත් කර ඇති බව, රුපියල් 50 නෝට්ටුවේ ඇති රූපය ඔහුගේ බව සහ ඔහුට උපහාර පිණිස රත්න ශ්‍රි විජේසිංහයන් ගීතයක් නිර්මාණය කල බව යනාදී උපකල්පිත තොරතුරැ සමාජ මාධ්‍ය හරහා මහත් විශ්වාසයකින් යුතුව මෙන් ප්‍රජා සන්නිවේදනය විය. එම තොරතුරු සඳහා හිමිවූ ප්‍රතිචාර මඟින් ජනතාව මේ අරභයා කෙතරම් සංවේදී වූවාද යන්නද දැක ගත හැකි විය. ලංකාව, ලෝකයේ පැසසුමට ලක්කළ පුද්ගලයන් අතර නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේට අද්වීතිය ස්ථානයක් හිමිවේ. 1906 පෙබරවාරියේ උපත ලද මේ අසහාය ශිල්පියා, 1979 දෙසැම්බර් 23 වැනිදා දැයෙන් සමුගත්තේය. අදට යෙදෙන ඔහුගේ 41 වන ගුණ සමරුව නිමිත්තෙන් මේ සටහන තබන්නේ ඉහතින් දැක්වූ කරුණු පිළිබඳ සැබෑ තොරතුරු පොදු පාඨකයාට ලබාදීම වෙනුවෙනි.
 

සත හතරේ මුද්දරය

නිදහසින් අනතුරුව, අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගේ උපදෙස් පරිදි ලංකාවේ දෙවන නිදහස් දින යෙදෙන වසර 1950 පෙබරවාරි 4 වන දින ප්‍රථම වරට නිත්‍ය කාණ්ඩයේ මුද්දර නිකුතුවක් (එදිනෙදා වැඩි වශයෙන් භාවිතයට ගනු ලබන මුද්දර) එළි දක්වන ලදී. එහි ප්‍රථමය වටිනාකම සත 04 ක් වන ශ්‍රී දළදා මාළිගය පසුබිම් කරගත් උඩරට නැට්ටුවාගේ (Kandyan Dancer) මුද්දරයයි. මෙම මුද්දරය ගුරු නිත්තවෙල ගුණයාට උපහාර පිණිස නිකුත් කල බව, සහ රජයක් ප්‍රථම වරට සිහල කලාකරුවකුට කළ ඉහළම උපහාරය ලෙස සැලකිය හැකි බව ඇතැම් මූලාශ්‍ර ඉතා උත්කර්ෂයෙන් සඳහන් කර ඇත. 

(යොමුව: අමර හේවාමද්දුම මහතාගේ 'අමරසර 7' කෘතිය, 2016 පෙබරවාරි 'දිවයින' පුවත් පත් බදාදා අතිරේකයේ 'නැටුම් කලාවේ විචිත්රවත් සලකුණ නිත්තවෙල ගුණයා' ලිපිය, 2019 අගෝස්තු 11 වන දින 'දිවයින' පුවත් පතේ 'කුප්පි ලාම්පුවට දැවී ගිය පෙරහැර නැටුමේ උරුමය' යනාදී මූලාශ්ර, අදාල මුද්දරය සහ රුපියල් 50 නෝට්ටුවේ සිතුවම නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ බව පවසයි. 2018 දෙසැම්බර් 15 'සිළුමිණ' කලාපයේ 'ලොවක් මවිත කළ සිංහල නැට්ටුවා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ. නම් ලිපියට අනුව, මහාචාර්ය තිස්ස කාරියවසම් හා මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතුන් විසින් රචිත 'විශ්ව නර්තනයේ විශිෂ්ට චරිත' නම් කෘතියේ සඳහන් කර ඇත්තේ 'ගුණයා මහතාගේ රුව ගැන විවිධ අදහස්, මත තිබුණ ද 'Encyclopedia of Sri Lanka' කෘතියේ සී. ඒ. ගුණවර්ධන මහතා කර ඇති සටහන අනුව ගුණයා මහතාගේ රුව සත්ය තොරතුරක් ලෙස පිළිගත හැකිය' යනුවෙනි. Life වෙබ් ලිපිය : 'අපෙන් සමුගෙන ගිය නර්තන ලොවේ රජවරු' https://www.lifie.lk/2019/11/19/famous-sri-lankan-dancers/
 
