Tuesday, January 16, 2024

අලුත් සහල් මංගල්‍යය - අලවතුගොඩ සමන් දේවාලය

අලවතුගොඩ සමන් දේවාලය යනු ශ්‍රී ලංකාවේ අලවතුගොඩ පිහිටි පුරාණ දේවාලයකි. හනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පිහිටි ඓතිහාසික සමන් දේවාලය දිවයිනේ පිහිටා ඇති දේවාලවලින් තුන්වන දේවාලයයි. වළගම්බා රජතුමා විසින් ගොඩනැඟූ මෙම සමන් දේවාලය ගාම්භීර ඉතිහාසයකට උරුමය කියයි. රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ නිබඳ සැලකිල්ලට ලක් වූ මෙම පින්බිම එකල ඉතාමත් දියුණු තත්ත්වයකින් තිබූ බවට සාධක එමටයි. පසු කාලවලදී සිදු වූ විදේශ ආක්‍රමණවලින් ද මිදී මහමෙරක් සේ විරාජමාන වන පූජනීය පින් බිමකි, අලවතුගොඩ ශ්‍රී සුමන සමන් දේවාලය. එය සිංහල බෞද්ධ දේවතාවක වූ සුමන සමන් දෙවියෝ වන්දනය වෙනුවෙන් නිර්මාණය කොට ඇත. සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකොට ඇති දේවාල අතුරින් තෙවන වැදගත්ම දේවාලය ලෙස අලවතුගොඩ දේවාලය සැළකේ. මෙම පුදබිමෙහි ඉතිහාසය අනුරාධපුර යුගයේ වළගම්බා රාජ සමය (ක්‍රි.පූ. 89-77) තෙක් දිවයන බැව් පැවසේ. පසුකාලීන පෘතුගීසී යටත් විජිත සමයේ මෙම දේවාලය විනාශකර දමනු ලැබූවත්, 1814දී නැවත එය ගොඩනංවන ලදී. වර්තමානයේ මෙම පූජා ස්ථානය ශ්‍රී ලංකා රජය විසින් දිවයිනෙහි ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නිල වශයෙන් නම් කොට තිබේ. 2009 වසරේ අප්‍රේල් 8වන දින අංක 1597 දරණ ගැසට් පත්‍රය මගින් මෙම නම් කිරීම සිදුකරන ලදී.
 


සාරසියපත්තුවේ උඩගම්පහ පිහිටි පෞරාණිකතම ප්රධාන දේවාලය වනුයේ මෙම දෙවොලයි.ලක්දිව සමනලකන්දේ පුරාවත හා සබැඳි සමන්දේව වන්දනය මෙහි ඇරඹෙන්නේ මහනුවර රාජධානි සමයට ද පෙර පටන්ය.මෙම දෙවොල ලක්දිව පිටිසර සමන්දේවාල අතුරින් සිව්වැනි තැන් ලබයි. වට්ටගාමිණී අභයරජු විසින් දෙන ලද සන්නසක් 1818 අරගලයෙහිදී විනාශ වී ඇතැයි මෙහි ප්රවාදයකි.එමෙන් එසමයෙහිම මෙහි වැසී ඇතැයි කියනුලබන කුහරයක ඉදිකළ පොත්ගුලක් පිළිබඳවද කියැවේ. මෙහි අපැහැදිලි අකුරින් යුතු සෙල්ලිපියක්ද වෙයි.සෙංකඩගල සමයෙහි රාජදණ්ඩනයට හසුවන්නවුන් සමන්දෙවොල අසලදී යලි වරද නොකරන බවට දිවුරීම පෞරාණික චාරිත්රයක් වී තිබී ඇත. එකල මෙහි වූ හිඟුරුවානාගල විහාරය හා සමන්දෙවොල පිදුරුසෙවිකල ගොඩනැගිලිය.පැවති ආරක්ෂක පදනම් සියල්ල කඩා බිඳගෙන ත්රිකුණාමලයේ සිට ක්රමයෙන් සෙංකඩගලට වන් ඉංග්රීසි හමුදාවෝ මෙම ස්ථානය ආක්රමණය මෙහි කඳවුරු බැඳගති.

