Thursday, April 28, 2022

අඹ විදමන - 22 වන කොටස

විසිදෙවන කොටස
පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය 

දෙවොල් මඩු ශාන්තිකර්මයේදී නාට්යමය ගති ලක්ෂණ විදහා දක්වමින් ඉදිරිපත් කරනු ලබන පෙලපාළියකි අඹ විදමන .මෙමගින් ඉදිරිපත් කරනු ලබනුයේ පත්තිනි දෙවියන් අඹෙන් උපන් කතා පුවත විදහා දැක්වීමයි . මෙම පෙලපාළිය සිදු කිරමෙන් අපේක්ෂිත අරමුණ සහ සාමාජීය පණිවිඩය වනුයේ ජන සමාජයට සිදුවන නපුර පලවා හැරීම සහ එම කටයුත්ත සිදුකිරීම සදහා දෙවියන් ගෙන් පවා උදව් උපකාර අනුමැතිය ලැබෙන බවයි.එසේම යම් පුද්ගලයකු ගෙන්වේවා යම් අවයවයකින් වේවා ජන සමාජයට පීඩාවක් අයහපතක් නපුරක් සිදුවන්නේ නම් එය පලවා හැරියයුතු හෝ විනාශ කලයුතු බවත් ජන සමාජයේ සුභ සිද්ධිය උදෙසා දෙවියන් පවා නපුර විනාශ කර යහපත ලගාකර දීමට උදව් උපකාර කරනු ලබන බවකි.අයහපත නපුර පිටුදැකිය යුතුබව මෙම පෙලපාළිය තුලින් මනාව ප්රදර්ශනය කෙරේ.
 
අඹ විදමන
The Dewolmadu Shanthikarmaya was 
Organized by the leo club of Mahanama college
 
සංස්කෘතික අංගයක් ලෙසින් ගත්කල පත්තිනි දෙවියන්ගේ විශේෂිත උප්පත්ති කතා පුවතක් විශ්මිත ආකාරයට විදහා දැක්වීමක් මෙහි අන්තර්ගතව ඇත .එසේම මෙම කතා පුවතටම ආවේණිකවූ කාව්ය සාහිත්යයක්ද ඉතාම අර්ථාන්විතව ගොඩනැගී තිබීම තුලින් මෙම කතා පුවතේ ආකර්ෂණීය බව ඉහල මට්ටමක පවතී .එසේම මෙම පෙලපාළිය තුලදී බාවිතා කරනු ලබන දෙබස් අනුව කතාවෙහි ජීවමාන බවක් පිලිබිඹු වේ.බාවිතා කරන දෙබස් තුලින් ප්රේක්ෂක ජනතාව (බැතිමතුන් ) ප්රීති ප්රමෝදයට පත්කිරීම තුලින් ජීවිතයට සමීප බවක් පෙන්නුම් කෙරේ .මෙම අඹ විදීම පෙලපාළිය තුලින් පත්තිනි දෙවියන්ගේ අඹෙන් උපන් කතාව පූජණීයත්වයෙන් බැතිමතුන් ගේ සිත් තුලට කාවැද්දීමක් සිදුකෙරේ .එමෙන්ම මෙම පෙලපාළිය නැරඹීම තුලින් පත්තිනි දෙවියන් කෙරෙහි විශ්වාසයක් ජනිත කරවා සෙත්ශාන්ති ලබා ගැනීමට නැඹුරුවක් ඇති කරවනු ලබයි.මෙම පෙලපාළිය සංස්කෘතික අංගයක් ලෙසින් ඉදිරිපත් කරනු ලබන ආකාරයත් මෙහි ඇතුළත් කතා පුවතක් පහත සදහන් පරිදි වේ. 

 
පත්තිනි කතා පුවතට අනුව කන්නගිය දේවත්වයට පත්වී අදුන්ගිරී පර්වත මුදුනෙහි මතු බුදුබව පතා පිරිමි ආත්මයක් ලබාගැනීම සදහා සිල් රකිනා කාලයේදී සිදුවූ පුවතක් මේ කතාංගය තුලින් ප්රකශිතවේ.දකුණු ඉන්දියාවේ පඩි රටෙහි පාලකයාගේ ක්රියා කලාපය නිසාම එරට ජනතාව මහත් පීඩනයකට පත්ව සිටීම මෙන්ම පඩිරජුගේ නලලේ පිහිටි තුන්වෙනි නෙත නිසා ලෝකයට සිදුවෙන අනර්තය වලකාලීම අරමුණු කරගනිමින් සක් රජුන්ගේ උපක්රමශීලී ක්රියාවලිය පිලිබිඹු කිරීම මෙම පෙලපාළියේදී සිදුකරනු ලැබේ .
 
සක්දෙව් රජුන් අදුන්ගිරී පර්වත මුදුනෙහි සිල් රකින්නාවූ පත්තිනි දෙවියන් ගෙන් දනක් ඉල්ලා සිටි විටදී ඇයගේ තෙදබල පෙන්වමින් දානය පිස පිලිගන්වන ලදී.ඉන් අනතුරුව සක් දෙවියන් තමන් පැමිණි කාරනාව පත්තිනියන් හට පවසනු ලැබ ඇත .එනම් පඩිරට පාලකයා නෙත් තුනකින් සමන්විත බවත් එම නලලෙහි ඇති තුන්වෙනි නෙත නිසාවෙන් රටවැසියන්ට මෙන්ම ලෝකයටත් අනර්තයක් සිදුවෙන නිසා ඔහුගේ එම තුන්වෙනි නෙත මැකිය යුතු බවයි.
 
එම නිසාවෙන් පඩිරජුගේ අඹ උයනෙහි අඹ ගෙඩියක පිලිසිද නෙත මැකීමට කටයුතු කරන ලෙස සක් රජුන් විසින් පත්තිනි දෙවියෙන් ගෙන් ඉල්ලීමක් කරන ලදී .එම ඉල්ලීමට එකගව පඩි රජුගේ අඹ උයනෙහි අකලට හටගත් අඹයක පිලිසිදුනි .මෙම අඹය මාදිය කලයක් සේ විශාල විය .උයන් පල්ලා මෙම අරුම පුදුම අඹය පිලිබදව සියලු තොරතුරු පවසනු ලැබීය .ඒ අනුව මෙම අඹය විදගෙන ගෙනෙන ලෙස නියෝග කල මුත් එරට සිටි කිසිදු අයෙකුට එය කල නොහැකිවීය.එහිදී මෙම අරුම පුදුම අඹය බැලීමට රජුන්ගේ පැමිණීම සිදුවේ. රජුන් පැමින සිටින අවස්ථාවේ අඹය විදීමට මහලු මිනිසෙකු ඉදිරිපත් වෙයි.මෙහිදී මොහුට සමච්චල් කරනු ලැබේ.
 


එය ගනන් නොගත් මහල්ලා ස්ථීරවම අඹය විදදෙන බවට පොරොන්දුවක් දී අඹ ගෙඩිය විදිය යුත්තේ යන හීයෙන්ද ආපසු එන හීයෙන්ද කියා රජුගෙන් විමසීමේදී යන සහ එන හීයෙන් බාගය බැගින් කැපෙනසේ අඹය විදින ලෙස අණකරයි.ඒ අනුව මහල්ලා විසින් එම ආකාරයට අඹය විද්දමුත් බිම නොවැටී තියෙන්නේ කුමන ආශ්චර්යක් නිසා දැයි කියා රජු උඩ බැලූවිට රජුගේ තුන්වෙනි නෙතට අඹ කිරි වැටීමෙන් එම නෙත මැකුනි.(අන්ධවිය) එහිදී පඩිරජු විසින් මෙම අඹය මහත් විපත්ති ගෙන දෙන්නක් කියා ගග දිය පාකර හැරීමට නියෝග කරනු ලැබීය .එම අනුව රන් සැලියක බහාලන අඹය ගගේ පපාකර හරිනු ලැබේ . මෙම කතාංගය නාට්යමය පෙලපාළියක් ලෙසින් අඹ විදීම තුලින් පෙන්වාදෙනු ලබයි. මෙය ඉතාම රසවත් බවකින් යුක්ත හාස්යජනක පෙලපාළියක් ලෙසින් බැතිමතුන් අතර ජනප්රියත්වයට පත්ව ඇත .. අඹ විදමන පෙලපාළිය රගදැක්වීම කොයි ගුරුකුලය ගත්තත් එඅකහා සමාන බවක් පෙන්නුම් කෙරේ .එහෙත් බාවිතා කරනු ලබන ගායනා කරනු ලබන කවි කාණ්ඩයන් විවිධ ආකාරයට ඇති බවක් ප්රායෝගිකව දැකබලා ගැනීමට හැකියාව ඇත .

