පහතරට මඩු ශාන්තිකර්මයේ සහ තෙල්මේ නර්ථනයේ සුරගුරු හඳපාන්ගොඩ "සුදු මාමා" නොහොත් සේදරමන් ගුරුන්නාන්සේ
හඳපාන්ගොඩ මගේ උපන් ගම්මානයයි. උපන් දා පටන් හැදී වැඩුණු, දුව පැන ඇවිදි සුන්දර වටා පිටාවයි. ඈත එපිට ඉතිහාසයකට උරුම කම් කියන අතීතයේ විත්ති, කඩඉම්, නාමාවලි ග්රන්ථ වල "සඳපහන්කඩ" යනුවෙන් හැඳින් වූ පෞරාණික ගම්මානයයි. රයිගම් කෝරලයේ පිහිටි පැරණි ග්රාමවරයක්. මාවක් ඔය, ඓතිහාසික මාළිගාකන්ද, සුන්දර කිතුල්කන්ද සහ වන පියසෙන් හෙබි ස්වභාව සෞන්දර්යය පිරි භූමියක්. එ වගේම හඳපාන්ගොඩ යනු පහතරට සාම්ප්රදායික නර්ථන කලාවේ සහ මඩු ශාන්තිකර්ම සම්ප්රදායේ ලංකාවේ මුදුන් මල් කඩක්. ඒ මුදුන් මල් කඩේ සිළුමිණක් ලෙස ගමේ නමත් සිය පරපුරේ නමත් බැබැළැවූ විසි වන සියවසේ මෙරට සිටි ප්රවීණතම සහ විශිෂ්ඨතම නැටුම් කලා ශිල්පියා පිළිබඳ සටහනක් තැබීම කල යුතුම දෙයක්.
ඔහු නමින් එන්.එන්. සේදරමන්. සම්පූර්ණ නම් වශයෙන් ගතහොත් නැට්ටුක්කාර නැකතිගේ සේදරමන් ගුරුන්නාන්සේ. හඳපාන්ගොඩ පාරම්පරික නැට්ටුක්කාර නැකතිගේ පරම්පරාවේ ගෞරවය ලොව පුරා පතළ කල ආදරණීය සුදු මාමා. නැතහොත් සැවොම ඉතා ලෙන්ගතුව ඇමතූ ලෙස "සුදියා ගුරුන්නාන්සේ මාමා". හඳපාන්ගොඩ නැට්ටුක්කාර නැකතිගේ පරම්පරාවේ කීර්තිය 19 වන සියවසේ මැද භාගයේ විසූ සාදිරිස් ගුරුන්නාන්න්සේගේ පටන් ඔහුගේ පුත් ජානිස් ගුරුන්නාන්සේගේ සිට ජානිස්ට දාව එම පවුලේ බාලම පිරිමි දරුවා ලෙස 1936 දී හඳපාන්ගොඩදී ජන්ම ලාභය ලද සුදු මාමා දක්වාම දිව යයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සේදරමන් මහතා සුදු මාමා කෙනෙකි. ඒ ඡවි වර්ණයෙන් ඉතා සුදු පැහැ වූ නිසාම පමණක් නොව නිතරම පියකරු සිනහවක් මුව රන්දා ඉතා ප්රසන්න ලීලාවෙන් සිටි බැවිනි.
