Wednesday, January 10, 2024

ආදිවාසීන්ගේ 4 වරිගේ

ඉතිහාසයේ සඳහන් වන්නේ මෙරට ආදිවාසීන් ගෝත්ර තුනකට අයත් බවය. ඒ යක්ෂ, නාග හා දේව යනුවෙනි. ඔවුන් අනාදිමත් කාලයක සිට සිය වරිගයේ සිරිත්විරිත් හා සංස්කෘතිය රැකගෙන මෙරට පාලනය කළ රජවරුන් සමඟ සුහදව දිවිගෙවූහ.


අපේ ආදිවාසීන්ගේ හතර වරිගේ හැදුණු හැටි 

බුදුරදුන් අප රටට වැඩම කරන අවස්ථාවේ මෙරට සිටි ගෝත්ර තුන යක්ෂ, නාග, දේව ගෝත්ර වේ. යක්ෂ ගෝත්රය යනු සිය මළගිය නෑයන් අදහන ගෝත්රයයි. නාගයින් අදහන ගෝත්රය නාග ගෝත්රය විය. දේව ගෝත්රිකයින් ඕනෑම ප්රශ්නයකදී එදෙස උපේක්ෂාවෙන් බලා එය විසඳාලීමට කටයුතු කරන්නෝ වූහ. මෙම ගෝත්ර තුන අතරින් දේව, නාග ගෝත්රිකයින් පිළිබඳ විස්තර එතරම් දුරට ජනවහරේ නැත. බම්බා රජුගේ දියණියක වූ කුවේණිය පිළිබඳ කථාව ඉතිහාසයේ වැදගත් තැනක් දරයි. ඇය කාර්යශූර දක්ෂ නායිකාවකි. ඇයගේ මාමලා වූයේ කලුබණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, කොහොඹා බණ්ඩාර, සඳුගල් බණ්ඩාර ආදීන්ය. එහෙත් විජාතිකයකු වූ විජයට තම ගෝත්රය පාවාදීම නිසා ඔවුන් ඇයට වෛර කළහ. 
 
කුවේණියගේ දරුදෙදෙනා වූ ජීවහත්ත සහ දිසාලා දෙදෙනාගෙන් ආදිවාසීන් පැවතෙන්නේ යැයි කියන කතාව ආදිවාසි නායක වන්නියලැත්තන් ප්රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ කාගරේ වන්නියලැත්තන්, අප්පුවලැත්තන්, තිහාහාමිලැත්තන් යන සිය පරම්පරා තුනක තොරතුරු අනුව තමන් පැවතෙන්නේ පිරිසිදු හෙළයන්ගෙන් බවය. ආරම්භයේදී ආදිවාසීන්ගේ වරිග පහළොවක් පමණ තිබී ඇත. එහෙත් ඒවායින් බොහොමයක් වඳවී ගොස් වර්තමානයේ වරිග හතරක් ඉතිරිවී ඇත. ඌරුවරිගය, තලාවරිගය, මොරානවරිගය, උනාපානවරිගය එම වර්ග වේ.
අතීතයේදී අඹුසැමි ආදිවාසීන් දෙදෙනෙකු වනය මැදින් ගමනක් ගොස් ඇත. බිරිඳ ගැබිනියක් වූ අතර ගමන අතරමගදී ඇයට විලිරුදා සෑදී ඇත. කර කියා ගත නොහැකිවූ ඔවුන් ප්රසූතිය සඳහා ස්ථානයක් සොයනවිට ඌරකු විසින් හාරන ලද වළක් දැක එතුළට සැමියා විසින් බිරිඳ බස්සවා ඇත. ටික වේලාවකින් ඇයට දරුවා බිහිවිය. ඌරකු විසින් හාරන ලද වළක බිහිවූ දරුවාගෙන් පැවත එන්නන්, එතැන් පටන් ඌරුවරිගේ විය.
 
