Wednesday, January 3, 2024

කටු ගැසීම, ගිනි පෑගීම දේව භක්තිය

වසර සිය දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන ලංකාව අද දක්වා පැමිණි ගමන් මාවතෙන් බොහෝ දෑ වෙනස් වෙමින් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන්නට ඇත. අද ඔබත් මමත් ජීවත් වන ලංකාව එක් රැයකින් බිහි වූවක් නොවේ. ආගමික, සංස්කෘතික සහ ජාතීන් වශයෙන් විවිධත්වයකින් නිර්මිත වූ ලංකා ඉතිහාස ගමනෙහි ඔබත් මමත් හරි හැටි නොදන්නා, සැඟවුණු සත්‍යන් කෙතරම් ඇත්ද?
 
ආක්‍රමණ, ආගමන සහ සංචාර ආදී එකී නොකී විවිධ අයුරින් ලංකාව තුළ ජනාවාස වූ පිරිස් බොහෝය. ප්‍රමාණයෙන් පුංචි රටක් වුවද මෙරට සංස්කෘතික විවිධත්වය නම් ඉතා විශාල වපසරියක් පුරා විහිදුණු එකකි. එම විවිධත්වය නිසාම ආගම්, සංස්කෘතීන් සහ ජාතීන්ට අනුව නොයෙක් ආකාරයේ ඇදහිලි, විශ්වාසයන් හඳුනා ගැනීමට පුළුවන්. තම තමන්ගේ සංස්කෘතික සීමාවන් ඔබ්බෙහි පවතින අන්‍ය විශ්වාසයන් පුහු ඒවා බවත් තමන්ගේ රාමුව තුළ පවතින විශ්වාසයන් හරවත් ඒවා විධියටත් සිතන්නට බොහෝ දෙනා පුරුදු වී සිටිනවා. ඒ කෙසේ වුවද කුමන සංස්කෘතියක තිබෙන කවර හෝ විශ්වාසයක් වේවා ඒ තුළ මුල් බැසගෙන එහි අන්තයට යෑමේ ප්‍රතිඵලයක් විධියට තමයි මිථ්‍යාව ඇති වන්නේ. ආගම්, ජාති භේද පසෙකලා සෑම සංස්කෘතියකම මිථ්‍යාවන් ඕනෑ තරම් දැක ගැනීමට පුළුවන්. ඒ වගේම සමාජය තුළ මිථ්‍යාවන් ව්‍යාප්ත වන්නේ ඉතා වේගයෙනි. ඒවායෙහි සත්‍ය-අසත්‍යතාව කුමක් වුවත් ආගමික සහ සංස්කෘතික ඇදහිලිවලින් අන්ධ වී සිටින නිසා මිථ්‍යා විශ්වාසයන් ‍ෙදාහොත් මුදුන් දී පිළිගන්නා පිරිස් අප අතර ඕනෑ තරම්ය.
 
 
 Ancient Depanama Ganegoda Dewalaya Gini Maduwa (The Fire Walkers) 2023
 
අප ගත කරන ජීවිතය තුළ සොම්නස, සිනහව වගේම ‍ෙදාම්නස සහ දුක් කම්කටොලු ඇති වීමද සාමාන්‍ය දෙයක්. නමුත් ඇතැමුන් සිය ජීවිතයට පැමිණෙන ප්‍රශ්න, කරදරවලට හරි අවබෝධයකින් මුහුණ දීමට ඇති නොහැකියාව නිසා සරල-සුගම මාර්ගවලින් ගැටලු විස¼දා ගැනීමට උත්සාහ දරනවා. මෙහි ප්‍රතිඵලයක් විධියට දේවාල, කෝවිල්, පන්සල්, පල්ලිවල අරක්ගෙන සිය චිත්ත පීඩාවන්ට විසඳුම් සොයයි. දේව භක්තිය කෙරෙහි අන්ධ වී ගිනි පෑගීම, කටු ගැසීම, යකුන් වැහීම, යකුන් බැඳ වැඩ ගැනීම, ආරූඪ වීම ආදී එකී නොකී යාදිනි, බලි තොවිල් පසුපස හඹා යයි. නමුත් මේවා සත්‍යයක්ද? ගිනි පාගන විට, කටු ගසන විට ඇත්තටම වේදනාවක් දැනෙන්නේ නැද්ද? මිනිසුන්ට යකුන් වැහෙනවාද? යක්කුන්ට අණ කරලා වැඩ ගන්න පුළුවන්ද? ඔබටත් අනිවාර්යයෙන්ම මෙහෙම හිතෙනවා ඇති. අද කියන්න සූදානම් වෙන්නේ අන්න ඒ ගැන.
 