සේදරමන් ගුරුන්නාන්සේ පාසල් යන්නේ හඳපාන්ගොඩ මහ විදුහලටය. මගේ පියා පවසා ඇති පරිදී එකල ඒ පාසල හඳුන්වා ඇත්තේ "නාගහ යට ඉස්කොලේ" යන නමිනි. මා අසා දැනගෙන ඇති පරිදී ඔහු වැඩිදුර පාසල් අධ්යාපනයේ නොයෙදෙන්නේ කුඩා කල සිටම සිය පියා වූ ජානිස් ගුරුන්නාන්සේගෙන් පහතරට නර්ථනය සහ පාරම්පරික කලා ශිල්ප ඉගෙනීමට සිය ජීවිතය කැප කරන බැවිණි. එමෙන්ම ඔහු කලාභූෂණ මීවනපලානේ දානියෙල් ප්රනාන්දු ගුරුතුමා සෙවණේ ඔහුගේ සිසුවෙකුව සිටිමින් එම ශිල්ප වඩ වඩාත් ප්රගුණ කරන ලදී. පසු කාලීනව ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ඨතම මඩු ශාන්තිකර්ම ශිල්පියෙකු සහ විශිෂ්ඨතම තෙල්මේ නැටුම් ශිල්පියෙකු බවට ඔහු පත් වන්නේ එලෙස කුඩා කල පටන් වැටුණු සවිමත් අඩිතාලම නිසාවෙනි.
අපේ කථානායක සේදරමන් ශිල්පියා වනාහී මෙරට පමණක් නොව දේශ දේශාන්තරයන්හි ද දස්කම් දක්වා සම්මාන පිට සම්මාන ලබා රටට කීර්තිය ගෙනා විශිෂ්ඨයෙකි. මැතිණියගේ කාලයේ සංස්කෘතික අමාත්යාංශය මඟින් පිහිටවූ රාජ්ය නැටුම් කණ්ඩායමේ රයිගම් කෝරළයෙන් නියෝජනය වූ මුල්ම පහතරට ශිල්පියා අපේ සුදු මාමායි. 1960 ගණන් වල පැවැත්වූ පොදුරාජ්ය මණ්ඩලයේ ජාත්යන්තර නැටුම් කලා ශිල්ප සංදර්ශණයකදී පහතරට නර්ථනයක් ඉදිරිපත්කර ඇත්තේ අපේ සේදරමන් ගුරුන්නාන්සේ මාමා විසිනි. ඒ දෙවැනි එළිසෙබත් මහා රාජිණිය ඉදිරිපිටදීය. තවද ඔහු චිත්රසේන මහා ශිල්පියාගේ මුද්රා නාට්ය වලට රංගනයෙන් දායක වූවා යැයි මා අසා ඇත.
ළපටි කාලයේ පටන් නිසඟ හැකියාවෙන්, ලේ උරුමයෙනුත් රැගෙන ආ සම්ප්රදායේ නිමග්න වෙමින් නොයෙකුත් සමස්ථ ලංකා තරඟ, දකුණු ආසියානු නර්ථන තරඟ වල රන් පදක්කම් දිනීමත්, කුසලාන ජයග්රහණය කිරීමත් සහ විවිධ කලා කෘති වලට දැක්වූ නොමඳ දායකත්වයත්, මහා ප්රතිභාවත් සහ කුසලතාවයත් නිසා සුදු මාමා රාජ්ය ගෞරව සම්මාන එකකින් නොව කිහිපයකින්ම පුද ලැබ ඇත. "කලාකීර්තාභිමානී" සහ "කලාභූෂණ" ආදිය ඒ අතර වේ.
සුදු මාමා ගැන මගේ මතකය ඈතට දිව යයි. හඳපාන්ගොඩ හන්දියේ, අපේ ගෙවල් ආසන්නයෙම ඇති පංසල් හන්දියේ හෝ අනිත් පසින් හොරණ පාරට පිවිසෙන ඉඳිකටු හන්දිය අසල හෝ ඔහු යම් ශාන්ති කර්මයකට නැත්නම් රාජකාරියකට යෑමට සූදානම්ව සුදෝ සුදු අත් දිග කමිසයක් හැඳ, සුදු සරමකින් ද සැරසී බසයක් එනතුරු සිටීම එකල ප්රකට දසුණක් විය. හඳපාන්ගොඩ ශ්රී ගණේ පුරාණ විහාරස්ථ භූමියට ඉතා ආසන්නයේ පිහිටි ඔහුගේ නිවස සහ අදාල වාස භූමියේ සිට පා ගමනින් එන ඔහු සැවොම සමඟ සිනාසෙමින් ආගිය කථා බස් කරමින් හැසිරීම සිරිතක් කොට ගත් සාමාන්ය දිවි පෙවතක් ගත කල සුන්දර ගම් වැසියෙකි. ඔහු සමඟ කතා බස් කිරීම ඉතා ප්රිය ඉපදවූ කරුණකි. පියා සමඟ ඉතා කුළුපග කමක් තිබූ නිසා ඒ ඇසුර පිළිබඳ එකල කුඩාවෙකු වූ මටද යම් අත්දැකීමක් තිබිණි.