තලාව යනුවෙන් පෙරදී හැඳින්වූයේ වෙල්යායයි. එහිදී ආදිවාසි කාන්තාවකට දරුවකු ලැබී ඇත. එම දරුවාගෙන් පැවතෙන්නන් තලාව වරිගය නම් විය. වර්තමාන වැදිනායක වන්නියලැත්තන්ගේ මව වූ ගෝමරිලැත්තන් තලාව වරිගයෙන් පැවතෙන්නියකි. වනාන්තරයේ දඩයමේ ගිය රටේ රජ්ජුරුවන්ට කුසගිනිවී ආදිවාසී නිවෙසකට ගොඩවී ඇත. දීමට කිසිම ආහාරයක් එම නිවසේ නොතිබූ හෙයින් ගෙහිමි ආදිවාසියා මීපැණිවල බහා තිබූ මොර ගොඩි රජුට කෑමට දී ඇත. එසේ රජුට මොරවලින් සංග්රහ කළ පරපුර එතැන් පටන් මොරාන වරිගය නම් විය.
 
එක්තරා දැඩි නියං සමයක වනාන්තරයේ ඇවිද ගිය රටේ රජ්ජුරුවෝ වැදි නිවෙසකට ගොඩවී බීමට වතුර ටිකක් ඉල්ලා ඇත. නමුත් ජලය සොයාගත නොහැකිවූ ආදිවාසියා රජුගේ උඩ ඇඳුම ඉල්ලාගෙන එය වතුර ටිකක් රැඳී තිබූ කුඩාවළකට දමා එම ජලය වස්ත්රයට උරාගත් පසු වස්ත්රය රජුගේ දෝතට මිරිකා එයින් පෙරුණු ජලය බීමට සලස්වා ඇත. ඇඳුමට උනාගත් ජලය පානය කිරීමට සැලැස්වූ එම පරපුර එවක් පටන් උනාපාන වරිගය විය. මුලදී ඔවුහු ගල්ගුහා, බිම්වලවල්, යාලත්ත, ඉලුක් සෙවිල ගෙපැල, පොතුබිත්ති ගෙපැල, කටුමැටි ගෙවල්, නිවාස වශයෙන් යොදාගත් අතර ඒවා ඉතා කුඩා, විවෘත කාමර නොමැති අවශ්යතාවය මිස, අලංකාරය නොමැති ඒවා විය.
 
 
 
ආදිවාසී ගැහැනු දරුවකුගේ විවාහවන කාලය මල්වර වන කාලයයි. ගෙදරදොර වැඩකටයුතු ඉවුම්පිහුම් පිළිබඳ අවබෝධයක් තිබීම විවාහයක් සඳහා සෑහේ. පිරිමි දරුවකු නම් බිරියක් ජීවත්කරවීම, දඩයම් කිරීමේ දක්ෂතාව, පරම්පරා සිරිත් විරිත් හා ඖෂධ පිළිබඳ අවබෝධය විවාහය සඳහා සුදුසුකම් විය. ගැබ් ගැනීමෙන් පසු හා ප්රසූතියෙන් පසු කාන්තාවන්ට සුදුසු හා නුසුදුසු ආහාර ලැයිස්තු ඔවුන් සතුය. 
 
ගෝනමස් , කටුඅල, කුරක්කන්, අමු මෑ ඇට, වට්ටක්කා දළු, මුදවපු කිරි, ඌරුමස් හා බණ්ඩක්කා ආදිය සුදුසු ආහාර වේ. ඉත්තෑ මස්, කැබැල්ලෑ මස්, තලගොයි මස් නුසුදුසු ආහාර අතර වේ. දරුවා උපන්දා සිට වසර තුනක් පුරා මව්කිරි දීම සිදුවේ. මේ සඳහා අසල්වැසි මව්වරු හත්දෙනකුගෙන් කිරි දීම කළ යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි. මව්වරු හත්දෙනකුගේ කිරි බීමෙන් ඔවුනට විවිධ පෝෂණ කොටස් ලැබී ශක්තිමත් හා බුද්ධිමත් දරුවකු බිහිවන බව ඔවුන්ගේ මතයයි. 
 
අතීතයේදී ආදිවාසියකු මියගිය විට මළසිරුර රෙදිකඩක හෝ කොළ අතුවල ඔතා කැලයට ගෙනගොස් ජලය ගලාගොස් හෝදාපාළුවූ ජලමාර්ගයක දමා කොළ අතු කඩා දමා සිරුර වසා දැමුවෝය. එහෙත් වර්තමානය වන විට ලෑලිවලින් සකස් කළ පෙට්ටි ඒ සඳහා භාවිත කෙරේ.
 