ඒ අතර උපායශීලීව සාරසියපත්තුවෙහි තැන තැන ගම්බිම් විනාශකළ ඔවුහු ඉදිරියට ඇදුනේ දෙවොලට ද,වෙහෙරට ද ගිනිතබාය. අරගලයෙන් පසු යලි දෙවොල ඉදිවුනේ නමුදු විහාරය නෂ්ටප්රායවිය. එකල රජුන් හා බැතිමත්හු දෙවොලට පිදූ ඉඩම් අක්කර පන්සිය ගණනකි.විහාරදේවාල කොමිසම "දියකැපිලිහේන"ඉඩම අහිමි කළ බවක් ඉතිහාස වාර්තාවල සඳහනි. දෙවොල තුල ඇත්තේ වරිච්චි හා කාප්ප බිත්ති ය. වත්මනෙහි වහලය පෙතිඋළු සෙවිල්ලකි. දෙවොල තුල කුටි දෙකකි. සමන්දෙව්රද හා ප්රාදේශීය දේවතාවියක වන බණ්ඩාර දේව මාතාවෝ එහි වැඩවෙසෙති. මාවතුපොල ග්රාමයෙහි වූ හීනි අඹේ දෙවොලෙහි වැඩසිටි එම දෙව්තොමෝ මෙහි වැඩ සිටින්නට පෙර මෙහි වැඩහුන්නේ විෂ්ණු නැතහොත් උත්පලවර්ණ දෙව්රද ය. එවක පල්ලේගම්පහ මැඩිල්ලතැන්නේ පිහිටි පුරාණ බෝගම්බර දෙවොලෙන් මෙම මහසමන් අනාභරණතබා පුදපෙත් කළබවක් ද ප්රවාදිතය.

මෙහි ඉඩම් ප්රවේණි පංගු, බණ්ඩාර පංගු හා මාරුවෙන පංගු වශයෙනි.දැනට මෙහි නිල පංගු තිහකි. බලකඩුවේ දියකපනාතොටින් දියකපන මෙහි පෙරහැර මංගල්යය වාර්ෂිකව සිදුකෙරෙන අතර සතර මංගල්යයම මෙහි සිදුකෙරේ. සමන්දෙවියන් බෞද්ධ දෙවියෙකු යැයි සලකන හෙයින් දෙව්ගේ හස්තයෙන් දුනු හා ඊතල මුදාහරින්නට ඇත. උපුල්මල වෙනුවට අද නෙලුම්මල දක්නාලැබේ. බෞද්ධ සාහිත්යාගත තතු අනුව නම් ජේතවනාරාමයෙහි රන්කිහිරි ගසෙහි වැඩසිටි භෝගශාලී සුමන>සමන් බොක්සැල් වූවා වියහැක. සාම්ප්රදායික දේවාලයන්හි චාරිත්ර සියල්ලම බෞද්ධදෙවියෙකු වෙනුවෙන් ඉටුකෙරෙනුයේ ඇයිදැයි යන්න විමසුම ද වටී.
 
අලවතුගොඩ ශ්රී සුමන සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්ය - 2023
 
අලුත් සහල් මංගල්‍යය
I වන විමලධර්මසූරිය රජු (ක්‍රි. ව. 1592 – 1604) විසින් දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවරට වඩම්මවා එහි දළදා මැඳුරක් කරවා එහි තැම්පත් කිරීමත් සමග සිංහල රාජත්වයේ උරුමය කන්ද උඩරට රාජධානියට ලැබුනා සේම දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ පරම වගකීම ද උඩරට රාජධානියට ලැබුනු ආකාරයක් හඳුනාගත හැකිය. තවද දළදා වහන්සේ කේන්ද්‍ර කරගෙන දළදා සංස්කෘතියක් ද උඩරට රාජධානියේ ආරම්භ විය. එහිදී දළදා වහන්සේ උදෙසා උඩරට රජදරුවන්ගේ රාජාඥාව පරිදි පවත්වන වාර්ෂිකව සතර මංගල්‍යය සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එම සතර මංගල්‍යයන් වනුයේ දුරුතු මාසයේ පවත්වන අලුත් සහල් මංගල්‍යය, බක් මාසයේ පවත්වන අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ මාසයේ පවත්වන පෙරහැර මංගල්‍යය සහ ඉල් මාසයේ පවත්වන කාර්තික මංගල්‍යය වශයෙනි. ඒ අනුව ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව වර්ෂයේ ආරම්භයේ දී පවත්වන දළදා පූජෝත්සවය වශයෙන් දුරුතු මාසයට (ජනවාරි) යෙදෙන අලුත් සහල් මංගල්‍යය හඳුනාගත හැකිය.
 
මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ලක්දිවට බුදු දහම හිමි වූ අතර එවකට පාලකයා වූ දේවානම්පියතිස්ස රජු (ක්‍රි. පූ. 250 – 210) විසින් සමස්ත ශ්‍රී ලංකාවම බුදු සසුනට පූජා කළ බව මහාවංසයේ සඳහන් වේ. එතැන් සිට මෙරට සිංහල බෞද්ධ ගොවියන් සිය කුඹුරු සහ හේන්වලින් ලැබෙන ධාන්‍යවලින් අග්‍ර කොටස බුදුන් වහන්සේට පූජා කිරීමට යොමු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජය ශ්‍රී මහා බෝධියත්, දළදා වහන්සේ ප්‍රධාන කොටගෙන අලුත් සහල් මංගල්‍යයන් පැවැත්වීම ආරම්භ වූ බව හඳුනාගත හැකිය. ඒ අනුව රාජත්වයේ සංකේතය වූ දළදා වහන්සේ උදෙසාත්, කන්ද උඩරට රාජධානියේ වූ ප්‍රධාන රජ මහා විහාරවල බුද්ධ පූජාවක් වශයෙන් ද, උඩරට රාජධානියේ ප්‍රධාන දේවාලවල පවත්වන දේව පූජාවක් වශයෙන්ද මෙම උත්සවය හඳුනාගත හැකිය. 
 

රාජකීය අටුව
අලුසාල් මංගල්‍යය, අලුසල් මංගල්‍යය, අග්‍රසස්‍ය දානය, අගසස් දානය යන නාමයන්ගෙන් හඳුන්වන මෙම මංගල්‍යය වර්තමාන ස්වරූපයෙන් උඩරට රාජධානියේ ආරම්භ වූයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ්‍යය සමයේ (ක්‍රි. ව. 1707 – 1739) දී බව මූලාශ්‍රය අධ්‍යයනයේ දී තහවුරු වේ. එදා සිට උඩරට කිරීටයේ අණ පරිදි වර්තමානය තෙක් පුරාණ චාරිත‍්‍රයන්ට මූලිකත්වය ලබා දෙමින් සිදු මෙම මංගල්‍යය සිදු කරන ආකාරයක් හඳුනාගත හැකිය. ඒ අනුව ‘‘ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන මහනුවර ශ්‍රී දංෂ්ඨා ධාතු මන්දිරයේ අලුත් සහල් මංගලෝක්සවය යි ’’ යන ශීර්ෂය යටතේ දළදා මැඳුරේ නැකැත් මොහොට්ටාල විසින් නිකුත් කරන සූභ මූර්තියන් අනුව සිදු කරනු ලැබේ. එහිදී රාජකීය අටුව වෙත පෙරහැර පිටත් වීමටත්, දළදා මැඳුරේ ඇතුළු අනිකුත් සිද්ධස්ථානවල ධාන්‍යාගාරවල වී සහල් තැම්පත් කිරීමටත්, මුළුතැන් පූජාව පැවැත්වීමටත් සුබ මූර්ති සකස් කරනු ලැබේ.
 