අපගේ ජන සංස්කෘතික ලක්‍ෂණවල දැකගත හැකි එක් අංගයක් තමයි ගිනි පෑගීම කියන්නේ. ගිනි පෑගීම යන සංකල්පය බුදු දහම තුළින් පැමිණි එකක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල එවන් සංකල්පයක් පිළිබඳ කිසිදු තැනක සඳහන් නොවේ. මෙය දැකගත හැකි වන්නේ හින්දු සංස්කෘතිය තුළයි. හින්දු ආගම තුළ දෙවියන් වෙනුවෙන් කැපවී සිටින මිනිසුන් දැක ගැනීමට පුළුවන. දෙවියන් වෙනුවෙන් කැපවී සිදු කරන එක් දෙයක් තමයි ගිනි පෑගීම කියලා කියන්නේ. ගිනි පෑගීම කියලා කියන්නේ ගින්නෙන් තමන්ට ඇති වන වේදනාව දෙවියන්ට උපහාරයක් විධියට පූජා කරන එක. හින්දු ආගමික ඉගැන්වීම්වලින් පෝෂණය වුණු දේවවාදී සංස්කෘතික සමාජවල මෙය බහුලව දක්නට ලැබේ. ලංකාවට මේ දේවල් පැමිණෙන්නේ හින්දු ආගමික ලක්‍ෂණ පැමිණීමත් සමඟය. එකී හින්දු ආගමික විශ්වාසයන් බෞද්ධාගමික විශ්වාසයන් සමඟ මිශ්‍ර වීමෙන් සිංහල සමාජය තුළද ඒවා ව්‍යාප්ත විය.
 
Sri Lankan Fire Dancer - GINI SISILA 🔥 ගිනි සිසිල නර්තනය | ගංගාරාම ගම්මඩුව
 
විශාල ගිනිමැළයක් දල්වා එම ගිනි අඟුරු මත දුවමින් හින්දු භක්තිකයන් මෙම පූජාව සිදු කරනු ලබයි. ගිනි පෑගීමේදී ඔවුන් විශ්වාස කරන්නේ දේව ආශීර්වාදය නිසා කිසිදු හානියක් සිදු නොවන බවයි. ඒ වෙනුවෙන් යම් කාලයක් පේවී මස් මාංසවලින් වැළකී ගිනි පෑගීම සිදු කරයි. වර්තමානය වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවල මෙම ගිනි පෑගීමේ චාරිත්‍රය දැක ගැනීමට පුළුවන. ඇතැමුන් මේවා දේව විශ්වාසයන් ලෙස නොසලකයි. හොඳම නිදසුනක් වන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා කිසිදු පේ වීමකින් තොරව මෙවැනි දේවල් සිදු කළ හැකි බව පවසමින් කතරගම දේවාලයේ ගිනි පෑගීම සිදු කළේය. ඒ වගේම වෛද්‍ය විද්‍යා කුලපති මහත්මිය පැවැසුවේ මෙය දේව බලයක් නොවන බවත් චිත්ත ශක්තිය මත පදනම් වූ දෙයක් බවයි. එය ඔප්පු කරමින් එතුමියද ගිනි පෑගුවාය. මෙවැනි දේවල් ආගමික මුහුණුවරකින් පෙනී සිටින මිථ්‍යා මත බව වර්තමානය සමාජය තුළ දැකගත හැකිය. බොහෝ දෙනා මිථ්‍යා කටයුතු සිදු කරනුයේ ආගමික මුහුණුවරිනි. ඇතැමුන් දේශපාලන මුහුණුවරින් මිථ්‍යා කටයුතු සිදු කරති. තවත් පිරිසක් මනෝ විද්‍යාත්මක මුහුණුවරක් මුවාවෙන් එවන් දේවල් සිදු කරයි. මෙය හුදෙක් දේව විශ්වාසය මත සිදු කරන දෙයක් මිස දෙවියන්ගේ හාස්කමක් දක්නට නොලැබේ. මෙය දෙවියන් සිටිනවාය, යකුන් සිටිනවාය ආදී වශයෙන් ආගමික සම්ප්‍රදායන්හි පැවැතුණු යම් යම් වචනවලට වැරදි අර්ථකථනයක් ලබාදී පණ ඇති ජීවියෙක් සිටින බවට මවාගත් සංකල්පයකි. බෞද්ධ ආගම තුළ යක්ඛ, දේව, මනුස්ස, පිසාච, කුම්භාණ්ඩ ආදී පවතින නම් ඇසුරු කරගෙන පුද්ගල මනසෙහි ඇති වන භ්‍රාන්තීමය ස්වරූපය හෝ මනසෙහි ඇතිවන වික්ෂිප්ත තත්ත්ව, මානසික රෝගී තත්ත්ව වැනි දේවල් ඇති වී තිබේ. එකල ලංකාවේ තිබූ සමාජ තත්ත්වයන්ගේ ලක්‍ෂණවලට අනුකූලව ‘යක්ඛ’ යන නම භාවිත කළද යක්ඛ නමින් ජීව කොට්ඨාසයක් නොමැත.
 