සුදු මාමා ගේ නර්ථනයේ ලාලිත්යය සහ මහේෂාඛ්ය භාවය ගැන කෙසේ වනම්ද! පහත රට නැටුමේ ඉහළම අංගයක් වන තෙල්මේ නර්ථනයේ කෙළ පැමිණියෙක් තමයි අපේ මේ සුදු මාමා. පත්තිනි මෑණියන්ගේ නාමයට සිදු කරන ගම්මඩු ශාන්ති කර්මයේදී දොළොස් දෙවියන්ගේ නමට නටන තෙල්මේ නැටුම, මඩු භූමිය මැද තබා ඇති තෙල්මේ තටුව සහ දල්වා ඇති මහ විලක්කු ආලෝකය මධ්යයේ කවි ගායනා කියමින් කරනා අපූරුව වර්ණනාවිෂයාතික්රාන්තයි.
රැඟුම් කර ඇල්මේ - දෙවිඳුට පුදන තෙල්මේ
දොළහ දෙවි මුල්මේ - පටන්ගනිමුය මෙපුද තෙල්මේ
කියමින් මුතු පබළු ඇල්ලූ වෛවර්ණ විල්ලුද හැට්ටය ලතාවට සොලවා, සුදු මාමාටම සංකේත වූ සුන්දර සිනහවෙන් මුව සරසා, තෙල්මේ වලටම ආවේණික වූ මුද්රාවට සකසා ගත් අත් සහ හිස සොළවා, බඳ ලෙළවා, පාද තාලයට තබා, තෙල්මේ තාලයට උරහිස සොලවා ඔහු රඟන අයුරු චිත්තාකර්ශණීයය. පහත රට යක් බෙරයේ ක්රමාණුකූලව ඉහළ යන වේගය සහ තීව්රතාවයට සමානුපාතිකව සිය වේගයද වැඩි කර ගන්නා වූ ඔහු තෙල්මේ නර්ථනයේ කූඨ ප්රාප්තිය වන වට කරණම් පිම්මට අසුරු සැණින් පැන හිස රැඳි නළල් පටය තනි ඉරක් මෙන් පෙනෙනාකාරයට වෘත්තාකාරව බ්රමණයේ යෙදෙන්නේ පා බැඳි සිලම්බු හඬින් දෙවොල් මඩුව ඒක නින්නාද වන ලෙසය. සුදු මාමා සිටිනා ගම්මඩුවක සෙනඟ හාත් පස පිරී යන්නේ ඔහුගේ කීර්තියත් දස්කම් බැලීමේ ආශාවත් නිසාවෙනි.