ඒ අනුව මෙම මංගල්‍යය ප්‍රධාන අවස්ථා තුනකින් සමන්විත වන අතර ප්‍රථමයෙන් සුබ නැකතට අනුව දියවඩන නිලමේවරයා ප‍්‍රමුඛ දළදා මැඳුරේ රාජකාරි ඇත්තන් සහ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු ප්‍රමුඛ රාජකාරි ඇත්තන් පෙරහැරකින් දළදා මැඳුරේ රාජකීය වී අටුව පිහිටි භූමියට පැමිණේ. ඒ අනුව අතීතයේ දී එම වී අටුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි. ව. 1747 – 1781) දළදා මැඳුරට පූජා කළ වී අමුණු 18 කින් යුක්ත ගුරුදෙණිය කෙතහි පිහිටා තිබුණු නමුත් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි වූ වික්ටෝරියා සංවර්ධන ව්‍යාපෘතියට එය යට වී ඇත. එබැවින් රජය විසින් යක්කුරේ ප්‍රදේශයේ අක්කර 25ක ඉඩමක් සහ රාජකීය අටුව ඉදි කිරීමට පල්ලේකැලේ ප්‍රදේශයෙන් ඉඩමක් දළදා මැඳුරට පූජා කර ඇත. එබැවින් අලුත් සහල් මංගල්‍යයේ චාරිත‍්‍ර එම පල්ලේකැලේ පිහිටි අටුව කේන්ද්‍ර කරගෙන පැවැත්තේ.
 
එලෙස රාජකීය අටුව වෙත පැමිණි දියවඩන නිලමේවරයාව විදානේ සහ ගමරාළලා හත්දෙනා විසින් බුලත් හුරුලු දී පිළිගත යුතු අතර රාජකීය නියමය පරිදි ඔවුන් අඩුක්කු නැලි 07ක් සහ වෑංජන 30කින් ආහාර එම ස්ථානයට රැගෙන ආ යුතුය. එලෙස රැගෙන ආ ආහාරවලින් පෙරහැරේ පැමිණි පිරිසට සංග්‍රහ කිරීම පුරාණයේ සිට එන චාරිත‍්‍රයකි. එයින් පසු සුබ මූර්තියට මගුල් බෙර වයා දෙවියන් උදෙසා දේව ස්තෝත‍්‍ර ගායනා කොට වී සහල් බෙදීම ආරම්භ කරයි. එහිදී මුලින්ම දියවඩන නිලමේවරයා සහල් බෙදීම සංකේතවත් කරමින් රිදී නැලියෙන් සහල් හා වී සුළු ප්‍රමාණයක් දළදා මැඳුර වෙන් කර ගනී. ඉන් පසු අටුවේ මනින්නා (මනන්නා) සහ ඔහුගේ සහායකයා විසින් දළදා මැඳුරේ ලේකම් මහතා කියවන ලේකම් මිටියේ සඳහන් ආකාරයට ලැයිස්තු තුනක් යටතේ හාල් සේරු 869ක් දළදා මාළිගාව, මල්වතු – අස්ගිරි උභයමහා විහාර ප්‍රමුඛ කන්ද උඩරට රාජධානියේ ප්‍රධාන රජමහා විහාර සහ සතර මහා දේවාල ප්‍රමුඛ පිටිසර දේවාලවලට වී සහල් බෙදා දෙනු ලබයි.
 
ඒ අනුව පළමු ලැයිස්තුව යටතේ දළදා මාලිගාවට හාල් සේරු 15ක් හා වී සේරු 15ක් ද, දෙවන ලැයිස්තුව යටතේ හාල් සේරු 20ක් ද, තුන්වන ලැයිස්තුව යටතේ හාල් සේරු 10ක් ද හිමිවේ. එමෙන්ම පළමු ලැයිස්තුව යටතේ ලේවැල්ල ගංගාරාමය, කුණ්ඩසාලය, දෙගල්දොරුව ආදි රජමහා විහාරත්, මහනුවර සතර මහා දේවාල සහ පිටිසර දේවාලවලටත් යන ස්ථාන 82කට සහල් බෙදීම සිදු කරයි. අනතුරුව දෙවැනි ලැයිස්තුව අනුව නැවත ගංගාරාම විහාරය, කුණ්ඩසාලේ, දෙගල්දොරුව, අලුත් විහාරය, පරණ විහාරය යන රජමහා විහාරවලටත්, සිව් මහා දේවාලවල යන ස්ථාන 10ට වී සහ සහල් බෙදනු ලැබේ. මෙම දෙවැනි ලැයිස්තුව යටතේ ඉහත දක්වන සහල් ප්‍රමාණයට අමතරව දළදා මාලිගාවට හාල් සේරු 45ක්, මහකිරිබොඩ පාත‍්‍රයට සහල් සේරු 80ක් හා වී සේරු 10ක් හිමි වේ. තෙවැනි ලැයිස්තුව යටතේ මල්වතු – අස්ගිරි විහාරවලට, එම පාර්ශ්වවල මහානායක හිමිවරු දෙදෙනාට සහ අනුනායක හිමිවරු සතර දෙනාට, දියවඩන නිලමේවරයාට, බස්නායක නිලමේවරුන්ට ඇතුළු රාජකාරි ඇත්තන්ට වී සහල් බෙදා දෙනු ලැබේ. ඒ අනුව වැඩිම වී සහල් ප්‍රමණයක් දළදා මැඳුරට හිමි වන අතර යම් ස්ථානයකින් සහල් ලබා ගැනීමට නොපැමිණියහොත් එම ස්ථානයට හිමි විය යුතු සහල් ප්‍රමාණය ද දළදා මැඳුරට හිමි වේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සහල් මැනීමේ ‘එක’ යන පදය වෙනුවට ‘ලාබයි’ යන පදය යොදා ‘ලාහයි, දෙකයි, තුනයි,.’ වශයෙන් ඒ ඒ ස්ථානවලට හිමි සහල් ප්‍රමාණයන් මැනීමයි.
 