අඹ විදීමේ කවි ගායනා (සියනෑ )

සත වෙත මහ කුලුනෙන් සිත නිතො රා
සෙත දෙන පලකල මග පල සත රා
සතර දියත පරසිදු ගුණ ගැඹු රා
සිත සතොසින් නමදිමු මුණි පව රා
බවගිම් දැනගත් කුලුනෙන් සොබ නා
මනරම් සග මොක් සැප සිදුකර නා
නරදම් සැරියුත් වදහල බසි නා
නමදිම් සදහම් නිති බ බැති පෙමි නා
පවර සිතසෙ පව් ඝනදුරු බින්ද න
නොහැරම දන රජ දල දප බින්ද න
පවර නොයෙක් රජ සුරනර වන්ද න
නිතර සිතසෙ නමදිම් මුණි නන්ද න
යසසින් වැඩි පත්තිනි තද තෙදි නේ
නුවරට ලග පඩි නිරිදුගෙ උය නේ
වටකොට අඹ දහසක් පිරිවරි නේ
අකලට අඹයක් පලගති උය නේ
ගහකොළ අතුරෙහි තිබෙන රගේ යා
මනනද කරවන මවිත අඹේ යා
දින දින තෙදරැස් පැතිර තිබේ යා
රන් කලසක් මෙන් පැතිර තිබේ යා
නිරිදුගෙ මෙහෙවර බලන බසින් නේ
සැමදා විසිතුරු සොයන ලෙසින් නේ
පැහැද උයන් ගොව්වට සිත දුන් නේ
ගොව්වා උයනට වැද විමසන් නේ
පානදුර තොටමුන කෝරළයේ මඩුයාගවලදීද
ඉහත සදහන් කවි ගායනාවන්ම බාවිතා කරනු ලැබේ .
 

අඹ විදමන කවි (අළුත්කූරු කෝරළය )

දඹදිව් තල පොර නේ
බරණැස නමින් සැදු නේ
දැක ඔබ දිව නෙති නේ
උපන් පලමුව හදුන්උය නේ
පඩිරජුගෙ උයන ට
වැඩියා පතිනි ලොබ කො ට
පඩි නෙත මකන්න ට
අඹෙන් උපනැයි එසත් වාරෙ ට
නමින් පසිදු දඹදිව් තල පඩි රට
රජකල නිරිදු ට
යොදුන් ගනන් අඹ උයනේ ගොස්විය
එහි සැදුනි යස ට
ඇසින් බලා බැරි නිමවනු රන් කද
වැනි ගසේ පා ට
ගොසින් පතිනි අඹ උයනේ පිලිසිද
ගති එසත් වර ට
උයනේ වෙන පලගත් අඹ පිලිකුන්වී
වැටෙයි බිම ට
කොතනේ බැලුවත් මේසැටි අඹයක්
නැත මෙහෙම රුව ට
වඩිනේ අඹයේ තෙදරැස් දිනිදු
සේම උදගිර ට
එදිනේ ගොස් ආඹේ ලකුණු කී
රජ සිරිපා වැද සි ට
පුරුක් නවය සන්දි තිබෙන දුන්න
අදිති වර නවන් ට
වරක් විදපු ඊය මෙසේ කිව් නිරිදුට
උඩ බලන් ට
කලක් පවතිනා අණසක ගුවනේ
කැරකී තිබෙන් ට
උලක් ඇනපු ලෙස අඹ කිරි වැටුනේ
පඩි නෙත මැකෙන් ට
ඇරිය සැරේ අඹ නටු මුල කැපී ලා
සැරේ යාය ආපසු කැර කැවී ලා
ඊය ගොසින් කිරි මුහුදට වැටී ලා
ගියා ඉබේ පඩිරජු නෙත මැකී ලා
 

අඹ විදමන කවි(රයිගම් ,හේවාගම් කෝරළ )

පත් සාගත වැද සොලිරට ත දේ
මෙත් කරවන සව්සත හැම ස දේ
නිත්තෙන් බිදුනයි පඩියගෙ ඔ දේ
පත්තිනි දෙවි මිස වෙන නැත තෙ දේ
වෙස් ගෙන බමුණෙකු විලස ටා
ගොස් සොද අංජනගිරි මුදුන ටා
ගොස් දන් ගනිමැයි කියු විලස ටා
විස්කම් බල පෑවයි එඅමවි ටා
අඹයට විදිනා ලෙස නොව හැ රා
දඹදිව ඇති නිරිදුගෙ පිරිව රා
නුඹ මහිමෙන් සිට පඩි නුව රා
සබයට ආසැටි අස වෙස ජ රා
තොපට බරිය විදගන්නට අඹය මෙ මෝ
විද විද මදක් නොහැකිය අපි පසු නොබො මෝ
උද උද මදක් ජරපත් තෙපලා හ මෝ
තෝද අඹය විදිනා ගෙරි නාකි හ මෝ
දහස් අතින් දෙවි වඩි තා
දිමුත් අඹය විදිමි ඓ තා
දොලොස් සන්දියකින් යු තා
නොලස්වමින් දුන්න ග තා
උඩ යන සැරයෙන් නිවර ද
යලි එන සැරයෙන් නිවර ද
විදිනා විදමන් අරුම ද
විද්දොත් යෙහෙකැයි කී ස ද
අසක් නටුව කපා ගෙ නේ
නිසක් මුදා ගත් බැවි නේ
එසක් පුරට වැද ගොසි නේ
නොලස්ව යලි එන ගම නේ
ගුගුරා ගෙන ගොස් නටු වා
ඉදුරා කැපුවයි නටු වා
සොදුරා අඹයේ නටු වා
ඉදුරා කැපුවයි නටු වා
තෙදින් පතිනි සද එවි ටා
සොදින් බිමට ලන් වන් ටා
පවන් උදය රිවි ලෙස ටා
ගුවන් තලේ අඹය න ටා
ලොල්ල වඩන ඉද මහිම ට
අල්ලා වියනක් අහස ට
මුළු ලොව කෙලි පුද පඩුර ට
දුල්ල අඹය බැසපු බිම ට
අසමින් රජුගෙන් එබ සා
කොටමින් ඔරුවක් සක සා
ඝණ රන් සැලි අඹය ව සා
ඇරියයි ගග මැද නොල සා.
 
.....................................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී 
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
.....................................................................................

Wednesday, April 20, 2022

පන්දම් දොලහා දීම (විලක්කු එළිය ඔප්පු දීම ) - 20 වෙනි කොටස

විසිවෙනි කොටස

පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය


මෙම පෙලපාළිය සිදුකරනු ලබන්නේ ගිනිකුරුම්බර ප්රධාන කර ගනිමින් දෙවොල් දෙවියන්ගේ නාමයෙන් පත්තිනි දෙවියන් සිහිපත් කිරීමෙන් දොලහා දෙවියන් උදෙසාය. සියනෑ කෝරළය සහ අළුත්කූරු කෝරළය තුල මෙම පෙලපාළිය විශේෂ වශයෙන් දකින්නට ලැබේ .ගිනිකුරුම්බර පිදේනි මුට්ටිය පිදීමට පලමුව ගිනිකුරුම්බර දේවතාවාගේ ආවේශය ලබා ගනිමින් මේ කරයුත්ත සිදු කිරීම පුරාණ චාරිත්රයයි.දැනුදූ සමහර අවස්ථාවලදී පැරණි ක්රමවේදය අනුව මෙම පෙලපාළිය සිදුකරනු ලැබේ. බොහෝදුරට වර්තමානයේදී ආවේශ වීමකින් තොරව විලක්කු එළිය ඔප්පු කිරීම දකින්නට ඇතත් කලාතුරකින් හෝ දකින්නට ලැබීම වාසනාවකි.
 