සාමාන්යයෙන් මුද්දර නිකුත් කිරීමේදී එහි විස්තර සහිත ෆෝල්ඩරයක් (folder) නිකුත් කරනු ලබන අතර, මෙම නිකුතුවට අදාල ෆෝල්ඩරයේ මෙම මුද්දරය ගැන වන ඉංග්‍රීසි සටහනේ සිංහල පරිවර්ථනය මෙලෙසිනි: "උඩරට නර්තන ශිල්පියා: මුද්දරයේ සම්පූර්ණ චාරිත්‍රානුකූල ඇඳුමින් සැරසී සිටින කැන්ඩියන් නර්තන ශිල්පියෙකු නිරූපණය කෙරේ. මෙම නැටුම් මීට වසර 2,000 කට පමණ පෙර ආරම්භ වූ අතර එය පියාගේ සිට පුතා දක්වාත් ගුරුවරයාගේ සිට ශිෂ්‍යයා දක්වාත් සම්මත වී ඇත. “සවස් යාමයේ අඳුර අතීතයට නැවත පැමිණීම පිළිබඳ හැඟීම් ඉහළ නංවයි. පන්දම් දල්වා බෙර ගසන්නට පටන් ගත් විට, ලංකාවේ එම පුරාණ නැටුම් ක්‍රියාත්මක කිරීමට පරිසරය සැකසේ. එය කෙසේ හෝ දිවයිනේ දිගු උරුමයේ විශිෂ්ටත්වය සංකේතවත් කරන බවක් පෙනේ. සුප්‍රසිද්ධ ඉන්දියානු කලාකරුවෙකු පවසන පරිදි, නැටුම් විස්තර කර ඇත්තේ “ජීවමාන, සිත් ඇදගන්නාසුළු සිහින වල ගලායාම” ලෙසිනි. ඔහු තව දුරටත් පවසන්නේ “චලනයේ කැඩපත” යන ප්‍රසංගය පුරාවටම මගේ හිස පිටුපසට තට්ටු කලේ වාක්‍ය ඛණ්ඩයකින් ප්‍රකාශ කළ හැකි තරම් ඉහතින් භාවිතා කර ඇති රූපයේ ඇති සිංහල නර්තනයේ සාරය ප්‍රමාණවත් ලෙස නිරූපණය නොකෙරේ." යනුවෙනි.


මෙම විස්තරයේ කිසි තැනක නිත්තවෙල ගුණයාගේ නම සඳහන් කර නැත. මුද්දර කියවීමේ ප්‍රාථමික මූලය මෙය වන බැවින්, එහි සඳහන් නොවන්නක් ගැන මෙසේ විශ්වාසවන්තව පවසන්නේ පහත සඳහන් කරුණු අනුව විය හැකිය.
මේ මුද්දර කාණ්ඩය මුද්රණය කරන ලද්දේ එංගලන්තයේ Bradbury Wilkinson & Co Ltd නමැති ආයතනයයි. මුද්රණ ක්රමය Recess හෙවත් මුද්රණ තහඩුවකට මෝස්තරය කැටයම් කර මුද්රණ ලබාගැනීමයි. ඒ සඳහා අදාල රූපය කැටයම්කරුට ලබාදිය යුතුය. අපගේ විශ්වාසය අනුව උඩරට නැට්ටුවා සඳහා ලබා දුන් ඡායාරූපය ගුරු නිත්තවෙල ගුණයාගේ විය හැකිය. මේ කතන්දරය පටන් ගත්තේ එතනින් විය හැකි බව උපකල්පනය කිරීම වරදක් නොවේ.
1950 දශකයේදී ලංකාවේ ජනප්රියතම පුද්ගලයා වෙස් ඇඳුමෙන් සැරසුන ගුණයා ගුරුන්නාන්සේ බව පත්ර කලා ගුරු ඞී. බී. ධනපාල ශූරින් සටහන් කර තිබේ. ඞී.බී ධනපාල මහතා ගුණයා බෙහෙවින් අගය කළ පුද්ගලයෙක් විය. වෙස් ඇඳුමෙන් සැරසුන ගුණයාගේ ඡායාරූපය තරම් ජනප්රියත්වයට පත් වෙන කිසිම දේශපාලන චරිතයක්, සිනමා තාරකාවක් මේ අවදියේදී නොවුන බැව් ධනපාල ශූරීන්ගේ 'Among Those Present' කෘතියේ සඳහන්ය. මේ මහැඟි කෘතියේ සඳහන් විශිෂ්ටයන් අතර ධර්මපාලතුමා, කුමාරස්වාමි, ඩී. ඇස්, ඩඩ්ලි, කොතලාවල, බණ්ඩාරනායක, ඔලිවර්, පිලිප්, සිරිමාවෝ, පරණවිතාන, කුලරත්න, මෙත්තානන්ද, ආටිගල, සරච්චන්ද්ර, යක්කඩුවේ හිමි, හුළුගල්ල, සොයිලියස් මැන්දිස් හා ගුණයා සිටියේය. ධනපාල මහතාගේ අදහස අනුව, ඔහු දන්නා එකම නර්තන ශිල්පියා ගුණයාය.
උඩරට නැටුමේ සාම්ප්රදායික අංග ඇසුරෙන් ගුරු ගුණයා විසින්ම නිර්මාණය කළ 'සමනල වන්නම' හා 'මහා බෝ වන්නම' ගැන ලොවට හඳුන්වා දුන්නේ ද ධනපාල මහතා ඉංග්රීසි බසින් ලියූ පුවත් විශේෂාංගවලිනි. ගුණයා විසින් 'සමනල වන්නම' හා 'මහා බෝ වන්නම' නැටුම් නිර්මාණය කළේ ශ්රී චන්ද්රරත්න මානවසිංහ ශූරින්ගේ එකී වන්නම්වල ගීත රචනා ඇසුරෙනි. පණ්ඩිත් අමරදේවයන් ගායනා කල 'වැලිතල අතරේ හෙමිහිට බසිනා' ගීතය, මහා බෝ වන්නම නමින් ප්රසිද්ධ විය.
 