මා ඉගෙනගත් හොරණ තක්ෂිලාවේ නාට්ය හා රංග කලාව හදාරණ සිසු සිසුවියන්ගේ දැනුම සහ රසවින්දනය උදෙසා පාසල විසින් උසස් පෙළ විභාගය ඉලක්ක කොට පාසල් භූමියේ කුඩා ගම්මඩුවක් හෝ ශාන්තිකර්මයක් පැවැත්වීම වාර්ෂික අංගයක්ව තිබූ සමයක් විය. පාසලේ ආරාධනාවෙන් එම ශාන්ති කර්මයේ මුල් තැන මෙන්ම ප්රධාන නැටුම් ශිල්පියාද වූයේ අපේ මේ සේදරමන් ගුරුන්නාන්න්සේ මාමායි. 90 ගණන් වල අග භාගයේ ධර්මසිරි බණ්ඩාරණායකයන්ගේ සම්භාව්ය සිනමා සිත්තම් ලෙස එළි දුටු භව දුක සහ භව කර්ම චිත්රපට ද්විත්වයේ කථා නායක පේදුරු නම් පහත රට නැටුම් ගුරුන්නාන්සේගේ භූමිකාවට පණ පෙවූ ප්රවීණ රංගධර ජැක්සන් ඇන්තනි හට නැටුම් ඉගැන්වූයේද අපේ සුදු මාමායි. එය නිකම්ම නොව, ජැක්සන් ව සිය සිසුවෙක් ලෙස හඳපාන්ගොඩ නිවසේ නවත්වාගෙන සති කිහිපයක් පුරා හරඹ උගන්වා ඉතාම ශාස්ත්රානුකූලවම ඔහුට එම ශිල්පය ලබා දීමෙනි. ජැකසන් ලබා ගත් ඒ ශිල්පයේ තරම කෙතරම්ද යනු ඔබට ඒ චිත්රපට නරඹන කල බලා ගත හැකි වේ. ජැක්සන් රංගධරයා අවස්ථා ගණනාවකදීම ඒ පිළිබඳව ඉතා ගුරු බැතියෙන් සහ කෘතඥතාපූර්වකව සුදු මාමාව සිහි කරමින් පවසා ඇත.
මගේ අනෙක් විශාලම මතකය නම් මීට දශකයකට පමණ එහා හඳපාන්ගොඩ පැවැත්වූ ලංකාවේ අති දැවැන්තතම ගම්මඩු සංදර්ශණයේ ඔහු සහ ඔහුගේ ගෝල පිරිවර කල නර්ථන සහ පූජා විධි රැසයි. පොල් තොරණ, අන්නාසි තොරණ ආදී සියළුම සාම්ප්රදායික අංගෝපාංග වලින් පරිපූර්ණව දිවයිනේ නොයෙකුත් පහතරට සම්ප්රදායේ ප්රචලිත ගුරුකුල සහ පරම්පරා වලට ආරාධනා කොට සිදු කල ඒ මහා සංස්කෘතික මංගල්යයේ සුදු මාමාගේ සළකුණ ඉහලින්ම සනිටුහන් විය.
ශ්රී ලංකාවේ සාම්ප්රදායික ගම්මඩු, පූනමඩු සහ දෙවොල්මඩු ශාන්තිකර්ම ශිල්පයේ, ශාස්ත්රයේ සහ තෙල්මේ නර්ථනයේ සුරගුරුවරයෙකු බඳු වූ සුදු මාමා 2014 දී මෙළොව දිවිසැරිය නතර කරන්නේද ශාන්තිකර්ම කටයුත්තක නර්ථනයක නියැලෙද්දී හට ගත් හෘදයාබාධයකිනි. 20 වැනි සියවසේ මැද භාගයේ සිට පහතරට කලාවටත්, රයිගම් සම්ප්රදායටත්, හඳපාන්ගොඩ ගුරු කුලයටත් සුදු මාමා නොහොත් සේදරමන් ගුරුන්නාන්න්සේගෙන් ලද එළිය, දායාදය, පන්නරය සහ ගෞරවය මෙතෙකැයි කියා කිව නොහැක. ඔහු සැම විටම කියන්නා සේ සැමට "ආ වඩා ආයුබොහෝ වේවා!"
(වර්ණ ඡායාරූපය සහ පැරණි කලු සුදු නර්තන ඉරියව් ඡායාරූපය Venuka Lanka වෙතිනි)
මෝදිත සෙන්දනායක



Thank you for posting my article in this blog space.
ReplyDelete