Thelme Dance (තෙල්මේ නර්තනය 01 කොටස)




Thelme Dance (තෙල්මේ නර්තනය 02 කොටස)
https://youtu.be/ljI3ed7p_Ow
 
පුරාණ ක්රමවේදයට අනුව මෙම පෙලපාළියේදී ආතුර පක්ෂයට පේනයක් කීම සිදුකෙරේ .එය සුවිශේෂි ලක්ෂණයකි .එම පේනය කීම මෙම පෙලපාළිය තුලදී සිදුකල යුතු අනිවාර්ය අංගයකි.මෙහිදී ගිනිකුරුම්බර ආවේශවීම තුලින් මඩු ශාන්තිකර්මය කරවන දායක මණ්ඩලයට පමනක් නොව පැමින සිටින අයවලුන් කිහිප දෙනෙකුට උවත් පේන ඇසීමේ අවස්ථාව තිබුනි.නමුදු වර්තමානයේ එම අවස්ථාව බැතිමතුන් ගෙන් ගිලිහීගොස් ඇත .ආවේශවීම තුලින් මෙම පෙලපාළිය සිදු කරනු ලබන්නේද ඉතාම කලාතුරකින් වීම මෙහි තිබූ ආශ්චර්යමත් බව බිදීයාමකි.මෙසේ සිදුවීම තුලින් පුරාණ චාරිත්ර ගිලිහෙමින් නවීන රටාවන් නිර්මාණයවීමක් දකින්නට ලැබීමත් කණගාටුවට කාරනාවකි .මෙම පෙලපාළිය තුලදී සිදුකරනු ලබන අතීත සිහිගැන්වීම වනුයේ සේරමාන් රජුන්ගේ සිරසෙහි රෝගය දුරුකිරීමේ මඩු මංගල්ල්යයට පැමිණි රජවරු දොලොස්දෙනා දෙපසේ සිටිමින් දොලහා පන්දම් අතැතිව අතනගා ආවැඩීමේ ක්රියාවලිය සිහිපත් කිරීමයි.එම ක්රියාවලියේ අනුහසින් අදද මෙම ආතුර පක්ෂයට සෙත් ශාන්ති සලසා ආශීර්වාද කිරීමේ අභිචාර ක්රමවේදයක් මෙහි අන්තර්ගතව තිබේ.
 

Thelme Dance (part 01) තෙල්මේ


තෙල්මේ නර්තනය (part 02) 
 
Thelme Dance (part 03) 

පන්දම් දොලහා දීම දොලහා දෙවියන් පත්තිනි දෙවොල් සහ ගිනිකුරුම්බර දෙවියන් යන සිව් දෙනෙකුගෙන් සමන්විත පෙලපාළියක් ලෙසින් හදුන්වා දීමක් සිදුකරනු ලැබූ හෙයින් එය විස්තර කරදිය යුතුය.එසේ කලයුතු වන්නේ දෙවි දොලසක් පිලිබදව බහුතරයක් දන්නේ තෙල්මේ නර්තනය තුලදී පුද පූජාවට භාජනය වන දොලහා දෙවියන් පිලිබදව පමනක් වීම නිසාවෙනි .මඩු ශාන්තිකර්ම වලදී දෙවොල් බාගය කාලපරාසය තුලදී පන්දම් දොලහා දීමේදී එම පන්දම් දොලහාට අරක්ගත් දෙවියන් දොලොස් දෙනෙකු සිටින බව කිවයුතු කරුනකි .ඒ අනුව පත්තිනි දෙවියන් සතුව පන්දම් පහලොවක් තිබුන බවත් එයින් පන්දම් තුනක් ගරා දේවතාවාට ලබාදී එයින් සෙත් කිරීමේ බලය ඔහුට පවරනු ලැබීය.එය කීල පන්දම ලෙසින් නම් කෙරේ.
 
පත්තිනි දෙවියන් සතුවූ ඉතිරි පන්දම් දොලසට දෙවියන් දොලොස් දෙනෙකු ආදේශ කරමින් එම පන්දම් දොලසට අරක්ගත් දෙවියන් ගේ වරමින් සේරමාන් රජුට සෙත්පතා ආශීර්වාද කරනු ලැබූ මූලික කාරනාව පිලිබිඹු කෙරේ. එමෙන්ම මෙම පන්දම් දොලහා දීම කරනු ලබනුයේ ගිනිකුරුම්බර ආවේශවීම තුලින් නිසාවෙන්ම එය දෙවොල් බාගය කාලපරාසය තුලදී සිදුකරනු ලබන දෙවොල් දෙවියන්ට අයත් පූජාවිධි රටාවක් ලෙසින්ම පවත්වාගෙන එනු ලබන්නකි. එලෙස පැවසීමට කරුනක් වනුයේ පත්තිනි බාගය තුලදීද මේ ආකාරයටම පන්දම් දොලහා දීමක් සිදුකරනු ලබන බැවිනි.
 
එසේම එයද ආවේශවීමකින් සිදුකරනු ලබන බැවින්ද එකහා සමානතාවයක් පෙන්නුම් කරන නිසාද පත්තිනි බාගය තුලදී පත්තිනි දෙවියන් උදෙසාද දෙවොල් බාගය තුලදී දෙවොල් දෙවියන් උදෙසාද ලෙසින් ක්රියාවලිය කරන රටාව තුලින් වෙන්කර පෙන්වාදිය හැකි වේ.පත්තිනි දෙවියන් මෙම පන්දම් දොලහා පෙලපාළිය තුලදී සදහන් උවත් කරනු ලබන රටාවේ තිබෙන පූජනීයත්වය දෙවොල් මුල්කර ගනිමින් සිදුකරනු ලැබේ .එසේම පැවසීමට කාරනාවන් වනුයේ ගිනිකුරුම්බර යනුවෙන් හදුන්වනුයේ කුරුම්බරයින්ගේ ප්රධානියා ලෙසින් පූජාවට භාජනයවී ඇති හෙයිනි .මෙම කුරුම්බර ප්රධානියා යනු දෙවොල් දෙවියන්ම බව පිලිගැනීමට ලක්වී තිබීම තුලින් දොලහා පන්දම් පූජාව දෙවොල් දෙවියන්ගේම පූජාවක් බව පිලිගත යුතුව පවතී.
 

පන්දම් දොලහේ කවි ගායනාවන් 

සුරන් බඹ සින්ද මේ
වරන් ගෙන වැඩිය අන්ද මේ
නරන් සිරි වින්ද මේ
කියන් සෙත්කවි දොලහා පන්ද මේ
පන්දම් දොලස ය න
පුදදෙන ලකුණු වෙන වෙ න
ඇති රග පිලිවෙලි න
උපත පවසන් මදක් කවියෙ න
දඹදිව පෙර දව ස
බමුණෝ යාග කල ලෙ ස
මෙහි පන්දම් දොල ස
දුන්නු සිරිලක පැවත එන ලෙ ස
සේරමන් නිරිදු ට
සිරසේ රෝග වන් වි ට
ඒ දෝස හරින ට
එදා දුන්නේ දොලහා පුදකො ට
පඩුවස් නිරිදු හ ට
දිවි දොස් අරින යාගෙ ට
සත් දවස නිමකො ට
එදා දුන්නේ දොලහා පුදකො ට
පත් යස සුරපති වරමින් සැප සේ
සිත් ලෙස පිරිවර සැදෙමින් දෙප සේ
පත්තිනි දෙවි සද නමදින් සතො සේ
සෙත් කවි පවසන් පන්දම් දොල සේ
ඕං කියන දෙවි රන් පොත විදිමි න
මෙපන් දහස් ගිනිජල් වට පැතිරෙ න
මාන්ජේරි නාලොවේ උපන් තැ න
ඕං කියන දෙවියන්ගේ වරමි න
පලමුව ගිනි ජලයෙන් ඉපදුන ලෙ ස
ලැබෙන රුදුරු ගිනි පන්දම් පසලො ස
එවෙනි රුදුරු පන්දම් අවුලන ලෙ ස
ලැබුනි රුදුරු දෙවතාවෝ පසලො ස
දිනක් කදිර දෙවි දකිනට වඩි තී
තුනක් එපන්දම් රකුසුට දෙව තී
එයක් රකුසු හට කෙලිපුද දෙව තී
එවක් පටන් දොලසේ නම පව තී
යාරජ යුවරජ සමග කතා කො ට
ගොළු සාතාරජ වැඩ රඹ තොරන ට
දෙවොල් සමග වැඩලා ගිනි කෙලිය ට
අවොල් දෙවොල් හැර සෙතදෙන් අද සි ට
වැන්දෙමි දෙවියන් එන්ඩ කමා වේ
ඉන්දෙමි තොරනොව එහි නොපමා වේ
නන්දන තෙදබල දෙවොල් තුමා වේ
පන්දම් දොලසම සුරතට වැඩු වේ
ඕංකාල ඉන්ද්රකාල අග්නිකාල දෙවි බල තී
වජ්ජ්රකාල භූතකාල ශුද්ධකාල දෙවි බල තී
දකුණු දෙසින් මේපන්දම් හයගෙන පනිවිඩ
කර තී
දකුණු සුරත පන්දම් ගෙන පතිනි දෙවියො
ආවඩ තී
හ්රීං අග්නි ඉසුරු අග්නි ත්රිවිධ අග්නි
දෙවි බල තී
නාග අග්නි වදුරු අග්නි දෙවොල් අග්නි
දෙවි බල තී
වාම දෙසේ මේපන්දම් හයගෙන පනිවිඩ
කර තී
වාම සුරත පන්දම් ගෙන පතිනි දෙවියො
ආවඩ තී
මෙගිනි පන්දම් වැ ට
පැන් ඉස නිවූ ලෙස ට
සිසිල සිරි බෝකො ට
ආසිරි දෙවා දෙවියෝ බෝකො ට 
 
