Tuesday, April 5, 2022

මුරුතැන් පිදීම නොහොත් මුරුතැන් බෑම - 18 වෙනි කොටස

දහඅටවෙනි කොටස 

පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය

දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා වාහල නර්තනය සිදුකිරීමෙන් අනතුරුව සියලුම දෙවියන් උදෙසා මුරුතැන් ඔප්පුකීරීම සිදුවේ. මෙය දෙවොල් බාගය ආරම්භ කිරීමට ප්රථම සිදුකරනු ලබන්නකි.වර්තමානයේදී මුරුතැන් පූජාව සදහා විශාල වියදමක් දරමින් කරනු ලබන පැණි මුරුතැන් පූජාව අතීතයේ නොතිබූ අතර එකල පැවතියේ බත හත්මාලුව කැවුම් සහ කෙසෙල් ගෙඩි දෙවියන් වෙනුවෙන් පිදීමේ රටාවකි.
 
Wahala Dance දැඩිමුණ්ඩ ආරූඪයෙන් ප්‍රලය වී නර්තනයේ යෙදෙන වාහල නැටුම
Ganewatta Gammaduwa - 2021
 
මෙහිදී මඩු පේකරන දිනයේදී දෙවියන් වෙනුවෙන් අඩුක්කු පිදීමට සූදානම් කරගන්නා ලද සහල් උපයෝගී කරගනිමින් පවත්වනු ලබන පූජාවකි.එනම් මඩු පේකරන දිනයේදී සකසා ගත් සහල් වලින් මඩු දිනයේ උදෑසන මඩු කැවුම් ඉවීමට අවශ්ය පිටි සකසා ගැනීම සහ මඩු කැවුම් ඉවීමත් මඩු දින රාත්රියේදී එම සහල් වලින් බත සකසා හත්මාලුවද උයා සියලු දෙවියන්ට පුදන කලමනා සමගින් පිදීම සිදු කිරීමයි.අතීතයේදී මෙම උයනු ලබන සියලු දේවල් ඉතාම පිරිසිදුව උඩුවියන් බැද වතුර පවා පෙරා ගනිමින් සිදුකරනු ලැබේ .එසේම මෙම කටයුතු සදහා අවශ්ය ජලය (පැන්)ලබා ගැනීමට අලුතින්ම ලිදක් කපා එයද පේකර තබා ගැනීමක් චාරිත්ර වශයෙන් දකින්නට තිබුනි.මෙම චාරිත්රය වර්තමානයේදී ඉතාමත් විරලය .නමුදු මේවා ඒ ආකාරයෙන්ම සිදුකරනු ලබන කපුපත්තිනි මහත්වරු සිටීමද පැසසිය යුත්තකි .මෙසේ මෙම සියලුම පූජාවන් නිසි පරිදි සකසාදීම කොට්ටෝරු මහතාට අයත් රාජකාරීයකි.ඔහුද පිරුවට අදිමින් මුඛවාඩම් බැද මෙම පූජා ද්රව්ය සකසාදීම සිදුකරනු ලැබේ .
 
 
මෙම පූජාවන් නැවුම් මුට්ටි තුල බහාලමින් එහි කෙසෙල් කොළයක් උපයෝගී කරගනිමින් කඩවැස්ම බැද දෙවියන්ට පිදීමට සූදානම් කරනු ලැබේ .එසේම දෙවියන්ට පිදීමට සූදානම් කරනු ලබන කෙසෙල් කැන්ද වෙනමම ඉදවා කොට්ටෝරු මඩුවේ එල්ලා තබනු ලබයි.මෙසේ මෙම පූජා ද්රව්ය ඉතාම භක්තිමත් බවකින් සහ පිරිසිදු බවකින් සකසා ගැනීම කොට්ටෝරු මහතාගේ මෙන්ම දායක මහත්වරුන්ගේ වගකීමක් ලෙස තිබෙන සිරිතකි.මෙසේ සාදා ගන්නා ලද පූජාවන් පලමුව පත්තිනි දෙවියන් වෙනුවෙන් සකසා තිබෙන තොරන ඉදිරියට උඩුවියන් අල්ලමින් වඩම්මවා ගනුලැබේ .
 