හේමකඳ
මෙලෙස ඒ ඒ විහාර සහ දේවාලවලට හිමි වූ සහල් හේමකඳහි තැම්පත් කොට වෙන් වෙන්ව එම ස්ථාන කරා වෙන් වෙන්ව ගමන් කරයි. දළදා මැඳුරට සහ සිව් මහා දේවාලවලට හිමි වූ සහල් හේම කඳ තුළ තැම්පත් කොට හස්තීන් සහිත පෙරහැරකින් ලේවැල්ල ගංගාරාම රජමහා විහාරයට පැමිණ එහි එදින රාත‍්‍රියේ සහල් තැම්පත් කරනු ලැබේ. අනතුරුව පසු දින පාන්දර අලි ඇතුන්, ධජ පතාක සහිත පෙරහැරකින් දළදා මැඳුර වෙතත් දේවාල සතර වෙතත් අලුත් සහල් ගෙන ගොස් අනතුරුව සුබ මොහොතට අනුව සහල් ගබඩාවල තැම්පත් කරනු ලබයි. එම වේලාවටම අනිකුත් සිද්ධස්ථානවලත් අලුත් සහල් තැම්පත් කිරීම සිදු කරයි.

මෙලෙස සහල් උපයෝගි කරගෙන අලුත් සහල් මංගල්‍යයේ ප්‍රධාන චාරිත‍්‍රය දුරුතු මස පුරපසළොස්වක පොය දිනයේ දී සිදු කරයි. ඒ අනුව දළදා මැඳුරේ ගබඩාවේ තැම්පත් කළ සහල් විදානේවරුන්ගේ මැදිහත් වීමෙන් පිරිසිදු කොට ළිප් බැඳ ඒ වටා කහ දියර ඉස සහල් සේරු 80ක බත් පිසිනු ලබයි. එමෙන්ම ඊට සරිලන සේ වෑංජන, අවුලුපත්, පලතුරු ද සූදානම් කෙරේ. ඉන් පසු හදුන් කුඩමේ මහකිරිබොඩ පත‍්‍රය තැම්පත් කොට ඊට සහල් සේරු 80 බත් දමා දළදා වහන්සේ උදෙසා තේවාභාර භික්ෂුන් වහන්සේ සහ දියවඩන නිලමේ විසින් පිළිගන්වයි. මෙම පූජාව නියමිත නැකැත් වේලාවට පූජා කරන අතර සෑම දිනකම පවත්වන සහල් සේරු 32ක සහ වෑංජන 32කින් සමන්විත මහා මුළුතැන් පූජාවට අමතරව මෙම පූජාවන් පිළිගැන්වීම විශේෂත්වයකි. මෙලෙස අලුත් සහල් පූජාව දළදා මැඳුරේ සිදු කරන වේලාවටම ඉහත බෙදා දුන් සහල් හිමි වූ සෙසු ස්ථානවල ද බුද්ධ පූජාව සහ දේව දානය පවත්වා රටට සෞභාග්‍යත්, සමෘද්ධියත් ලැබේවා! යනුවෙන් ප්‍රාර්ථනා කරයි.