ලයනල් වෙන්ට්ඩ් විසින් ගනු ලැබූ ගුරු නිත්තවෙල ගුණයාගේ අසහාය ඡායාරූපයද ඔහුගේ ජනප්රියත්වය තවත් ඔප නංවන්නට මහත්සේ ඉවහල් වුණි. 1950 වසරේදී ලයනල් වෙන්ටඞ් විසින් රචිත ‘‘සිලෝන්’’ ග්රන්ථයේ පළකර තිබු ගුණයා ගුරුන්නාන්සේගේ නර්තන ඉරියවු සහිත ජායරූපය ලොව පුරා ප්රසිද්ධියට පත්විය. එකල්හි, උඩරට නැටුම යනු ගුරු නිත්තවෙල ගුණයාය. ගුණයා යනු උඩරට නර්තනයයි. මේ පසුබිම් අනුව, උඩරට නැට්ටුවාගේ මුද්දරය ගුණයාගේ සමරු මුද්දරය ලෙස සැලකීම අරුමයක් නොවේ. එනමුදු, මෙම මුලාශ්ර වලින් නිත්තවෙල ගුණයා අරභයා සමරු මුද්දරයක් නිකුත් කල බවට වන පිළිගත හැකි ලිඛිත සාක්ෂියක් තවමත් හමුවී නොමැත.
 
නර්තන කලාවේ ප්රතිභාපූර්ණ ගුරු චිත්රසේනයන් සමරනුවස් 2016 ජුලි 18 වන දින සමරු මුද්දරයක් නිකුත් විය. දේශීය නර්තන කලාවට කළ අමිල සේවාව ඇගයීම වෙනුවෙන් කලාගුරු පණිභාරතයන්ට මුද්දර උපහාරයක් පුදනු ලැබුවේ 2020 පෙබරවාරි 24 දිනයි. මෙරට මුද්දර ඉතිහාසය තුල උපහාර ලද නර්තන ශිල්පීන් ලෙස සැලකෙන්නේ මොවුන් දේපල පමණි.
 

රුපියල් 50 නෝට්ටුවේ සිතුවම
"1950 වසරේදී නිදහස් සමරුව වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරයේ මෙන්ම 2005 වසරේ රුපියල් පනහේ නෝට්ටුව ගුණයා ගුරුන්නාන්සේගේ රුවින් අලංකෘත වූයේත් ඔහුගේ රංගන පරතිභාව වෙනුවෙන් වූ උපහාරයක් ලෙසින්ය." මේ සමාජ මාධ්ය තුල සංසරණය වන තවත් දුස් තොරතුරකි. 1991 දී නිකුත් කරන ලද ශ්රී ලංකාවේ රුපියල් 50 නෝට්ටුවේ උඩරට නර්තන ශිල්පියාගේ අනන්යතාවය සයිමන් මාලගම්මන ගුරුන්නාන්සේගේ බව පිළිගත් මුලාශ්ර වාර්තා කර තිබේ. ජේම්ස් මුවර් විසින් සැලසුම් කරන ලද මෙම මුදල් නෝට්ටුවේ නර්තන ශිල්පියා පිළිබඳව කිසිඳු සඳහනක් නොමැත. මහා බැංකු වාර්තා වලට අනුව, උඩරට නැට්ටුවෙකුගේ ආදර්ශයක් මුදල් නෝට්ටුව සඳහා යොදා ගත් නමුදු, එය කිසිඳු ශිල්පියෙකුට උපහාර පිණිස නිකුත් කළ බව සඳහන් කර නැත. බ්රිතාන්ය කෞතුකාගාර අයිතමය 2015,4146.62 මඟින් පිරිමි නර්තන ශිල්පියෙකුගේ හිස් වැස්ම පැළඳ සිටින මුදල් නෝට්ටුව සංරක්ෂණය කර ඇත. 
 