....................................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
....................................................................................

Sunday, April 10, 2022

දෙවොල් බාගය -19 වෙනි කොටස

දහනවවෙනි කොටස
පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය 

තුන් බාගයේ දෙවියන් වෙනුවෙන් කරනු ලබන මඩු ශාන්තිකර්මයේ අවසන් කොටස වන දෙවොල් බාගයට අයත් වන පෙලපාළි මෙම කාලපරාසය තුලදී සිදුකල යුතුය.ඒ අනුව දෙවොල් බාගය සදහා අයත් වන
  1. මිල්ල කැපීම
  2. ගිනි කුරුම්බර පිදේනි දීම
  3. පන්දම් දොලහා දීම
  4. මැල පෑගීම
  5. දෙවොල් නැටීම
  6. දෙවොල් ගොඩබැසීම පෙලපාළිවේ.
මෙම පෙලපාළි සිදු කිරීමේදී ගුරුකුලයන්ට අනුව අනුපිලිවෙලෙහි වෙනස්කම් ඇතිවිය හැකිය .ගිනි මඩු ශාන්තිකර්මයක් නම් මෙම වෙනස්කම් ඉතාම පැහැදිලි ලෙසින් දැකීමට හැකිවේ.එසේම ගිනිමඩු ශාන්තිකර්මයකදී නම් පෙර දින සවස් බාගයේදී මිල්ල කැපීම සාමාන්ය සිරිතකි .ගිනි මඩුවකදී විශාල ගිනි මැලයක් බාවිතා කරන බැවින් එම මැලය ඇවිලී ගිනි පෑගීමට සුදුසු ආකාරයට සකසා ගතයුතු බැවින් පෙර දින මිල්ල කැපීම සිදුකර මැලය ගසා ගිනි දැල්වීම සිදුකරනු ලැබේ.
 
Mahanama College Dewolmadu Shanthikarmaya
දෙවොල් දෙවි ගොඩබැසීම නර්තනය
 
ඊට අමතරව තුන් බාගයට මැල තුනක් දෙන්නේ නම් එවිටද පෙරදින සැන්දෑවේ මිල්ල කැපීම සිදුකරනු ලැබේ.එසේ නොවන්නේනම් දෙවොල් බාගයට අයත් වන කාලපරාසය තුලදී මිල්ල කැපීම පෙලපාළිය සිදුකල යුතුයි .එය මඩුයාගවල සාමාන්ය ක්රමවේදයයි.එම ක්රමය අනුව මේ පෙලපාළිය සිදුකරනු ලබන සහ සිදු නොකරනු ලබන ප්රදේශ මෙන්ම ගුරුකුලයන්ද ඇත .රයිගම් කෝරළය හේවාගම් කෝරළය සහ සියනෑ කෝරළයේ සමහර අයවලුන් මෙම මිල්ල කැපීම පෙරදින සැන්දෑවේ සිදුකිරීම කරනු ලැබේ .පානදුර තොටමුන කෝරළය පස්දුන් කෝරළය සහ සියනෑ කෝරළයේ එක් කොටසකද අළුත්කූරු කෝරළයේද දෙවොල් බාගය කාලපරාසය තුලදී නිසියාකාරව මිල්ල කැපීම සිදුකරනු ලැබේ .කෙසේ මෙම ක්රියාව සිදු කලත් මෙහි පරමාර්ථය වනුයේ දෙවියන් උදෙසා ගිනි පෑගීමේ ක්රියාවලිය මෙන්ම එය පත්තිනි දෙවියන් විසින් දෙවොල් කුමරවරුන් ලක් දිවට ගොඩබැසීමේදී මවන ලද ගිනිවැට හත සංකේතවත් කිරීමයි.මෙම මිල්ල කැපීම පෙලපාළිය පිලිබදව මීට ප්රථම කොටස් තුනක සවිස්තරාත්මක හැදින්වීක් සහිත ලිපියක් මෙම සමාජ මාධ්යය තුලින්ම ඉදිරිපත් කරනු ලැබූ බවත් එය පරිහරණය කරන ලෙසත් ඔබට සිහිපත් කරමි.එසේම දෙවොල් බාගය තුලදී පූජාර්ථය මුල්කර ගනිමින් රගදක්වනු ලබන දෙවොල් නර්තනය පිලිබදවද කොටස් පහකින් සමන්විත සවිස්තරාත්මක ලිපි පෙලක්ද ඉදිරිපත් කර ඇති බැවින් එම ලිපි පෙලද මෙම කොටසට අයත් බැවින් එයද බාවිතා කරන මෙන් ඔබට මතක්කර සිටිමි. එයට අමතරව මෙහි සදහන්කර තිබෙන දෙවොල් ගොඩබැසීම පන්දම් දොලහා දීම සහ ගිනිකුරුම්බර පිදේනි මුට්ටිය කැප කිරීම පිලිබදව තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නෙමු 
 

දෙවොල් ගොඩ බැසීම

දෙවොල් දෙවියන් උදෙසා පූජාර්ථය පදනම් කරගනිමින් ඉදිරිපත් කරනු ලැබූ නර්තනය අවසන් කරනු ලබන්නේ මෙම දෙවොල් ගොඩ බැසීම නම් නාට්යමය පෙලපාළියද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.දෙවොල් පද නැටීම කර අවසානයේ පිවිසෙනුයේ මෙම කොටසටය.මේ පෙලපාළි අංගයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ දෙවොල් කුමාරවරුන් සත් දෙනා සිංහල රටට ගොඩබසින ලද ආකාරයයි.මෙහිදී දෙවොල් දෙවියන්ගේ උපත් කතාවද පෙර ආත්ම භවයේ කතාවන්ද ඇතුළත්ව මෙම පෙලපාළිය රග දක්වනු ලැබේ .මෙහි උපත් කතාව පිලිබදව තොරතුරු දෙවොල් නර්තනය සහ සම්බන්ධ ලිපි පෙලෙහි අන්තර්ගතව ඇත . දෙවොල් කුමාරවරු සත්දෙනා ලංකාවේ තිබූ තොටමුණු නවයකින් ගොඩබැසීමට උත්සාහ දැරූවද එම ස්ථාන ආරක්ෂා කරනු ලබන දෙවිවරු විසින් මෙම පරදේශක්කාරයින් හට ලංකා භූමියට ගොඩබැසීමට නොදුන්නහ.
 