"උඩරට රාජකීයන්ගේ නියමයෙන් වර්තමාන තෙක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන සිව් මහ දේවලවල, උඩරට රජ මහා විහාර සහ පිටිසර දේවලවල දුරුතු මස අලුත් සහල් මංගල්‍යය පවත් වනු ලැබේ. එලෙස පවත්වන අලුත් සහල් මංගලයේ වී සහල් බෙදීමේ පූරණ ලැයිස්තුවට අනුව එම *සහල් හිමිවන එකම සමන් දේවාලය වන්නේ අලවතුගොඩ ශ්‍රී සුමන සමන් දේවාලයයි* ඒ අනුව අතීතයේ ගුරුදෙණිය වී අටුවේ (වර්තමාන කුණ්ඩසාලේ වී අටුවේ) දී පවත් වන එම උත්සවයේ දී මෙම දේවාලයට සදහා *වී සේරු 01 සහ සහල් සේරු 01ක* ප්‍රමාණයක් හිමි වේ. එලෙස ලද වී සහල් පෙරහැරකින් දේවාලය වෙත ගෙන එනු ලැබේ. අනතුරු දුරුතු පෝය දිනයේ දී එම සහල් සහ දේවාලයේ නිදගම් ඉඩම්වලින් ලද සහල් ද භාවිතා කරමින් බුද්ධ පූජාව සහ දේව දානය සකස් කොට පිළිගැනී වීම රාජ නියෝගයට අනුව වර්තමානය දක්වා සිදු කෙරේ. ඒ අනුව උඩරට රාජකීයන් සුමන සමන් දෙවියන්ට දැක්වූ භක්තිය පදනම් කරගෙන අලවතුගොඩ සුමන සුමන දේවාලයේ අලුත් සහල් මංගල්‍යය ඇතුළු සතර මංගල්‍යයන් පැවැත්වීම සිදු වේ"


ඒ අනුව කන්ද උඩරට රාජධානියේ පිහිටි ප්‍රධාන ආගමික ස්ථානය වූ දළදා මැඳුර මූලික කරගෙන රජමහා විහාරවල බුද්ධ පූජාවක් වශයෙන් ද එහි පිහිටි ප්‍රධාන දේවාලවල දේව පූජාවකුත් වශයෙන් අලුත් සහලින් පිසූ ආහාර දළදා වහන්සේ. බුදුන් වහන්සේ සහ දෙවිවරුන් උදෙසා පූජා කොට නිසි කලට වැසි ලැබී අස්වැන්න සාර වී රට ස්වයංපෝෂිත වීම අරමුණ සහිතව පවත්වන උත්සවයක් වශයෙන් මෙම අලුත් සහල් මංගල්‍යය හඳුනාගත හැකිය. 

පිටිසර දේවාල පෙරහර

පෘතුගීසීන් විසින් මේ දේවාලය විනාශ කළත් 1814 දී යළි පිළිසකර කරන ලදී.  පසුව ලංකාවේ පාලනයට පත් වූ ඉංගී‍්‍රසීන් විසින් මෙහි වටිනාකම වටහාගෙන නියමාකාරයෙන් මෙහි පුද පූජා තේවා පවත්වා ඇත. සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදි වූ මෙම දේවාලය නොකඩවා ප්‍රදේශවාසීන්ගේ පුද පූජාවන්ට ලක්වෙමින් තිබියදී අතීතයේ එක් කාලයක මාවතුපොල පිනිඅඹේ දේවාලයේ තිබූ බණ්ඩාර නම් දෙවියන්ගේ දේව ආභරණ, පෙරහරකින් දේවාලයට වඩමවා පසුදා ආපසු මාවතුපොලට වැඩමවීමට උත්සවයක් වශයෙන් පවත්වා ඇත. පෙරහර පැවැත්වීමේදී සමන් දෙවියන්ගේ ආභරණ ඇතෙක් පිට වඩමවා ගෙන යයි. බණ්ඩාර දෙවියන්ගේ ආභරණ ඇතින්නක් පිට වැඩම විය යුතුය. එයත් රසවත් අතීත කතාවකින් රසවත් වී ඇත. වසරක් පාසා නොකඩවා පැවැත්වෙන අලවතුගොඩ සමන් දේවාලයේ පෙරහර මංගල්‍ය සඳහා කප් සිටුවීම සිදු කරන්නේ මහනුවර දළදා මාලිගාවේ සතර මහා දේවාලවල කප් සිටුවන දිනයේදීම ය. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමා වී දින 15 කට පසුව පිටිසර දේවාල පෙරහර ආරම්භයත් සමඟ දේවාලයේ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරේ.