මෙහිදී තොරන ඉදිරිපස වටතිර බැදීමක්ද සිදු කිරීම සිරිතකි .එසේම කපුපත්තිනි මහතාද හිස තොප්පාරම් සහ මුකවාඩම් බැද දෙවියන් උදෙසා මුරුතැන් පිදීම සදහා සූදානම් වීමක් ඇත .පෙරාතුව සූදානම් කරගන්නා ලද තැවූ කෙසෙල් කොල යහන්මත එලා මුරුතැන් පිදීම සිදුකරනු ලැබේ .මෙම දෙවියන් උදෙසා සකසා සූදානම් කරනු ලැබූ නැවුම් මුට්ටි තුල බහාලන පූජා ද්රව්ය එම මුට්ටි පිටින්ම වැඩමවීම පුරාණ ක්රමවේදයයි.එසේම එකල කෙසෙල් ගෙඩි පිදීමේදී එක් යහනකට එක් කෙසෙල් කැන බැගින් යහන ඉදිරිපස එල්ලීම සිරිති.මුරුතැන් පූජාව සිදු කිරීමේදී දන්කඨිනය කෝල්මුරයේ ගායනාවන් සිදුකරනු ලැබේ. එසේම සියනෑ ගුරුකුලයට අනුව මෙම මුරුතැන් පූජාව සදහා ආවේණිකවූ පද වාදනයක් මෙන්ම මුරුතැන් පුදා දෙවියන්ට වන්දනාමාන කරන විශේෂිත
ක්රමවේදයක් තිබුනි.එය අදද දැකීමට තිබෙන බව කිවයුතු කරුනකි .මෙම මුරුතැන් බෑම අවස්ථාව බොහෝම භක්තිමත් බවකින් යුක්ත පෙලපාළි අවස්ථාවකි.
 
වර්තමානයේදී පැණි මුරුතැන් පිදීමක් තිබෙන මුත් පෙර තුබූ ගාම්බීරත්වය පිලිබිබු වීමක් නොපෙනේ .එසේ වනුයේ මා දකිනා ආකාරයට අනුව පැණි මුරුතැන් භුක්ති විදිමට ලොල්වීම තුලින් සදාචාරය සභ්යත්වය මෙන්ම භක්තිමත් බාවය බිදීයාමත් පෙර ආකාරයට දෙවියන්ට නිසියාකාරව මුරුතැන් පූජාව සිදු කිරීම සදහා තිබෙන අවම පහසුකමයි.මෙයින් අදහස් කරනුයේ වර්තමානයේදී මිනිස්සුන්ට තිබෙන ගැටලුකාරී ආර්ථික තත්ත්වය අනුව මෙම කාරනාව පසු බෑමට ලක්වී තිබෙනවා යන්නයි.පුරාණයේදීද මෙම මුරුතැන් බැතිමත් ජනතාවට ආහාරයට ගැනීමට ලැබුනි.එහිදී දේව දානය සමගින් මෙය ලබාදීමට කටයුතු සිදුකරනු ලැබීම තුලින් සියලුම බැතිමතුන් හට එය ලැබෙන බව දැන සිටීමයි .වර්තමානයේදී පැණි මුරුතැන් පමනක් භුක්ති විදිමට ලොල්වීම තුලින් භක්තිමත් බවට යම්තරමක් හානි සිදවීමක් පෙන්නුම් කෙරේ.පුරාණයේදී උවද වර්තමානයේදී උවද දෙවියන් වෙනුවෙන් කරනු ලබන පෙලපාළියෙහි අඩුවක් කිසිදු ආකාරයකින් කපුපත්තිනි මහත්වරුන් වෙතින් සිදු නොවේ.නමුදු එක් එක් ප්රදේශ ගුරුකුලයන් අනුව මුරුතැන් පිදීමේ ක්රමවේදයයෙහි වෙනස් රටාවන් තිබිය හැකිය .

 Mysteries Wahala Dance 🔴 A Beautiful one and only Live dance perform 
වාහල භාගය | ගංගාරාම ගම්මඩුව

වාහල ගොටුව දීම (අඩුක්කුව පිදීම )

දෙවියන්ට මුරුතැන් පිදීමෙන් අනතුරුව වාහල දෙවියන් නොහොත් දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා විශේෂ ගොටු පූජාවක් සිදුකරනු ලැබේ . මෙය විශේෂිත වශයෙන් සියනෑ කෝරළය සහ අළුත්කූරු කෝරළය තුලදී සිදුකරනු ලැබේ .මේ ගොටුව තුලින් වාහල දෙවියන්ගේ රැකවරණය ආශීර්වාදය ව්ශේෂිතවු පූජාවක් සිදුකිරීම තුලින් තවදුරටත් අපේක්ෂා කිරීමක් සිදුකෙරේ මෙම ගොටුව දෙනු ලබන ක්රමවේදය වනුයේ තවා ගන්නා ලද කෙසෙල් කොළයක් බාවිතා කරමින් අඩුක්කු පුදන ගොටුවක් සාදා එයට බත හත්මාලුව කැවුම් නිසියාකාරව බෙදා කපුපත්තිනි මහතා රැගෙන වාහල දෙවියන් වෙනුවෙන් අඩුක්කුව පිදීම සදහා කරනු ලබන ගායනාවන් පලමුව සිදු කිරීමයි.මෙහිදී කෝටු තුනකින් නිමවා ගන්නා ලද කත්තිරික්කයක් තුලින් අදාල කවි ගායනාවන් සිදුකර ආතුර පක්ෂයට ආශීර්වාද කිරීමෙන් පසු පාලිකර තබනු ලැබේ .ඉන් පසු කහදියර ඉස සුවදදුම් අල්ලා දෙවියන් උදෙසා කැප කිරීමෙන් මෙම වාහල ගොටුව දීමේ පූජා කර්මය නිමකෙරේ.
 
..............................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී දේශබන්දු
කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
..............................................................................

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...