අවසන් උත්සාහය ලෙසින් දසවෙනි තොටමුන සීනිගමට මේ අයවලුන් පැමින තමන්ගේ පෙර සම්බන්ධතාවයන් පවසමින් සිංහල දේශයට ගොඩ බැසීමට ඉඩ සලසා දෙනමෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය .එහිදී පත්තිනි දෙවියන් එම ඉල්ලීමට එකගව මේ අයවලුන්ගේ තෙදබල පරීක්ෂා කිරීමට සිතා තමන්ගේ බලය පෙන්වා වෙරළෙහි ගිනිවැට හතක් මවා එය තරනය කරමින් ගොඩබැසීමට සැලැස්වීය.ඒ අනුව දෙවොල් කුමාරවරුන් එම අභියෝගය ජය ගනිමින් ගිනිකදු තරනය කරමින් සිංහල රටට ගොඩබැසීම සිදුවිය .මෙම කතාව නාට්යමය ආකාරයට ඉදිරිපත් කිරීම මෙලෙස දෙවොල් ගොඩබැසීම පෙලපාළිය ලෙසින් ඉදිරිපත් කරනු ලැබේ .මෙහිදී නිසියාකාරව භාෂාව කතා කිරීමට නොහැකි ආකාරයක් බාවිතා කරන දෙබස් තුලින් පිලිබිබු කෙරේ .එසේම ප්රචලිතව නව තොටමුන ලෙසින් බාවිතයේ තිබුනද මෙම දෙවොල් ගොඩබැසීමේදී තොටමුනු දහයක් බාවිතා කරනු ලැබේ .ඒ අනුව කිවයුතු වන්නේ නව තොටමුන ලෙසින් බාවිතා කරන ලද මුත් ඊට වැඩි තොටමුනු ප්රමානයක් තිබූ බවකි. මෙම කතා ප්රවෘත්තිය නාට්යමය ස්වරූපයකින් දෙබස් බාවිතා කරමින් ඉදිරිපත් කරනු ලැබූවද කවි ගායනාවන් තුලින්ද මෙය ප්රකාශකර සිටීම සාමාන්ය ක්රමවේදයයි.
 
මෙකප පලමුව ඉපිද කකුසද දහම්
රැකි මුනි ලොව්තු රා
එකල කුමරුන් සත්දෙනෙක් විය සිටු
කුලෙක පිලිසිදි ව රා
පිනට තම සිත නැමී එකලට දෙමින්
කඨිනය එකව රා
පතා දෙවි වෙමි සිතා සත්දෙන දීපු
කඨිනය අමයු රා
තවත් මණිමේකලා නම් පුර බමුණු
කුලයක ඉපදු නේ
රුවත් යව්වන සෝබනාවෙන් ලියක්
එනුවර ඇතිවු නේ
ගෙනත්ලා නෙක එමී අඹයද පුදා
මුනිදුට විගසි නේ
මමත් පත්තිනි දෙවි කෙනෙක් වෙමි
සිතා ඇය විවරන ගෙ නේ
පැතූ විවරන අසා සත්දෙන කුමරු
ඇවිදින් මුනිදු වැද සි ට
නුඹද පත්තිනි දෙවියො වෙන කල අපි
දෙවොල් දෙවි වෙලා එකල ට
නුඹද අක්කා සිටින තැනකට සොයා
ඇවිදින් අපිත් එමවි ට
කියා අටදෙන ගිවිස්සා ගති එකම
මඩුවේ පුද ලබන්න ට 
 
මේ ආකාරයට ගයනාවන් මගින්ද පෙර පුවත ගෙනහැර දක්වමින් දෙවොල් ගොඩබැසීම කතාංගය ඉදිරිපත් කරනු ලැබේ . මෙසේ ගොඩබැසීම සිදු කිරීමෙන් පසුව ආතුර පක්ෂයට දෙවොල් සව්දම නටා පඩුරු ලබා ගැනීමෙන් පසුව ආතුර පක්ෂයට සිරසපාද කවි හෝ සෙත්කවි කියා ආශීර්වාද කිරීමෙන් පසු මෙම පෙලපාළිය එනම් දෙවොල් නර්තනය සහ දෙවොල් ගොඩබැසීම අවසන් කෙරේ.
 

දෙවොල් සව්දම

සිරස දැරූ ජගලත් රතු තොප්පිද සවන
දෙකන් බැදි කාගුල් තුනකි න්
ඇගට අදින රතු සැට්ට කබායද ඇද
සැරසී රගදෙන විලසි න්
දෑත ගිගිරිලා දෙපය සිලම්බුද ලවමින්
රගනා සැටි බලමි න්
කාට නටන්ඩත් බැරිවෙයි සකියනි
දෙවොල් මෙසව්දම නැටුවෝති න්
 

සව්දම් පද කොටස

කිතක් කිතකතක තරිකඩ කඩතක තකු දිකු
තරිකඩ තත් දිත් තොං නං ,සතක් පහුරු පැද
වැඩලා මෙකරට සීනිගමට වැඩලා දෙවිදුන්
ඇතත් වරද හැර පිං අරගෙන ඔබ උවදුරු
දුරලා වඩිනුය සැනෙකින්,කිතක් කිතකතක
තරිකඩ කඩතක ඔන්න නටමි මම දෙවොල්
මෙ සව්දම් . 
 
ඉහත සව්දම නටා පඩුරු ලබාගෙන සෙත් කිරීමෙන් පසු මෙම පෙලපාළිය අවසන් කෙරේ . 
 
...................................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී 
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
....................................................................................

Tuesday, April 5, 2022

මුරුතැන් පිදීම නොහොත් මුරුතැන් බෑම - 18 වෙනි කොටස

දහඅටවෙනි කොටස 

පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය

දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා වාහල නර්තනය සිදුකිරීමෙන් අනතුරුව සියලුම දෙවියන් උදෙසා මුරුතැන් ඔප්පුකීරීම සිදුවේ. මෙය දෙවොල් බාගය ආරම්භ කිරීමට ප්රථම සිදුකරනු ලබන්නකි.වර්තමානයේදී මුරුතැන් පූජාව සදහා විශාල වියදමක් දරමින් කරනු ලබන පැණි මුරුතැන් පූජාව අතීතයේ නොතිබූ අතර එකල පැවතියේ බත හත්මාලුව කැවුම් සහ කෙසෙල් ගෙඩි දෙවියන් වෙනුවෙන් පිදීමේ රටාවකි.
 
Wahala Dance දැඩිමුණ්ඩ ආරූඪයෙන් ප්‍රලය වී නර්තනයේ යෙදෙන වාහල නැටුම
Ganewatta Gammaduwa - 2021
 
මෙහිදී මඩු පේකරන දිනයේදී දෙවියන් වෙනුවෙන් අඩුක්කු පිදීමට සූදානම් කරගන්නා ලද සහල් උපයෝගී කරගනිමින් පවත්වනු ලබන පූජාවකි.එනම් මඩු පේකරන දිනයේදී සකසා ගත් සහල් වලින් මඩු දිනයේ උදෑසන මඩු කැවුම් ඉවීමට අවශ්ය පිටි සකසා ගැනීම සහ මඩු කැවුම් ඉවීමත් මඩු දින රාත්රියේදී එම සහල් වලින් බත සකසා හත්මාලුවද උයා සියලු දෙවියන්ට පුදන කලමනා සමගින් පිදීම සිදු කිරීමයි.අතීතයේදී මෙම උයනු ලබන සියලු දේවල් ඉතාම පිරිසිදුව උඩුවියන් බැද වතුර පවා පෙරා ගනිමින් සිදුකරනු ලැබේ .එසේම මෙම කටයුතු සදහා අවශ්ය ජලය (පැන්)ලබා ගැනීමට අලුතින්ම ලිදක් කපා එයද පේකර තබා ගැනීමක් චාරිත්ර වශයෙන් දකින්නට තිබුනි.මෙම චාරිත්රය වර්තමානයේදී ඉතාමත් විරලය .නමුදු මේවා ඒ ආකාරයෙන්ම සිදුකරනු ලබන කපුපත්තිනි මහත්වරු සිටීමද පැසසිය යුත්තකි .මෙසේ මෙම සියලුම පූජාවන් නිසි පරිදි සකසාදීම කොට්ටෝරු මහතාට අයත් රාජකාරීයකි.ඔහුද පිරුවට අදිමින් මුඛවාඩම් බැද මෙම පූජා ද්රව්ය සකසාදීම සිදුකරනු ලැබේ .
 