ගිනි පාගන ස්ථානවල, දේවාලවල, බලිතොවිල් කරන ස්ථානවල භූතයන් වැහීම, ප්‍රේතයන් වැහීම වැනි දේවල් බහුලව අසන්නට ලැබේ. එලෙස භූතයන්, ප්‍රේතයන් වැහුණු කෙනකුට පැන් ටිකක් ඉසීමෙන් සුව වන බව ඔවුන්ගේ විශ්වාසයයි. එයින් අදහස් කරන්නේ පැන්වල ඇති බලයක් නිසා සුවවන බව නොවේ. එය යම් කිසි මනෝමය රෝගී තත්ත්වයකි. එසේ නැති නම් භ්‍රාන්තීමය තත්ත්වයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ “ද්වේ මේ භික්ඛවේ රෝගා කායික රෝගෝ ච චේතසික රෝගෝ ච” යනුවෙනි. එනම් මිනිසුන්ට වැලඳෙන රෝග වර්ග දෙකක් තිබේ. ඉන් එකක් නම් කායික  වශයෙන් ඇති වන රෝගයන්ය. අනෙක චෛතසික වශයෙන් ඇති වන රෝගයන්ය. මිනිසුන්ගේ චිත්තවේගීය වෙනස්කම් නිසා ඇති වන රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමට නොහැකි නිසා භූතයෙක්, මළගිය ඥාතියෙක්ගේ යම් ක්‍රියාවක් නිසා ඇති වන්නක් බව ඔවුන් විශ්වාස කර තිබේ. බුදු දහමේ මනස පිළිබඳ විග්‍රහයය ඉතා දියුණු නිසා අද වන විට භූතයන්, ප්‍රේතයන් සහ අදෘශ්‍යමාන බලවේග පිළිබඳ කතා අසත්‍ය බවත් මිනිස් මනස තුළ ඇති වන විප්‍රකාර නිසා ඇති වන්නක් බව දක්වා තිබේ.
 Depanama Gini Maduwa (The Fire Walkers)
 
අලුතින් යමක් සිතීමට නොහැකි, විශ්වාසයන් සත්‍යයක් විධියට පිළිගත් මිනිසුන් සමාජය දියුණු වුවත් ඉහත කී මතවල එල්බගෙන සිටියි. මළවුන් ගෙන්වනවා යැයි කියන කාරණාව තුළ සැබැවින්ම ඇත්තේ කිසියම් විජ්ජාත්මක දෙයක් මිස කිසිදු සත්‍යයක් නොපවතී. මළගිය ඥාතියා කතා කරන අයුරින් යම්කිසි පුද්ගලයකු කතා කරන්නේ මළගිය ඥාතියා පිළිබඳ ඔහු දන්නා දේවල් පමණි. මළගිය ඥාතියා පිළිබඳ ඔහු නොදන්නා දේවල් ඇසුවොත් එම පුද්ගලයා නිහඬ වෙයි. එබැවින් එම දේව විශ්වාස මත කිසියම් අවිද්‍යාත්මක දේවල්වලට මිනිසුන් පොලඹවා ගැනීම ව්‍යාපාරයක් විධියටද සිදු කරන අවස්ථා බොහෝ විට අසන්නට ලැබේ. ගිහි සහ පැවිදි දෙපාර්ශ්වයේම පිරිස් මෙවැනි කටයුතුවලට යොමුවී සිටිති.
 
එක්තරා දියණියකට උදර ආබාධයක් සෑදී දේවාලයකට ගොස් විමසූ විට භූතයෙක් කුස තුළ සිටින බව පවසා තිබුණා. ඔවුන් විවිධාකාර බලිතොවිල් සිදු කර යන්ත්‍ර දැමුවද උදර ආබාධය සුව නොවිණි. ඉන් පසුව ඔවුන් හඳුනන පුද්ගලයකු පවසා තිබුණේ එම දරුවාට ගැස්ට්‍රයිටීස් වැඩි වී ඇතැයි සැක සිතෙන බවත් දරුවාව රෝහලකට රැගෙන යන ලෙසත්ය. ඉන් අනතුරුව කරාපිටිය රෝහලට ඇයව රැගෙන ගිය විට වෛද්‍යවරුන් පවසා තිබුණේ ගැස්ට්‍රයිටීස් රෝගය ඉතා උත්සන්න වී ඇති බවයි. එවන් සිදුවීම් ඕනෑ තරම් අසන්නට ලැබේ. මෙතරම් දියුණු ලෝකයක වුවද එවන් මිථ්‍යාවන් විශ්වාස කරන පිරිස් තවමත් සමාජය තුළ බහුලය.
 