සියළුම නර්තන රස විඳින්නන්ට විවෘත ලිපියක් ලෙසින් අදහස් දක්වන උඩරට නර්තන ශිල්පියෙකු වන ධනුක ආරියවංශ මහතා, ශ්රී ලංකාවේ රුපියල් පනහ නෝට්ටුවේ සිටින උඩරට නර්තන ශිල්පියාගේ ඡායාරූපය ගුරු නිත්තවෙල ගුණයාගේ නොව සයිමන් මාලගම්මන ගුරුන්නාන්සේගේමය බව පවසයි. 
 
ප්රධාන පුවත්පත්, සමාජමාධ්ය රුපියල් 50 නෝට්ටුවේ නිරූපනය පිළිබඳ නිවැරදි නොවන තොරතුරු සමාජ ගත කර තිබෙන අතර, අදටද ඒවා එසේම හුවමාරු වෙමින් පැවතීම ඉතා කණගාටුදායකය. සැලකිය යුතු කරුණ වන්නේ, මෙහි නිරූපනය කවරකු වුවද, එය ඔහුට උපහාර පිණිස නිකුත් කල බව වරදවා වටහා ගැනීමය.
 
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා ගීතයේ ප්රස්තුතය:
 
"කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි"
 
ප්රවීන ගීත රචක රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත, එච්. එම්. ජයවර්ධන මහතා විසින් සංගීතය සංයෝජනය කර, ජානක වික්‍රමසිංහ මහතා විසින් ගායනා කරන මෙම ජනප්‍රිය ගීතයේ කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ සිටි තවත් දැවැන්ත නර්තන ශිල්පියෙක් වන රුපියල් 50 නෝට්ටුව රුවින් සරසපු නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ජීවිතයේ අන්තිම කාලය ඉතාම දුක්ඛිතව ගත කිරීම ගැන බව සමාජ මාධ්‍ය පිරික්සීමේදී සඳහන් වේ. මේ ගීතයෙන් කියැවෙන්නේ වියපත් නර්තන ශිල්පියෙකු ගැනය. පෙර සිටි කලාකරුවන් තම කලා කුසලතාවයන් ඉදිරිපත් කලේ මුදල් මතම යැපී නොවේ. ඔවුන් දන්නා ශාස්ත්‍රය බෙදුවේද මුදල් බලාපොරොත්තුව නොවේ. පාරම්පරික කලා ශිල්පියා ජීවත් වූයේ තම කලාවෙන් වුවත් ඔවුහු මුදල් පසුපස හඹා නොගොස් ලැබෙන සොච්චමෙන් තම ජීවිත ගැට ගසා ගත්හ. මෙම කතා සාරාංශය ගීතයෙන් ප්‍රකාශ කෙරෙන අතර, එය බහුතරයක් කල කරුවන්ට පොදු ධර්මතාවයකි. උඩරට නර්තන ශිල්පියෙකු ප්‍රස්තුත වන බැවින් මෙම ගීතයද ගුරු නිත්තවෙල ගුණයාට උපහාර පිණිස නිර්මාණය කල බවට සාධාරණ සැකයක් ඇති වුවද, රත්න ශ්‍රී විජේසිංහයන් අප සමඟ පැවසුවේ මෙය තවත් විශිෂ්ඨ උඩරට නැටුම් ශිල්පියකු වන ශ්‍රී ජයනා ප්‍රස්තුත කර තමන් අතින් ලියැවුනු බවය.
 
මේ අනුව ලාංකීය නර්තන රිද්මයේ අසමසම සලකුණ වූ ගුරු නිත්තවෙල ගුණයා ගුරුතුමන් උදෙසා සමරු මුද්දරයක්, මුදල් නෝට්ටුවක් හෝ උපහාර ගීතයක් නිකුත් කර නොමැති බව කණගාටුවෙන් වූවද සඳහන් කල යුතුය. එසේ වුවද, ඔහු සැබවින්ම මේ සියල්ල සඳහාම පූර්ණ සුදුසුකම් ලද අසමසම නිර්මාණ ශිල්පියෙකි. ඔහු වෙනුවෙන් උපහාර පුදා ඇති බවට වන සාවද්ය තොරතුරු ප්රසිද්ධ ම හමුවේ, සත්ය ලෙසම ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් හෝ වෙනත් සමරුවක් සඳහා ඇති ඉඩ අවකාශ ඇහිරෙනු ඇත. ඉතිහාසය නොදැනීම යනු ලිඳකට වැටීමක් බඳුය. වැටුණු පසු ලිං කටින්ම ගොඩ ආ යුතුය. ඒ සඳහා ඉතිහාසය කියවා ගත යුතුය.
 
 
නිරෝෂණ පීරිස් 'කියවන මුද්දර'

 

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...