 
මෙම පූජාවන් නැවුම් මුට්ටි තුල බහාලමින් එහි කෙසෙල් කොළයක් උපයෝගී කරගනිමින් කඩවැස්ම බැද දෙවියන්ට පිදීමට සූදානම් කරනු ලැබේ .එසේම දෙවියන්ට පිදීමට සූදානම් කරනු ලබන කෙසෙල් කැන්ද වෙනමම ඉදවා කොට්ටෝරු මඩුවේ එල්ලා තබනු ලබයි.මෙසේ මෙම පූජා ද්රව්ය ඉතාම භක්තිමත් බවකින් සහ පිරිසිදු බවකින් සකසා ගැනීම කොට්ටෝරු මහතාගේ මෙන්ම දායක මහත්වරුන්ගේ වගකීමක් ලෙස තිබෙන සිරිතකි.මෙසේ සාදා ගන්නා ලද පූජාවන් පලමුව පත්තිනි දෙවියන් වෙනුවෙන් සකසා තිබෙන තොරන ඉදිරියට උඩුවියන් අල්ලමින් වඩම්මවා ගනුලැබේ .
 
මෙහිදී තොරන ඉදිරිපස වටතිර බැදීමක්ද සිදු කිරීම සිරිතකි .එසේම කපුපත්තිනි මහතාද හිස තොප්පාරම් සහ මුකවාඩම් බැද දෙවියන් උදෙසා මුරුතැන් පිදීම සදහා සූදානම් වීමක් ඇත .පෙරාතුව සූදානම් කරගන්නා ලද තැවූ කෙසෙල් කොල යහන්මත එලා මුරුතැන් පිදීම සිදුකරනු ලැබේ .මෙම දෙවියන් උදෙසා සකසා සූදානම් කරනු ලැබූ නැවුම් මුට්ටි තුල බහාලන පූජා ද්රව්ය එම මුට්ටි පිටින්ම වැඩමවීම පුරාණ ක්රමවේදයයි.එසේම එකල කෙසෙල් ගෙඩි පිදීමේදී එක් යහනකට එක් කෙසෙල් කැන බැගින් යහන ඉදිරිපස එල්ලීම සිරිති.මුරුතැන් පූජාව සිදු කිරීමේදී දන්කඨිනය කෝල්මුරයේ ගායනාවන් සිදුකරනු ලැබේ. එසේම සියනෑ ගුරුකුලයට අනුව මෙම මුරුතැන් පූජාව සදහා ආවේණිකවූ පද වාදනයක් මෙන්ම මුරුතැන් පුදා දෙවියන්ට වන්දනාමාන කරන විශේෂිත
ක්රමවේදයක් තිබුනි.එය අදද දැකීමට තිබෙන බව කිවයුතු කරුනකි .මෙම මුරුතැන් බෑම අවස්ථාව බොහෝම භක්තිමත් බවකින් යුක්ත පෙලපාළි අවස්ථාවකි.
 
වර්තමානයේදී පැණි මුරුතැන් පිදීමක් තිබෙන මුත් පෙර තුබූ ගාම්බීරත්වය පිලිබිබු වීමක් නොපෙනේ .එසේ වනුයේ මා දකිනා ආකාරයට අනුව පැණි මුරුතැන් භුක්ති විදිමට ලොල්වීම තුලින් සදාචාරය සභ්යත්වය මෙන්ම භක්තිමත් බාවය බිදීයාමත් පෙර ආකාරයට දෙවියන්ට නිසියාකාරව මුරුතැන් පූජාව සිදු කිරීම සදහා තිබෙන අවම පහසුකමයි.මෙයින් අදහස් කරනුයේ වර්තමානයේදී මිනිස්සුන්ට තිබෙන ගැටලුකාරී ආර්ථික තත්ත්වය අනුව මෙම කාරනාව පසු බෑමට ලක්වී තිබෙනවා යන්නයි.පුරාණයේදීද මෙම මුරුතැන් බැතිමත් ජනතාවට ආහාරයට ගැනීමට ලැබුනි.එහිදී දේව දානය සමගින් මෙය ලබාදීමට කටයුතු සිදුකරනු ලැබීම තුලින් සියලුම බැතිමතුන් හට එය ලැබෙන බව දැන සිටීමයි .වර්තමානයේදී පැණි මුරුතැන් පමනක් භුක්ති විදිමට ලොල්වීම තුලින් භක්තිමත් බවට යම්තරමක් හානි සිදවීමක් පෙන්නුම් කෙරේ.පුරාණයේදී උවද වර්තමානයේදී උවද දෙවියන් වෙනුවෙන් කරනු ලබන පෙලපාළියෙහි අඩුවක් කිසිදු ආකාරයකින් කපුපත්තිනි මහත්වරුන් වෙතින් සිදු නොවේ.නමුදු එක් එක් ප්රදේශ ගුරුකුලයන් අනුව මුරුතැන් පිදීමේ ක්රමවේදයයෙහි වෙනස් රටාවන් තිබිය හැකිය .

 Mysteries Wahala Dance 🔴 A Beautiful one and only Live dance perform 
වාහල භාගය | ගංගාරාම ගම්මඩුව

වාහල ගොටුව දීම (අඩුක්කුව පිදීම )

දෙවියන්ට මුරුතැන් පිදීමෙන් අනතුරුව වාහල දෙවියන් නොහොත් දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා විශේෂ ගොටු පූජාවක් සිදුකරනු ලැබේ . මෙය විශේෂිත වශයෙන් සියනෑ කෝරළය සහ අළුත්කූරු කෝරළය තුලදී සිදුකරනු ලැබේ .මේ ගොටුව තුලින් වාහල දෙවියන්ගේ රැකවරණය ආශීර්වාදය ව්ශේෂිතවු පූජාවක් සිදුකිරීම තුලින් තවදුරටත් අපේක්ෂා කිරීමක් සිදුකෙරේ මෙම ගොටුව දෙනු ලබන ක්රමවේදය වනුයේ තවා ගන්නා ලද කෙසෙල් කොළයක් බාවිතා කරමින් අඩුක්කු පුදන ගොටුවක් සාදා එයට බත හත්මාලුව කැවුම් නිසියාකාරව බෙදා කපුපත්තිනි මහතා රැගෙන වාහල දෙවියන් වෙනුවෙන් අඩුක්කුව පිදීම සදහා කරනු ලබන ගායනාවන් පලමුව සිදු කිරීමයි.මෙහිදී කෝටු තුනකින් නිමවා ගන්නා ලද කත්තිරික්කයක් තුලින් අදාල කවි ගායනාවන් සිදුකර ආතුර පක්ෂයට ආශීර්වාද කිරීමෙන් පසු පාලිකර තබනු ලැබේ .ඉන් පසු කහදියර ඉස සුවදදුම් අල්ලා දෙවියන් උදෙසා කැප කිරීමෙන් මෙම වාහල ගොටුව දීමේ පූජා කර්මය නිමකෙරේ.
 
..............................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී දේශබන්දු
කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
..............................................................................

Saturday, April 2, 2022

වාහල නර්තනය (නැටීම ) - 17 වෙනි කොටස

දහහත්වෙනි කොටස 

පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සව්ස්තරාත්මක විග්රහය

මෙම කොටසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මාතෘකාවට ප්රථමයෙන් සදහන් කලයුතු පෙලපාළි කිහිපයක් පිලිබදව ඔබට සුලු හෝ තොරතුරක් ඉදිරිපත් කලයුතුව තිබේ .එනම් පත්තිනි බාගයට අයත්වන අඹ විදීම ,මරාඉපැද්දවීම සහ දොලහා පෙලපාළිය යන පෙලපාළි අංගයන් තුනයි.සියනෑ කෝරළ ගුරුකුලයට අයත් වන අළුත්කූරු කෝරළයේ අතීතයේදී මෙන්ම වර්තමානයේද දකින්නට ලැබෙන මෙම පෙලපාළි පත්තිනි බාගය තුලදී ඉදිරිපත් කරනු ලැබේ .මේ අනුව යහන් වලට දේවාභරණ වැඩමවීමෙන් පසුව අඹ විදමන සහ මරාඉපැද්දවීමත් තෙල්මේ නර්තනයෙන් පසුව දොලහා පෙලපාළියත් රගදක්වනු ලබයි . මෙය සියනෑ ගුරුකුලය තුල තිබූ පුරාණ චාරිත්ර ක්රමයයි.මෙම ප්රදේශයේ පුරාණ පත්තිනි දේවාලයන්හි කපුපත්තිනි වරුන්ගේ මතයට අනුව පත්තිනි බාගයේ පෙලපාළි පත්තිනි බාගය තුලදී ඉදිරිපත් කර අවසන් කල යුතුය. එම මතයේ නිවැරදි බවක් තිබෙන බව සදහන් කල යුතුය.මෙම පෙලපාළි පිලිබදව සවිස්තර විග්රහයක් පසුව ඉදිරිපත් කිරීම සිදුකරනු ලබන අටියෙන් පූජාවිධි රටාව ඉදිරිපත් කරමින් පැමිණි ක්රමවේදය අනුව මෙම තැනට අයත් පෙලපාළිය ඉදිරිපත් කරමි.
 