Mayurapathy Sri Bathrakali Amman Kovil Rathotsava Festival 2022
වැල්ලවත්ත කෝවිලේ 35වෙනි වේල් පෙරහැර
 
කටු ගැසීමේදී, ගිනි පෑගීම ආදියේදී වේදනාව නොදැනෙන බව පැවැසුවද එය සත්‍යයක් නොවේ. ඔවුන්ට කොතරම් රිදුණද ඉවසාගෙන සිටින්නේ දේව භක්තිය නිසාය. නමුත් ඒ දෙස බලන අයකුට පෙනෙන්නේ විස්මිත දෙයක් ලෙසිනි. කනට කරාබුවක් දමන මුල් දිනයේ වේදනාවක් දැනුණද කල්යත්ම එම සිදුර අවට තුවාලය වියළී සම ගනකම් වේ. ඉන් පසුව කෙතරම් වාර ගණනක් කරාබු දැමුවද වේදනාව නොදැනේ. කටුගැසීමද එවැන්නකි. ගිනි පාගන අයකු ගිනි අඟුරු මතින් ඇවිදිනවා විනා ගිනි අඟුරු මත නැවතී සිටින්නේ නැත. ඒ වේදනාව දැනෙන බැවිනි. නමුත් මිනිසුන් එය දකින්නේ දේව බලයක් ලෙසින්ය. නමුත් මේවා හඳුන්වන්නේ මිථ්‍යා චාරිත්‍රයන් ලෙසය. ඇතැම් විට යක්‍ෂයන් ආවේශ වූවා යැයි කියා අසාමාන්‍ය විධියට ආහාර ගැනීම, නිරුවතින් දිවීම, කෑ ගැසීම, වැලි කෑම වැනි දේවල් සිදු කරයි. නමුත් මේවා සිදු වන්නේ මානසික ව්‍යාකූලත්වය නිසා ඇති වන මානසික විකෘතිතාවන් හේතුවෙනි.
 
 Annual Ther festival (Chariot Festival) of Mayurapathi Sri Badra Kaali Amman Kovil
 
ඇතැම් අය පවසන ආකාරයට ඔවුන් යකුන් බැඳ වැඩ ගන්නා බවත් තමන්ට අවශ්‍ය සේවාවන් සිදු කර ගැනීමට යක්‍ෂයන් වෙන් කර තබා ගන්නා බව පවසයි. ඔවුන් අණසකට කීකරුව යටහත් පහත්ව කටයුතු කරන බව පවසා මිනිසුන් රවටන වීඩියෝ දර්ශන පවා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව ඔබ දැක ඇති. දියුණු වීමට උත්සාහ නොකරන පුද්ගලයන් නිදහසට කාරණාවක් ලෙස පවසන්නේ යක්‍ෂ දෝෂ, ප්‍රේත දෝෂ නිසා තමාට දියුණුවක් නැති බවයි. ඇතැම් විට ජීවත් වීමට මාර්ගයක් නොමැති බොහෝ දෙනා තමාට වරමක් ලැබුණු බව කියමින් දේවාලයක් සාදාගෙන සාස්තර කීම අද වන විට සුලබව දකින්නට ලැබේ. ඇතැම් විට එක් ගමක දේවාල කිහිපයක්ම ඇත. ඔවුන් කරන්නේ මිනිසුන් රවටා බොරු සාස්තර කියමින් මුදල් ගරා ගැනීමය. මෙවන් මිථ්‍යාවන්ට හසුවූ පුද්ගලයන් දේවාලවලින් පවසන යම් යම් දේවල් මනසට දමාගෙන පවුල් ජීවිත පවා අවුල් කර ගනී. ඇතැම් විට අසල්වැසියන් හෝ නෑදෑයන් සමඟ ගහමරා ගනී. විද්‍යාව පිළිබඳ නිවැරදි චින්තනයක් නැති උදවිය මිථ්‍යාවන්ට පහසුවෙන් හසුවේ. එබැවින් එවැනි මිථ්‍යා විශ්වාසයන් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම මානව ජීවිතයේ සාර්ථකත්වයට වඩා වැදගත්ය.

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...