ආදිවාසී නායකයකු මියගිය විට ඔහුගේ දේහය දින තුනක් හෝ හතරක් තබා ගනී. ඔහු මිහිදන් කළ වහාම නව නායකයා පත්කර ගනී. මිය ගිය නායකයාගේ දේහය ගෙදර තිබෙනවිට ඔහුගේ හිසේ සහ දෙපාවල තෙල් ඇඹුල් ආලේප කෙරේ. තෙල් සුදුහඳුන්, දෙහි ආදිය යොදා තෙල් ඇඹුල් සාදා ගනී. පසුව මිහිදන් කරන ස්ථානයේ කටකිරියා කද නමැති පූජාවක් තබයි. මිය ගිය නායකයාගේ හිස තබන පැත්තේ මැස්සක් සාදා ඒමත බත්, අල, මස්, පැණි, බුලත්, පුවක්, හුණු, දුම්කොළ, ජලය ආදිය තබයි. එය පූජා කිරීමෙන් පසු තම පරපුර ආරක්ෂා කරන ලෙස ද මී පැණි ලබාදීම, අස්වනු සරු කිරීම, දඩයම් ලබා දීම ආදිය සාර්ථක කරන ලෙස ද මිය ගිය ඥාතියාගෙන් ඉල්ලා සිටියි.

 
ආදිවාසීන් ජීවත්වූ බවට ඓතිහාසික සාධක ඇති ගම්මාන වර්තමානයෙහි ද ඇත. මාතලේ ඕපල්ගල ප්ෙද්ශයේ ඔවුන් දීර්ඝකාලයක් ජීවත්ව සිට ඇත. ඔවුන් ආයුධ මුවහත් කිරීමට යොදාගත් ගල ඔපවීම නිසා එය ඔපගල වී පසුව උච්චාරණ පහසුව තකා ඕපල්ගල වී ඇත. පසුව එම ගල එක්තරා අයකු රාත්රි කාලයේ කරගහගෙන ගොස් තැන්නක දමා ඇත. එම ප්ෙද්ශය කරගහතැන්න නමින් පසුව ප්රසිද්ධ වී ඇත.
 
හෙන්නන්ගල ආදිවාසීන් ජීවත්වූ තවත් ගල්ලෙනකි. එය මාදුරුඔය වනයේ පිහිටා ඇත. දඹාන ගුරුකුඹුර ගමේ සිට සැතපුම් දෙකහමාරක් පමණ ගිය විට මෙම ගල්ලෙන හමුවේ. වර්තමාන නායක වන්නියලැත්තන්ගේ දෙමාපියන් වන තිසාහාමිලැත්තන් හා ගෝමරිලැත්තන් ජීවත් වී ඇත්තේ මෙම ලෙනෙහිය. තිසාහාමිලැත්තන් ඉපදී ඇත්තේ ද මෙහිය.
තෙදි තෙදිනානෙයි තෙදිනානේ - හේබොල
කාකුරුවල්ලී තිබෙය්යේ - බොල
කටුරුං කටුරුං කියන්නේ - හේ බොල
දෙපාත් රතුයි කොබයියේ - බොල
දෙපාත් රතුයි කොබෙයියේ
ඉච්චෙන් බච්චාන් කියන්නේ
ඉච්චෙන් බච්චාන් කියන්නේ - හේ බොල
ෙතදි තෙදිනානෙයි තෙදිනානේ
තෙදි තෙදිනානෙයි තෙදිනානේ - බොල
සිය තරුණ පෙම්වතිය සමඟ කැලෑවේ ඇවිද යන වැදි තරුණයෙක් මිහිරි හඬින් නාද කරන, නොයෙක් වර්ණයන්ගෙන් යුත් කුරුල්ලන් දැක ඔවුන්ගේ රූප ශෝභාව ඇයට වර්ණනා කරමින් ගැයූ ගීතයකි මේ.
 

 
පී. ඒ. කපුරුබණ්ඩාර ආරච්චි

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...