Marvelous Wahala Dance
 වාහල භාගය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මහා ගම්මඩු ශාන්තිකර්මය | LIVE

වාහල නර්තනය (නැටීම

දෙවොල් මඩු ශාන්තිකර්මයේ පත්තිනි බාගය කාලපරාසය තුලදී සිදුකල යුතු නියමිත පෙලපාළි අවසන් කිරීමෙන් පසුව එලබෙන කාලපරාසය වනුයේ වාහල බාගයයි.එම කාල පරාසය තුලදී වාහල දෙවියන් නොහොත් දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් පූජාර්ථය පදනම් කරගෙන පවත්වනු ලබන නර්තන අංගය වනුයේ වාහල නැටීම නොහොත් වාහල නර්තනයයි.මෙම නර්තනය ආරූඩවීමකින් ඉදිරිපත් කරනු ලබන උද්වේගකර නර්තනයකි. මෙය වාහල දෙවියන්ගේ වරමකින් සිදුකරනු ලබන බව දුම්මල දිෂ්ඨියකින් කරනු ලබන බව මෙන්ම ගෙජ්ජිවරමින් සිදුකරනු ලබන නර්තන අංගයක් ලෙසින් ප්රචලිතව ඇත .වර්තමානයේ කුමන ආකාරයට මෙම නර්තනය පිලිබදව ප්රේක්ෂක ජනතාව අදහස් දැක්වීමක් සිදුකරනු ලැබූවද අතීතයේදී ඉතාම භක්තිමත් බවකින් ජනප්රියත්වයට පත් නර්තන අංගයක් ලෙසින් ජනාදරයට පත්ව තිබුනි.වර්තමානයේදී පත්තිනි නර්තනය නැරඹීමට බොහෝ පිරිස් කැමැත්තක් දක්වන්නාසේම වාහල නර්තනය අතීතයේදී ප්රේක්ෂක ජනතාව තුල ඉතාමත්ම ජනප්රියත්වයට පත්ව තිබූ නර්තනයකි.මෙම නර්තනය කෙරෙහි ග්රාමීය ජනතාව ඉමහත් භක්තිමත් භාවයක් මෙන්ම භය පක්ෂපාතී බවකින් යුක්තව කටයුතු කලහ.
 

Mysteries Wahala Dance 
A Beautiful one and only Live dance perform වාහල භාගය | ගංගාරාම ගම්මඩුව
 
එමගින් තම පවුල් වලට ආශීර්වාදයක් සෙත් ශාන්තියක් නිරන්තරයෙන්ම ලගාවේවා යන විශ්වාසය දැඩිසේ හිත්තුල මුල්බැස ගෙන තිබූනි.එසේම කිසිදු යක්ෂ භූත බලපෑමක් එම ගංකොරටුවට පැමිණීමෙන් අනර්තයක් සිදු නොවන බවට දැඩි විශ්වාසයක් පැවතුණි .එසේම වාහල නර්තනය තුල අන්තර්ගතව පවතින්නාවු මූලික පරමාර්ථය වනුයේද නපුරු බලවේග තුලින් තම ගමට ගම්වාසීන්ට පලාත් වාසී ජනී ජනයාට සිදුවන්නවූ උපද්රවයන් පලවා හැරීම තුලින් සෙත සැලසීමයි. (යක්ෂ ප්රේත, පිසාච, කුම්බාන්ඩ, ගෙවල, යනාදී නපුරු බලවේගයන් තුලින් සිදුවන අනර්තයක් වලකාලීම). මෙවන් අනර්තයන් වලකාලීමට ව්ශේෂිතවු බලයක් දැඩිමුණ්ඩ දෙවියන් තුල පවතින බව ජනයා තුල දැඩි විශ්වාසයක් පැවතුණි. එලෙස වීමට හේතු සාධක වනුයේද යක්ෂයන්ට අධිපතිවී යකුන් පාලනය කරනු ලබන දෙවියන් දැඩිමුණ්ඩ දෙවියන් බව බොහෝ පිරිසක් දැන සිටීමයි.අතීත කාලයේදී පත්තිනි බාගයේ වැඩ මධ්යම රාත්රී දොලහ හෝ අළුයම එක වනවිට අවසන් කල යුතුම විය.මෙය කපුපත්තිනි මහතාගේ වගකීම මෙන්ම ආතුර පක්ෂයේ දැඩි බලාපොරොත්තුවීමකි.එසේම වාහල නර්තනය අවම පැය තුනක කාලපරාසයක් කලයුතු විය.එය සියලු බැතිමතුන්ගේ දෙවියන් කෙරෙහි පවතින භක්තිමත් බාවය පිලිබිබු කරන්නකි.එසේම මෙම නර්තනය මඩුයාග  වල අසීරුම කටයුත්ත බවට පත්වී තිබුනි.මෙම නර්තනය ඉදිරිපත් කරනු ලබන ශිල්පියාද ඒ පිලිබදව සිටින අති දක්ෂතාවයක් දක්වන්නාවූ අයකුද වියයුතුමයි. මේ තුලින් පිලිඹිබු වන්නේ මෙම නර්තනයට මොන තරම් භක්තිමත්ව බවක් පිලිගැනීමක් තිබුනාද යන්නයි.
 

 Wahala Dance දැඩිමුණ්ඩ ආරූඪයෙන් ප්‍රලය වී නර්තනයේ යෙදෙන වාහල නැටුම
Ganewatta Gammaduwa - 2021
 
වාහල නර්තනය සිදුකරනු ලබන ක්රමවේදය පහතින් සදහන් කරනු ලබන පරිදි ගොඩනැගී ඇත .එය අතීතයේදීද වර්තමාන කාලයේද කිසිදු වෙනසකින් තොරව සිදුකරනු ලැබේ .පලමුවෙන්ම කාලපන්දම් ගස මුලින් සුදු පිරුවටයක් එලනලද ලී පුටුවක් තබනු ලබයි. එම පුටුවෙහි වාහල නර්තනය ඉදිරිපත් කරනු ලබන ශිල්පියා නියමිත ඇදුම් ආයිත්තම් වලින් සැරසී පැමිණි වාඩිවේ.ඉන් පසුව කපුපත්තිනි මහතා සහ ප්රවීණ ශිල්පීන් විසින් දැඩිමුණ්ඩ දෙවියන්ට ආරාධනා ගායනාවන් සිදුකරනු ලබන අතරම නර්තනය ඉදිරිපත් කරනු ලබන ශිල්පියාව ආරූඩ කිරීමට ජපකරන ලද දුම්මල දුම් එම ශිල්පියාට අල්ලනු ලබයි.මෙහිදී එම ආරූඩය ලබන ක්රමවේදය ඉදිරිපත් වෙයි.එනම් දුම් අල්ලන ක්රමය අනුව ආරූඪවීම සිදුවන රටාවේ වෙනස්කම හදුනා ගැනීමට ලැබීමයි.
 
Makumbura Paththini Dewalaya Devol Maduwa
වාහල නෙර්තය I කොටස - වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022
 
මෙය ශාන්තිකර්මයට සහබාගීවන ප්රවීණයන් පමනක් දන්නා ක්රියාවලියකි .එහිදී මුහුණට දුම් අල්ලා අල්ලා ආරූඩ කරනුයේ කුමන ආරූඩ කිරීමක්ද දෙපයට සහ ගෙජ්ජි කුට්ටමට දුම් ඇල්ලීමෙන් ලබා දෙනුයේ කුමන ආරූඩ කිරීමක්ද දේවමාලිගාව තුල සිට ආරූඩ වනුයේ කුමන ආරූඩ කිරීමක්ද යන ක්රමවේදයන් තුන පිලිඹිබුවේ .මෙම කුමන ක්රමවේදයක් අනුගමනය කලද දිෂ්ඨි මංත්රවලින් ජීවම් කරන ලද දුම් ඇල්ලීම සිදුකෙරේ .දේවමාලිගාව තුල සිට ආරූඪවීම ප්රබලව පානදුර තොටමුන කෝරළය තුලදී සහ සියනෑවේ අළුත්කූරු කෝරළය තුලදී දැකගත හැකිය.මෙම ආරූඪ කිරීම සිදුවන තෙක්ම දැඩිමුණ්ඩ උපත් කවි දැඩිමුණ්ඩ ඉනාවේ කවි ගලකැප්පූ සැහැල්ලේ කවි ගායනා කරනු ලැබේ .
 