අගෝස්තු 28 දින සිට කපවට පෙරහර කෙම්මුර දින යාතිකාවන් ද සමඟ දින 5 ක් ද, සැප්තැම්බර් 2 දා සිට කුඹල් පෙරහර සියලු තේවාවන් පිළිවෙත් සහිතව දින 5 ක් ද, සැප්තැම්බර් 7 වෙනිදා සිට රන්දෝලි පෙරහර මුරුතැන් පූජා සහ යාතිකා සමඟ දින 5 ක් ද, පවත්වා සැප්තැම්බර් 12 වෙනිදා දවල් බලකඩුවට ගොස් දිය කැපීමෙන් පසුව නැවත සවස දේවාලයට ගෙවදීමෙන් පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ. බස්නායක නිලමේතුමාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දේවාලයේ තේවාවන් මෙන් ම පෙරහරේ කටයුතු ද ඉතාමත් දැඩි නීති මාලාවකට හා සිරිත් විරිත් රාශියකට යටත්ව සිදු වේ. මෙම දේවාලයේ තේවා කරන පිරිස පරම්පරාවෙන්ම තේවාව කිරීම සඳහා බැඳී ඇති පිරිසකි.

රජතුමාට සැලකූ ආකාරයටත් වඩා හොඳින් දෙවියන්ට සැලකිය යුතුය. ඒ සඳහා බස්නායක නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන විදානේ – ප්‍රධාන කපු - මුරුතන් රාජකාරි – කදමුර - හේවිසි - පිරිසිදු කිරීම – වියන් බැඳීම – පාවඩ එලීම – මුර ආයුධ සැපයීම - හේනයලාගේ කටයුතු ආදී වශයෙන් ප්‍රධාන රාජකාරි 30 ක් පමණ වාර්ෂික මාරුවීම් ක්‍රමයට පත්කර ඇති අතර ඒ අයට ගොඩ මඩ ඉඩම් පවරා ඇත. බස්නායක නිලමේතුමා පත්කිරීමේ ක්‍රමය අතීතයේ 1815 සිට 1947 දක්වා ජීවිතාන්තය දක්වා ද, 1947 සිට 1981 දක්වා වසර 10 කට ද, 1981 සිට වසර 5 කට ද, නියම කර පත් කරනු ලබයි. වර්තමාන බස්නායක නිලමේතුමා වන්නේ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාය.

එතුමාගේ දැඩි කැපවීම සහ අධීක්‍ෂණය මත මේ වසරේ ද පෙරහර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.දැනට මෙම පින්බිමේ වැඩ නිමවෙමින් පවතින චෛත්‍යරාජයා දානපති සුසිල් බිල්ඩර්ස් අධිපති සුසිල් රංජිත් රාජපක්‍ෂ මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරනු ලබයි. ප්‍රදේශයේ හින්දු බැතිමතුන්ගේ ද පුද පූජා ලබන අලවතුගොඩ ශ්‍රී සුමන සමන් දේවාලයේ විදුලි නඩත්තුව මෙන් ම මාසික විදුලි බිල්පත ද මේ ප්‍රදේශයේ ව්‍යාපාරික මුත්තයියා පිල්ලේ මහතාගේ පුද්ගලික වියදමින් සිදු කරයි. ආගමික බැඳීම් ශක්තිමත් කරන තෝතැන්නක් බඳු මේ දේවාලය එවැනි තවත් බැතිමතුන්ගේ අනුග්‍රහය නිසාම අදටත් මේ තත්ත්වයෙන්වත් රැක ගැනීමට හැකිව තිබේ.

 

 

ඩබ්ලිව්. එම්. එම්. සංජය වීරකෝන්
ශාස්ත‍්‍රවේදී (ගෞරව) ඉතිහාසය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.


No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...