 Makumbura Paththini Dewalaya Devol Maduwa
වාහල නෙර්තය II කොටස - වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022
 
එසේම වාදනයද ක්රමක්රමයෙන් උද්වේගකරන අතරම ගායනයද ඊට සරිලන ආකාරයටම සිදුකරනු ලැබේ .නිසි ආරූඩයට පැමිණීමෙන් පසු වාහල නර්තනය සිදුකරනු ලබන ශිල්පියා රංගභූමිය මධ්යයට පැමින උද්වේගකර කඩිනම් වේගවත් රටාවක් අනුගමනය කරමින් නර්තනය සිදුකරනු ලැබේ මෙම වාහල නර්තනය තුලදී යහන්දැක්ම නර්තනයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ.මෙම නර්තනය කොතරම් උද්වේගකර කඩිනම් උවත් පද පෑගීම තිබිය යුතු බව ප්රවීණ ශිල්පීය මතයයි.වාහල නර්තනයේ යෙදෙන ක්රමවේදයන් දෙකක් තිබෙන බැවින් ඒ අනුව මෙහි වේගවත් බව තීරණයවේ.දැඩිමුණ්ඩ දෙවියන්ගේ කිරුළ පැලද නර්තනය කිරීමත් වාහල තොප්පිය පැලද නර්තනයේ යෙදීමත් මත වේගය (කඩිනම් බව)තීරණයවේ .කුමන ආකාරයට ඉදිරිපත් කරනු ලැබූවද පද පෑගීම තිබිය යුතුවේ.එය ශාස්ත්රීය නියමයකි.කුමන වේගයකින් ඉදිරිපත් කරනු ලැබූවත් මෙම නර්තනය පූජාර්ථය පදනම් කරගෙන කරනු ලබන නර්තනයක් බව සදහන් කල යුත්තකි .
 
 
 
එසේම කුමන ආරූඩයකින් ඉදිරිපත් කරනු ලැබූවද පිස්සන්සේ නොනටන බවත් කලයුතු පූජා කර්මය නිසියාකාරව නිවැරදි ආකාරයට ඉදිරිපත් කරනු ලබන බවත් විශේෂයෙන් කිව යුත්තකි .එසේම මෙම නර්තනය තුලදී හත් පද පෙලපාළියක් මෙන්ම දුම්මල හත් පදයකට අනුව දුම්මල කීල ගැසීම සිදුවිය යුතුය.මෙම නර්තනය තුලදී ඉදිරිපත් කලයුතු නර්තන සංයුතිය මෙසේය .
 
*යහන්දැක්ම නැටීම
*කොතල පදය නැටීම
*දුම්මල පදය නැටීම
*කලස් පදය නැටීම
*සෝලුවේ පදය නැටීම
*හක් ගෙඩියට පදය නැටීම
*පොල්මලට පදය නැටීම
*පොල්ගෙඩියට පදය නැටීම
*පන්දම් රැගෙන යහන් වලට පාලිකර පසුව
දුම්මල හත් පදයට අනුව දුම්මල කීලගැසීම
*මින් පසුව ප්රකෘති සිහිය ගෙන දැඩිමුණ්ඩ
සව්දම නටා ආතුර පක්ෂයෙන් පඩුරු ලබා
ආතුරයින්ට සෙත් සැලසීම .....
 

වාහල දෙවියන්ගේ උපත් කවි

සතත සත තුන් නෙ තා
පොතත උවනත මිහික තා
බරන දිය බැද යු තා
සෙතත සලසා මෙමුරු රැක දෙ තා
වැඩ උන් බෝ මැඩ ට
කඩ නොව මාර යුදය ට
දිඩ බල දෙවිදු සි ට
මුන්ඩ දැඩිමුණ්ඩ වඩිමින් හැමවි ට
උරග යහනක් පි ට
උරග බලයෙන් වැඩ සි ට
තරග නොව අප හ ට
මෙරග මඩලට වඩින් හැම වි ට
මහ බඹු දුන් වර න්
පත්තිනි දෙවිදු රැකි ද න්
වාසල තෙද වර න්
කියා පවසන් ඔබගෙ තෙද වර න්
වරන් තෙද ලත්තෙ නි
යකුන් ඔද බිද ගත්තෙ නි
නරන් රැකි නිත්තෙ නි
වඩින් වාසල දෙවිදු නිත්තෙ නි
උපත පලමු නාග භවන එරන්දතිය කු ස
නියත දාව පූර්න යකුට පසුවිය දස ම ස
නැවත සදුන් හරයට බිහිඋන පුන්සද ලෙ ස
උපත කියමි තෙද දැඩිමුඩ දෙවිදුගෙ මේලෙ ස
පුන්සද මඩලක් විලසින් උරග භවනෙ ඉ ද
රන් පිලිමය වෙමින් පාට ධවල වර්ණය ද
නන් ඇති ආභරණ පැලද නික්මී එම ස ද
තුන්ලොව කම්පා කරගෙන හිමාල වන මැ ද
වැඩ මුනිරජ බෝධිමුලට බුදුවෙන පිනි සා
කඩනොව සොත්තිය බමුණා කුස තන සල සා
වැඩ මුනිරජ ඉදිමින් මුනි ආසන පිවි සා
වඩිමින් විදුරස්න තුදුස් රියනක් එඋ සා 
 

වාහල දෙවියන්ගේ ආරාධනා කවි

තෙරුවන් නැමැද සි ට
සියලු දෙවියන් වැද සි ට
ගුරු වරන් ලැබ සි ට
කියමි කවිකර එවාහල් අ ට
යොදුන් උස පමනි නේ
සදුන් සුවදින් පුද ලබන් නේ
බුදුන් අනුහසි නේ
අදුන් වාහල දෙවිදු වඩි නේ
සදුන් සුවදින් පු ද
සරසා දෙමින් නිවර ද
නපුරු දොස් හරින ලෙ ද
සදුන් වාහල දෙවි වඩින් අ ද
කාම තෙද බැතියෙ න්
පේමකර දෙන පුද ලබමි න්
සෑම දෙවි සමගි න්
කාම වාහල දෙවිදු වඩිමි න්
අෂ්ඨ වාහල් අ ට
දිෂ්ඨිලා වඩිනු මෙරග ට
දුෂ්ඨ අන වින හරින ට
අෂ්ඨ වාහල දෙවි වඩින් මෙරග ට
වදුරු උවදුරු රෝග හරිනට මෙවැනි
ගම්මඩු කරවමින් නේ
රුදුරු වසවතු සමග දසබිම්බරක් බිදහැරි
ලෙසින් නේ
කදුරුගොඩ දේවාලෙ වැඩසිට පුදපඩුරු
ලත් අනුහසින් නේ
ඉදුරු දිග බැස සිද්ධ වාහල දෙවිදු
මෙරගට වඩින් නේ
නික්ම ගිය අප බෝසතානෝ බුදුවෙන්ට
පලමුව දි නේ
රොස්ව වසවතු ඇවිත් පෙරමග යාම
නොදෙමැයි කියමි නේ
යක්ෂ භූතය ප්රේත ග්රහදොස් අපල
උවදුරු හරිමි නේ
අග්නි දිග බැස සිද්ධ වාසල දෙවිදු
මෙරගට වඩිමි නේ
නාම තෙදබල සේරමානන් නිරිදුගේ
දොස හරින් නේ
නාම දස අවතාර ලත් ඒ විෂ්ණු
දෙවි අනුහසින් නේ
නාම දැඩිමුඩ සිද්ධ පත්තිනි දෙවොල්
දෙවියන් අනුහසින් නේ
යාම දිග බැස සිද්ධ වාසල දෙවිදු
මෙරගට වඩින් නේ
 
...................................................................................
ප්රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA )
...................................................................................

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...